History

Tuesday, 21 January 2020

අභයගිරිය, මෝනා ලීසා හා ජාත්‍යන්තරය

  සිංහල ලිත් ඉලක්කම්



අභයගිරිය මෝනා ලීසා  හා ජාත්‍යන්තරය



පඬියන් තවමත් සිතන්නේ අපේ වෑයම බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට කියා. ඔවුන් එහෙම හිතා ගත්තාවෙ. අනුරාධපුරය කියන්නෙ එකල ජාත්‍යන්තර මධ්‍යස්ථානයක්. විශේෂයෙන් ම අභයගිරිය. මා අද උදේ ගත කෙළේ අභයගිරියේ.  මේ ලිපිය ලිවීම පමා වූයේත් ඒ නිසා.


අභයගිරිය සුණු පිරියම් නොකිරීමෙන් පෙන්වන්නේ පුරාවිද්‍යා අධිකාරීන්ගේ ගැති බව. ඔවුන්ට අභයගිරිය සංරක්‍ෂණ ව්‍යාපෘතියක්. එ බටහිර පුරාවිද්‍යාවට අනුව කරන සංරක්‍ෂණයක්. බටහිරයන් පිරමිඩ් හරි එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් හරි සංරක්‍ෂණය කරන අන්දමට තමයි මෙරට පුරාවිද්‍යාඥයන් අභයගිරිය සංරක්‍ෂණය කරන්නේ. පිරමිඩ් වත්මන් ඊජිප්තු ජනතාවගේ සංස්කෘතිය සමග සම්බන්ධ නැහැ. ස්ටෝන්හෙන්ජ් නිර්මාණය කර ඇත්තේ අවුරුදු හාරදාහකට පන්දාහකට එහා පැත්තේ කියලයි කියන්නේ. එය වත්මන් ඉංගිරිසින් සමග සම්බන්ධයක් නැහැ. ඒ කෞතුක ඉතිහාසයකට අයත් වස්තු. 

අපට ඇත්තේ ජීවමාන ඉතිහාසයක්. අප අර යුනෙස්කෝ ලෝක උරුමවලට අයත් වුණාට පස්සෙත් මෙරට පුරාවිද්‍යාඥයන් අනෙක් විද්‍යාඥයන් මෙන් ම බටහිර විද්‍යා ආධිපත්‍යයට යට වුණාට පස්සෙත් අපට අපේ විධියකට හිතන්න බැරි වෙනවා. අප නිකම් ම නිකම් වඳ අනුකාරක පුස්සන් පිරිසක් බවට පත් වෙනවා. අභයගිරිය ලෝක උරුමයක් වුණත් නැතත් එය සිංහලයන්ගෙ හා මෙරට වසන ජාතිකත්වයක් ඇති සියල්ලන්ගෙ උරුමයක්. 

අපේ පැරණි රජවරු ඔය දාගැබ් ආදිය සංරක්‍ෂණය කෙළේ නැහැ කියල හිතන්න එපා. ඒ ඒ රජවරු විවිධ කාලවල විවිධ ස්ථාන සංරක්‍ෂණය කළා. එහෙම සංරක්‍ෂණය නොකළා නම් ඒ ඉතුරු වෙන එකක් නැහැ. එහෙත් අප ඒ සියල්ල සංරක්‍ෂණය කෙළේ ඒ කෞතුක ඉතිහාසයකට අයත් ලෙස හිතමින් නො වෙයි. අප ඒ සංරක්‍ෂණය කෙළේ ඒ දාගැබ් හා වස්තු ජීවමාන ඉතිහාසයකට අයත් ලෙස සලකමින්.

මා මේ ගැන කිහිප වතාවක් ම කියා ඇති. එහෙත් පුරාවිද්‍යාව බටහිරින් ඉගෙන ගත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එය ඇහෙන්නේ නැහැ. ඇහුණත් ඔවුන් එය බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට ආපසු යෑමක් ලෙස සලකාවි. ඔවුන්ට දැනුම් පද්ධති දෙකක අතර ඇති වෙනස තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නේ බටහිර දැනුම් පද්ධතිය ගැන පමණයි. සංරක්‍ෂණය කිරීම යන්නට අපේ සංස්කෘතියෙහි නිර්වචනයක් දීමට ඔවුන් අසමත්. ඔවුන්ගෙන් සමහරකු බටහිරයන් අනුව යමින් අදත් වැදි ජනතාව සලකන්නේ මෙරට ආදිවාසීන් ලෙස. සිංහලයන් මෙරට වත්මන් වාසීන් මෙන් ම ආදීවාසීන් ද වන බව පුරාවිද්‍යාඥයන්ට හා ඉතිහාසඥයන්ට තේරෙන්නේ නැහැ.

මා දන්නේ නැහැ අභයගිරිය ව්‍යාපෘතියට යුනෙස්කෝ ආධාර ලැබුණා ද කියා. එහි දී එකඟ වුණු කොන්දේසි තියෙනවා ද කියා. අභයගිරිය ව්‍යාපෘතියට මෙරට ජනතාව පෞද්ගලිකවත් සංවිධාන ලෙසත් සහභාගි වුණා. කොන්දේසි තිබෙනවා නම් ඒ සහභාගීත්වය කොන්දේසිවලට එකඟ ද? 

රුවන්වැලි සෑය පිළිසකර කිරීමේ දී සුණු පිරියම් නොකිරීමට තීරණය කළා නම් කොහොම වෙන්න තිබුණ ද? ජීවමාන ඉතිහාසයක ඓතිහාසික වස්තුන් අපට හුදෙක් පැරණි වස්තු නො වෙයි. එය අපේ ජීවිතවලට සම්බන්ධයි. අප අභයගිරියට යන්නේ පැරණි චෛත්‍යයක් නැරඹීමට නො වෙයි. අභයගිරිය වඳින්න. එය අපේ ජීවිත සමග සම්බන්ධ බව තේරුම් ගන්න. අද උදේ අප එහි යද්දී එක් කාන්තාවක් අවට පිරිසිද කරමින් සිටියා. ඇය අප සමග දොඩමලු වූවා. දොරමඬලාවේ හෝ වෙනත් රුපවාහිනි සංවාදයක මෙන් නොවේ. ඉතා බුද්ධිමත් ව.

අප ඇය කී දේ අසා සිටියා. ඇය පඬියන් මෙන් නොව පැරණි කොත ගැන දැන සිිටියා. අභයගිරිය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බව දැන සිටියා. සමහර විට ඇය රජරට විශ්වවිද්‍යාලයට වැස්සකටවත් ගිහින් නැතිව ඇති. එය එසේ නම් ඒ තමයි ඇගේ ශක්තිය. මහාවිහාරය දේශීය වශයෙන් වැදගත් වූ පමණට අභයගිරිය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වූවා. පඬියන් හිතන්නේ එකල අපට ජාත්‍යන්තර දැනුම, ඒ කියන්නේ ඒ ඒ ජාතීන් සතුව තිබූ දැනුම්, ගැන අවබෝධයක් නැතිව ඉන්න ඇති කියා.  පඬියන් සමහර විට හිතනවා ඇති ඉතිහාසයේ පළමු වරට ඊනියා ජාත්‍යන්තර දැනුමට හිමිකම් කියන්නේ තමන් කියා. ඔවුන් දන්නේ අනුකරණය පමණයි. එයත් තමන්ට තේරෙණ ප්‍රමාණයට. ඔවුන් තම නොදැනුම්කම පණ්ඩිතමානී වචනවලින් වහා ගන්නවා. ඔවුන් ඊනියා ජාත්‍යන්තර දැනුම කියන්නේත් බටහිර දැනුමට පමණයි.

අප අදත් ජාත්‍යන්තර දැනුම් හැකි පමණින් ලබා ගන්න උත්සාහ කරනවා. අවශ්‍ය පරිදි එය අපේ කර ගන්නවා. අපේ දැනුමත් අප අධ්‍යයනය කරනවා. පඬියන් මෝනා ලීසා ගැන දන්නවා. පඬියන් අභයගිරියේ ඇඳ ඇති කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදු හාමුදුරුවරුන්ගේ චිත්‍ර හා රජවරුන්ගේ චිත්‍ර දැක තියෙනවා ද? ඒ චිත්‍ර සම්පූර්ණයෙන් ම අප බලන දිශාවට හැරෙනවා. මෝනා ලීසාට  එහෙම හැරෙන්න පාද නැහැ.        ්