History

Friday, 24 January 2020

ඊනියා අනාගමික රාජ්‍ය හා ඉන්දියාව

  සිංහල ලිත් ඉලක්කම් 


ඊනියා අනාගමික රාජ්‍ය  හා ඉන්දියාව


සිංහල බෞද්ධ රාජ්‍යය යන්නෙන් විවිධ පුද්ගලයන් විවිධ දේ අදහස් කරනවා. පැහැදිලිව ම එය ඊනියා අනාගමික රාජ්‍යයක් නො වෙයි. අනාගමික රාජ්‍යය යන්නෙන් බොහෝ විට කියැවෙන්නේ ආගමකින් ස්වාධීන වූ රාජ්‍යයක්. එහෙත් එවැනි රාජ්‍යයක් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රාජ්‍ය ක්‍රිස්තියානි රාජ්‍ය, මුස්ලිම් රාජ්‍ය ආදී වශයෙන් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ම සඳහන් වෙනවා. සමහරවිට රාජ්‍යයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනාගමික රාජ්‍යයක් ලෙස හැඳින්වෙන්න පුළුවන්. එහෙත් එවැනි රාජ්‍යයක් වුවත් ආගමකින් ස්වාධීන ද?


කිසිම රාජ්‍යයක් සංස්කෘතියකින් ස්වාධීන වන්නේ නැහැ. වත්මන් ලෝකයේ ප්‍රධාන සංස්කෘතීන් ආගම් මත සෘජුව හෝ වක්‍ර ව හෝ බැඳිලා. අද ඇති සංස්කෘතික රාජ්‍ය ඒ අර්ථයෙන් ගත් කල ආගමික රාජ්‍ය. සංස්කෘතික රාජ්‍ය යන්න ගුණදාස අමරසේකර හුවා දක්වන මාටින් යක්ගේ ඊනියා සභ්‍යත්ව රාජ්‍ය නො වෙයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි රාජ්‍යය ආගමික ද අනාගමික ද කිසිවක් නොවේ ද යනුවෙන් හඳුන්වා දී ඇති ආකාරය අපට වැදගත් නැහැ. අපට අවශ්‍ය භාවිතයෙන් රාජ්‍යයක් කටයුතු කරන ආකාරයයි. එංගලන්තය හරි බිරිතානිය හරි එක්සත් රාජධානිය හරි ක්‍රිස්තියානි රාජ්‍යයක් කියා කිසිම තැනක කියැවෙන්නේ නැහැ. එහි ලිඛිත ව්‍යවස්ථාවක් නැති එක වෙන ම කරුණක්. එහෙත් එංගලන්තයේ රජු හෝ රැජන හෝ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ නායකයා හෝ නායිකාව හෝ වෙනවා. එංගලන්තය ක්‍රිස්තියානි රාජ්‍යයක් කීමට එය ම ප්‍රමාණවත්. එහෙත් එංගලන්තය ක්‍රිස්තියානි රටක් ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ නැහැ. එරට නීතිය අධිකරණය අධ්‍යාපනය දැනුම විශ්වවිද්‍යාල පාසල් ජනමාධ්‍ය සංස්කෘතිය ආදී සියල්ල ක්‍රිස්තියානි.  

ඉන්දියාව හින්දු රටක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් වෙන්නේ නැහැ. එය භාවිතයෙන් හින්දු රාජ්‍යයක් කරා යමින් පවතිනවා. තවමත් එය ක්‍රිස්තියානි රාජ්‍යයක්. ඉංගිරිසින් සකස් කර දුන් නීතිය, අධිකරණය, අධ්‍යාපනය, ආදිය එහි ක්‍රියාත්මකයි. නේරු, ඉන්දිරා ගාන්ධි ආදීන් යටතේ එය ඉංගිරිසි ක්‍රමයට ම පැවතුණා. නේරුට තිබුණේ ඉංගිරිසි මානසිකත්වයක්. ඔහුට සම්පූර්ණයෙන් ම ලැබුණේ ඉංගිරිසි අධ්‍යාපනයක්. මහත්මා ගාන්ධිට වුණත් ඉංගිරිසි අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් ම කැඩෙන්න බැරි වුණා. 

එහෙත් ඉන්දියාවේ නිදහස් සටනේ ජාතිකත්ව පැත්තකුත් තිබුණා. සුභාෂ් චන්ද්‍රබෝෂ් වැන්නන් එය නියෝජනය කළා. එහෙත් නේරුලා ඉංගිරිසින්ගේ ද සහාය ඇතිව ඒ ජාතිකත්ව පැත්ත පරාජය කළා. දැන් නැවතත් ඉන්දියාවේ ජාතිකත්වය මතුවෙලා. අද එය හින්දු රාජ්‍යයක් කරා ගමන් කරනවා. එය සාර්ථක වේ ද නැද්ද යන්න දැන් ම කියන්න බැහැ. එහෙත් මෝදි හින්දු ජාතිකවාදියෙක්.

මෙහි දී කරුණු දෙකක්  අවධාරණය කරන්න ඕන. පළමුවෙන් ඉන්දියාව කියන රට ඇති වුණෙ ඉංගිරිසින්ගෙ කාලෙ. ඉංගිරිසින් තමයි වත්මන් ඉන්දියාව පකිස්ථානය බංග්ලා දේශය එකතු කරලා මහා විශාල ඉන්දියාවක් නිර්මාණය කෙළේ. ඉංගිරිසින් යටතේ එක් රටක් රාජ්‍යයක් ලෙස පැවතුණත් ඔවුන් ආපසු ගියේ එය රටවල් තුනකට කැඩෙන ලෙස කටයුතු කරලා. ඉංගිරිසින් තමන් යටතේ එකට එක්කළ හෝ එකට තිබූ රටවල් තමන් ආපසු යන විට බෙදන්න සැලසුම් කරලා ගියේ. 

ඔවුන්ගේ උපක්‍රමය වූයේ බෙදා පාලනය කිරීම. එකට තිබූ රටවල හෝ එක් කළ රටවල හෝ විිවිධ ජනකොටස් බෙදා වෙන් කර පාලනය කළ ඉංගිරිසින් ආපසු යන විට අර ජන කොටස් එකිනෙකාගෙන් බෙදෙන තැනට කටයුතු කරලයි ගියේ. ඉන්දියාවට පමණක් නොවෙයි ලංකාවට හා තවත් රටවලටත් ඔවුන් එය කළා. 

දෙවනුව ඉන්දියාව ඇති කෙළේ ඉංගිරිසින් වගේ ම හින්දු ආගමක් ඇති කෙළේ ශංකරාචාර්යතුමා. ඒ අටවැනි සියවසේ පමණ. හින්දු ආගම වුණත් ශිව භක්තිකයන් හා විෂ්ණු භක්තිකයන් ලෙස බෙදිලා. එ අතර කාලි අම්මා හා වෙනත් දෙවියන් දේවතාවියන් ප්‍රධාන කොට සලකන ජනකොටස් වත්මන් ඉන්දියාවේ ඉන්නවා. දකුණු ඉන්දියාවේ හින්දු ආගම උතුරු ඉන්දියාවේ හින්දු ආගම ම කියා කියන්න බැහැ. 

ශංකරාචාර්යයන්ට හා ඉංගිරිසින්ට පෙර භාරතය හා වෛදික ආගම් තිබූ බව අප පිළිගන්න ඕන. මේ ආගම් එකක් ලෙස සලකන්න බැහැ. ශංකරාචාර්යයන් කෙළේ මේ ආගම්වලට එකතු වීමට මගක් සැලසීමයි. එහි දී එතුමා ජෛන ආගමේ හා බුද්ධාගමේ ආභාසය ලැබුවා. දෙවියන්ට බිලි පූජා පැවැත් වූ වෛදික ආගම් අහිංසාවාදීන් වූයේ බුද්ධාගමේ හා ජෛන ආගමේ ආභාසයෙන්. එසේ වුවත් තවමත් ඇතැම් තැන්වල බිලි පූජා පැවැත්වෙනවා. ශංකරාචාර්යයන්ට අද්වෛත වේදාන්තය හා නිර්ගුණ් බ්‍රහ්මන් සංකල්පය නිර්මාණය කිරීමේ දී බුදු දහම බලපෑවා. ඇතැම් වෛදිකයන් එතුමා වෙස්වළාගත් බෞද්ධයකු ලෙස ද හැඳින්නුවා.

අද ඉන්දියාවේ ජාතිකත්වය නිර්මාණය වන්නේ මෝදි ප්‍රතිපත්තිය අනුව. මෝදි ගුජරාටයේ උපන්නෙක්. ඔහු උත්තර භාරතීය හින්දු ජාතිකවාදියෙක්. ඔහු භාරතීය ජනතා පක්‍ෂයේ හා රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංඝයේ (RSS) සාමාජිකයෙක්. සංඝයක් කියන්නේ එකතුවකට. සංඝය ගණය එක තේරුම් තියෙන වචන. ඉන් වත්මන් ව්‍යවහාරය අනුව නම් ජනරජයක් යන්න ද අදහස් වෙනවා. අද ඉන්දියාවේ ජාතිකත්වය උත්තර භාරතීය හින්දු ජාතිකත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

මේ ජාතිකත්වය උඩ තමයි මෝදි පහුගිය දා කාශ්මීරය කොටස් තුනකට කැඩුවෙ. ඒ මත තමයි ඉන්දියාවට ඇතැම් රටවලින් එන මුස්ලිම් සරණාගතයන්ට රටවැසිකම නොදීමට තීරණය කෙළේ. එයට ඉන්දියාවේ මුස්ලිමුන්ගෙන් හා පඬියන්ගෙන් විරෝධතාවක් එල්ල වූ නමුත් එය පරාජය කිරීමට මෝදිට හැකි වුණා. මෙරට පඬියන් ඒ සම්බන්ධයෙන් දැනෙන යමක් කෙළේ නැහැ. මෝදිගේ පක්‍ෂයට  දකුණු ඉන්දියාවෙන් ඡන්ද ලැබුණේ නැහැ. එහෙත් මෝදි ඡන්ද හිඟා කෑමට තම ප්‍රතිපත්ති වෙනස් කෙළේ නැහැ. උතුරු ඉන්දියාවෙන් ඔහුට අවශ්‍ය ඡන්ද ලැබුණා. 

අප ඇතැම් අවස්ථාවල ඉන්දියාව හින්දු රාජ්‍යයක් ලෙස හැඳින්වුවත් එය හින්ද රාජ්‍යයක් දෙසට ඇදී යන ක්‍රිස්තියානි රාජ්‍යයක්. තවමත් එහි නීතිය අධිකරණය අධ්‍යාපනය, විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආදිය ක්‍රිස්තියානි. එහෙත් සංස්කෘතියෙහි උත්තර භාරතීය  හින්දු ජාතිකත්වයක් දකින්න පුළුවන්. අද ඉන්දියාවේ ඉතිහාසය ජාතිකත්ව පදනමකින් ලියන්න කටයුතු කරනවා. රොමිලා තාපර් වැනි ඉතිහසඥවරියන්ට වූ පිළිගැනීම නැතිවෙමින් තිබෙනවා. 

අපට අවශ්‍ය දැනට ක්‍රිස්තියානි රාජ්‍යයක් වූ ලංකාවේ නැති වී ගිය සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන්න. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියනව ද නැද්ද  කියන එක ප්‍රශ්නයක් නො වෙයි.