History

Saturday, 4 January 2020

ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය

     සිංහල ලිත් ඉලක්කම්


ගෝඨාභය හා සිංහල බෞද්ධ රාජ්‍යය



ඊයේ පාර්ලිමේන්තුවේ ජනාධිපති දේශනය පැවැත්වුණා. ඒ සඳහා පැවතියේ ඉතා චාම් උත්සවයක්. ඒ විය යුතු විධියයි. ඉංගිරිසින්ගෙන් උරුම වූ උත්තමාචාර වෙඩි මුර ආදිය නැතිව ජයමංගල ගී සහ සාමාන්‍ය ආචාර සමාචාර පමණක් තිබුණා. එහි දී රාජපක්‍ෂ වෛරය ප්‍රකාශ කළ දෙදෙනකු සිටියා. එක් අයෙක් චම්පක අනෙකා සරත් ෆොන්සේකා. චම්පක ජනාධිපතිට ආයුබෝවන් කීවේ නැහැ. සමහර විට ඔහු ජනාධිපතිට දිර්ඝායු නොපතනවා වෙන්න පුළුවන්. 


සරත් ෆොන්සේකාට අනුව ගෝඨාභයගේ හා මෛත්‍රිපාලගේ කතාව අතර වෙනසකට ඇත්තේ රාජපක්‍ෂලා ගැන කී ටික පමණයි. මට නම් මතක නැහැ මෛත්‍රිපාල අන්තවාදී පක්‍ෂ පාර්ලිමේන්තුව අස්ථාවර කිරීම නවත්වන්න ඕන බව කීවා කියලා. ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවක් මෛත්‍රිපාල කියා නැහැ. ගෝඨාභයගේ කතාවේ සාධනීය අංග රාශියක් තිබුණා. සරත් ෆොන්සේකා සමහර විට නිදා ගෙන ඉන්න ඇති. ඒ සරත් හා මේ සරත් අතර කොපමණ වෙනසක් තිබෙනවා ද? එ වෙනස දවසින් දවස වැඩි වෙනවා.

ගණුදෙනු (ඩීල්) දේශපාලනය ජාතිවාදී හා ආගමිකවාදී පක්‍ෂ සම්බන්ධයෙන් පමණක් නොව ජාතික කඳවුරේ හිතවතුන් සම්බන්ධයෙන් ද නැවැත්විය යුතුයි. ඇතැම් ඉහළ යැයි කියන තනතුරුවලට අර පත් කරන ලද කමිටුවෙන් පිටින් පත් කර තිබෙන බව පැහැදිලියි. එය හොඳ තත්වයක් නො වෙයි. මැතිවරණවලට මුදල් දුන් පමණින් දූෂිතයන් හා කාර්යක්‍ෂම නොවන්නන් තනතුරුවලට සුදුසු වන්නේ නැහැ. නෑදෑයන් සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයයි. මහින්ද ආණ්ඩුවල නිලතල බෙදීමේ දී ගණුදෙනු සිදු වුණා. ඔහුගේ පරාජයට  එය ද හේතුවක් වුණා.
  
ගෝඨාභය ඊයේවත් කුරහන් සාටකය කරේ දා ගෙන තිබුණේ නැහැ. එහෙත් කුරහන් සාටකය දා ගන්නා ඇතැමුන්ට වඩා ජාතිකත්වයක් ගෝඨාභය රාජපක්‍ෂට තියෙනවා. ඒ බව ඔහු කරන කියන දෙයින් පේනවා. ජාතික ඇඳුම අඳින ඇතැමුන් එසේ කරන්නේ හුදෙක් චිත්ත රූපයක් මැවීමට පමණ බව ඔහු දන්නවා ඇති. ජාතික ඇඳුම සංකේතයක් පමණක් නොවිය යුතුයි. 

අපට සරිලන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තරම් සුදුසු පාර්ලිමේන්තුවක් මෙවර (2020) පත් කර ගන්න බැරි වේවි. ජාතිකත්වයක් සහිත මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අපට මෙවර පත් කර ගැනීමට හැකි වන එකක් නැහැ. එහෙත් හැකි තරම් ජාතිකත්වයක් ඇති මන්ත්‍රීවරුන් පත් කර ගන්න අප කටයුතු කරන්න ඕන. පළමුවෙන් ම ජාතිකත්වයක් සහිත අපේක්‍ෂකයන් ඉදිරිපත් කරවන්න ඕන. මා හිතනවා ගෝඨාභය රාජපක්‍ෂ ඒ කාර්යය තම අතට ගත යුතු ය කියා. මේ අවුරුදු පහ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක්. මේ අවුරුදු පහේ දී කළ යුත්තේ නොකර ම බැරි ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් කිරීම පමණයි. නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඊළඟ පාර්ලිමේන්තුවට සුදුසු පිරිසක් තෝරා පත් කරගන්න අප මේ අවුරුදු පහ යොදා ගත යුතුයි. 

අප අවසානයේ දී බලාපොරෙත්තු වන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවා ගැනීමට. එය ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක් නො වෙයි. අද සභ්‍යත්ව රාජ්‍යයක් කරා යෑමක් ගැන කතා කරන දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් ගුණදාස අමරසේකර වටා ඉන්න කිහිප දෙනකුගෙන් සමන්විතයි. ඔවුන් සභ්‍යත්ව රාජ්‍යයක් කියන්නේ කුමකට ද කියාවත් දන්නේ නැහැ. මා කිහිප වතාවක් කියා ඇති පරිදි ඊනියා සභ්‍යත්ව රාජ්‍යය යන්න සභ්‍යත්වයක් මත ගොඩ නැගුණු රාජ්‍යයක් නො වෙයි. එය මාටින් යක් නමැත්තා හා තවත් බටහිරයන් චීන රාජ්‍යය ජාතික රාජ්‍යයක් ලෙස නොපිළිගැනීම නිසා එකී රාජ්‍යය හැඳින්වීමට නිර්මාණය කර ගත් සංකල්පයක්. අමරසේකරට සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැහැ. ඔහුගේ සභ්‍යත්ව රාජ්‍යයක් කරා පොත කියැවීමේ දී ඒ බව පැහැදිලි වෙනවා. මා කලින් ලිපියක පෙන්වා දී ඇති ඔහු සභ්‍යත්ව රාජ්‍යය යන්නෙන් සිංහල බෞද්ධ රාජ්‍යය ද හඳුන්වන බව. අමරසේකර කැමති නම් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවාදයකට මා සූදානම්.

සභ්‍යත්ව රාජ්‍යය ගැන කියන අනෙක් පිරිස ධර්මපාල පරපුරේ අයයි. ඔවුන් කියන විධියට අමරසේකරට කලින් ඔවුන් ඒ වචන යොදා ගත්තා. මා හිතන්නේ නැහැ ඔවුන්ට මාටින් යක්ගේ සංකල්පය බල පෑවා කියා. කෙසේ වෙතත් ඔවුනුත් අදහස් කරන්නේ සභ්‍යත්ව රාජ්‍යයක් කරා යෑමටයි. ඔවුන් තමන් සභ්‍යත්ව රාජ්‍යයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පැහැදිලි කර දිය යුතුයි.  

අපට සිංහල බෞද්ධ රාජ්‍යයක් තිබුණා. එය 1816 දී පමණ නැති වුණා. සිංහලයන් එදා සිට  සටන් කර ඇත්තේ නැවත සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටුවා ගැනීමටයි. 1817-18 නිදහස් සටන, 1848 සටන, දහනවවැනි සියවසේ අග බෞද්ධ ප්‍රබෝධය ආදිය ඒ සඳහායි. පනස්හය ඉතා සුළුවෙන් නමුත් ඒ දිශාවට ගත් පියවරක්. එහෙත් පනස්හයේ දරුවන්ට න්‍යායක් දර්ශනයක් තිබුණේ නැහැ. ඒ දර්ශනය හා න්‍යාය දැන් ගොඩ නැගී තියෙනවා. ගෝඨාභය ආණ්ඩුව බිහි වන්නේත් නන්දිකඩාල් ජයග්‍රහණය කරන්නේත් එවැනි පසුබිමකයි.  ඇතැම් පොහොට්ටුවන්ට මේ කිසිම දේක වැටහීමක් නැහැ. ඔවුන් දවසක කියන්න බැරි නැහැ නන්දිකඩාල් පොහොට්ටුව (බැසිල්) නිසා ඇති වූ බව.   

අප සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීම ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. ඔහුට කළ හැක්කේ ඒ සඳහා පියවරක් දෙකක් ගැනීම පමණයි. අපට හදිසියක් නැහැ. මා මේ සියල්ල පදනම් ආයතනයේ ජනාධිපතිවරණයට පෙර පැවැත් වු රැස්වීමක දී කියා ඇති. මේ ලිපිවල ලියා ඇති. ජනමාධ්‍ය මා කරන කතාවලට ප්‍රචාරය නොදීම ගැන මට කරන්න දෙයක් නැහැ. එක් කරුණක් අවධාරණය කරන්න ඕන. සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නැගීම යනු කොළඹ විශ්වවිද්‍යාලයේ මැටි මෝලුන් කිහිප දෙනකු ජාතික චින්තනය ගැන කී ආකාරයට, අදත් සිතන ආකාරයට බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑම නො වෙයි. ඩිජිටල් තාක්‍ෂණය අපට අරහං නැහැ. ක්වොන්ටම් පරිගණක ගැන අප කතා කරන්නේ දශක කිහිපයක සිට. එකල මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අය ඒ බව දන්නවා. 

දෙරණ නොකළත් අපට අවශ්‍ය අපේ දේ රැකගෙන අලුත් දේ අපේ පදනමක අරගැනීමටයි. එහෙත් දෙරණ මෙන් නොව අප දැනුම නිර්මාණය කරනවා. අප බටහිර දැනුම අවශ්‍ය අවස්ථාවල යොදා ගත්තත් ඒ දැනුම් පද්ධතියේ ආධිපත්‍යයට යට වෙන්නේ නැහැ. ථෙරවාද රටවල විශිෂ්ට දැනුම් සම්භාරයක් තිබුණා. එහි කේන්ද්‍රය වූයේ ලංකාවයි. ලංකාව නැවතත් අවශ්‍ය පරිදි බටහිර දැනුම ද රැගත් නව ථෙරවාද දැනුම් පද්ධතියක මධ්‍යස්ථානය විය යුතුයි. ඒ සඳහා පළමුව ථෙරවාද රටවල දේශජ දැනුම් පද්ධති පිළිබඳ සම්මන්ත්‍රණයක් ලංකාවේ පැවැත්විය යුතුයි. අද අපට වැව් ප්‍රතිසංස්කරණය කර ගැනීමට නොහැකි අපට ඒ දැනුම දැන් නැති නිසයි. ඒ දැනුමත් වෙනත් දැනුමුත් අපි ලබා ගනිමු. නිර්මාණය කරමු. බැකෝ යන්ත්‍රවලින් හාරා කොන්ක්‍රීට් බැමි තනා වැව් ප්‍රතිසංස්කරණය කරන්න බැහැ.