History

Tuesday, 11 February 2020

තොරතුරු, රටා, කතන්දර හා නිවුටන්

         සිංහල ලිත් ඉලක්කම්


තොරතුරු, රටා, කතන්දර හා නිවුටන්



මිනිසුන් කරන ප්‍රධාන කාර්යය දෙකක් නම් තොරතුරු එකතු කිරීම හා කතන්දර හැදීමයි. මේ දෙක අතර සම්බන්ධයක් ද තියෙනවා. තොරතුරු එකතු කරන්න බැහැ කතන්දරයක් නැතිව. එ වගේ ම කතන්දරයක් හදන්න බැහැ තොරතුරු නැතිව. ඒ අතර මිනිසුන් රටා හඳුනා ගැනීම ද කරනවා. රටා හඳුනා ගැනීම කතන්දරයක් හැදීමේ දී ඉවහල් වෙනවා. එය සාධාරණීකරණය සමග බැඳී තියෙනවා. 


මේ සියල්ල සංස්කෘතිය සමග බැඳී තිබෙනවා. එක සංස්කෘතියක හඳුනා ගන්නා රටා තවත් සංස්කෘතියක හඳුනා ගැනීමට නොහැකි වන්න පුළුවන්. ඊනියා බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රවල රටා හඳුනා ගැනීමේ ප්‍රශ්න තියෙනවා. බටහිර සංස්කෘතියේ හඳුනා ගන්නා රටාවක් සිංහල බෞද්ධ සංස්කෘතියේ හඳුනා නොගන්න පුළුවන්. එලෙස ම එහි අනෙක් පැත්තත් සිද්ධ වෙනවා. සාමාන්‍ය බුද්ධිය නැත්නම් බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී එ ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවෙනවා. බටහිර රටවල ප්‍රශ්න පත්‍ර මෙරට සිසුන්ට ද දීම සුදුසු ක්‍රියාවක් නො වෙයි. 

අප වඩා දන්නේ තොරතුරු බෙදා හදා ගැනීමට. ඒ තොරතුරු ඈසුරෙන් වියුක්ක කතන්දර ගෙතීමට අපට බැහැ. අප කතන්දර ගොතන්නෙ නැතිව නොවෙයි. එ සියල්ල සංයුක්ත කතන්දර. ලිඳ ලඟ කතා පමණක් නොව ඊනියා උගතුන් අතර ද කෙරෙන්නෙ සංයුක්ත කතන්දර හැදීම. මේ ලිඳ ලඟ කතා තව දශක කිහිපයකින් නැති වෙලා යාවි. සාමූහික නෑම පිහිනුම් තටාකවලට විනෝදයට මුහුදෙ නෑමට වගේ දේවලට සීමා වේවි. එහි දීත් කතන්දර හැදේවි. ඒ කතන්දර වලට ස්විමුන් පූල් කතා කියන එකක් නැහැ. ඒත් ඒවාත් සංයුක්ත කතන්දර පමණයි. 

තොරතුරක් කියන්නෙ අපේ පංචෙන්ද්‍රියවලට ගෝවර වන්නක්. ඇසීමෙන් කියවීමෙන් ගඳ සුවඳ බැලීමෙන් ස්පර්ශයෙන් දිවෙන් අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ තොරතුරු ලබා ගැනීමේ දී මනසත් අවශ්‍ය වෙනවා. මනසින් පමණක් ලබා ගන්නා තොරතුරුත් තියෙනවා. එහෙම වුණත් කතන්දර හදන්න පුළුවන් මනසින් පමණයි. සංයුක්ත කතන්දර වුණත් වියුක්ත කතන්දර වුණත් හදන්නෙ මනසින්. ඒ සියල්ල හිතළු. 

සංයුක්ත කතන්දර අපට සිතෙන් මවා ගන්න පුළුවන්. අද මා මේසයේ තිබූ මුදල් අතුරුදහන් වෙලා. ඒ කොහොම ද කියල මා ඇහින් දැක්කෙ නැත්නම් වීඩියෝ දර්ශනයක් දැක්කෙ නැත්නම් මා එක එක දේ හිතා ගන්නවා. මගේ විශ්වාසයට පාත්‍ර වුණෙ නැති අයකු ඒ ගන්න ඇති කියල මා හිතනවා. එය හිතළුවක්. ඒ හිතළුව මට හිතෙන් මවා ගන්න පුළුවන්. මගේ මනසින් එය දකින්න පුළුවන්.  

මේ එක් සිද්ධියක් පිළිබඳ ව කතන්දරයක් හැදීමක්. සමහර විට ඒ කතන්දරය තහවුරු කර ගන්න පුළුවන් වේවි. තහවුරු කිරීම යන්නෙන් සත්‍යය  යැයි කියැවෙන්නේ නැහැ.   සිද්ධිය දුටු අයකු පසුව මුණ ගැසෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අදාළ පුද්ගලයාම පාපෙච්චාරණයක් කරන්න පුළුවන්. සමහර විට හිතළුව කිසි දිනෙක තහවුරු නොවන්න පුළුවන්. එවිට එය හුදු හිතළුවක් පමණක් වෙනවා. අප අතර සුරංගනා කතාත් තියෙනවා. ඒව අහල නිදා ගන්න පුළුවන්. 

අද දේශපාලනයේ එක් එක් සිද්ධි ගැන කියැවෙනවා. මෙරට බොහෝ දෙනකු ඒ සිද්ධි ගැන කතන්දර හදනවා. අඳ අප සමහර විට කුමන්ත්‍රණ ගැන කියනවා. ඒ කතන්දරයක් හදා ගන්න බැරි වුණා ම කියන්නක්. ඒකත් එක්තරා විධියකට ගත්තොත් කතන්දරයක් තමයි. අද නව කොරෝනා වයිරසය පැතිරීම ගැනත් කතන්දර තියෙනවා. එය ජෛවී යුද්ධයක් ලෙසත් හඳුන්වනවා. අප එක් එක් අය අපේ හැදියාව (සංස්කෘතිය) අනුව ඒ ඒ කතන්දර ප්‍රිය කරනවා. මා වඩාත් ම ප්‍රිය කරන්නේ බ්‍රොන්කයිටිස් කතන්දරය. කුරුල්ලන්ගේ (විශේෂයෙන් ම කුකුළන්ගේ) බ්‍රොන්කයිටිස් රෝගය බෝවීම වැළැක්වීමට නිර්මාණය කරන ලද එන්නතක් කුකුළන්ගෙන් මිනිසුන්ට නව කොරෝනා වයිරසය ලෙස වැළඳීම. එය තහවුරු නොකළ හිතළුවක්.

ඒකත් සංයුක්ත කතන්දරයක්. මිනිසුන් වියුක්ත කතන්දරත් ගොතනවා. ඒවා හිතෙන් මවා ගන්න බැහැ. හිතන්න පුළුවන්. බටහිර විද්‍යාවේ බොහෝ විට කෙරෙන්නේ වියුක්ත කතන්දර ගෙතීම. එය සිද්ධියෙන් සිද්ධියට යෑමක් නො වෙයි. සිද්ධි සමූහයක ඇති රටාවක් හඳුනා ගන්න වෙනවා. මා මෙහෙම කිවුව ම හිතන්න එපා එවැනි රටා අපෙන් තොර ව තියෙනවා කියා. අප රටා හඳුනා ගන්නවා කියන්නේ රටා නිර්මාණය කිරීමට. මා කලින් කිවුවෙ රටා හඳුනා ගැනීම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා කියා. ඒ කියන්නෙ රටා නිර්මාණය කිරීම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා කියන එක. 

සිද්ධි සමූහයක් අතර රටාවක් දුටු විට ඒ රටාව ගැන වියුක්ත කතන්දරයක් හදන්න පුළුවන්. මට අභිධර්මය පේන්නෙ එවැනි කතන්දර හැටියට. සූත්‍ර පිටකයෙ තියෙන සිද්ධි පිළිබඳ රටා හඳුනා ගෙන නිර්මාණය කළ වියුක්ත කතන්දර ලෙස අභිධර්මය හඳුනාගන්න පුළුවන්. ඒකත් කතන්දරයක් තමයි. 

ඇපල් ගෙඩි සහ තවත් ගෙඩි පොළොවට ඇද වැටීමේ රටාවක් නිවුටන් නිර්මාණය කළා. ඒ සියළු වස්තු එක ම ත්වරණයකින්, අර පඬි නැට්ටකුගේ ත්වරණයෙන් නොවෙයි, පොළොවට ඇද වැටෙනවා. අඩු තරමෙන් පොළොව ආසන්නයේ එහෙම වෙනවා. මේ ත්වරණය වගේ වචන සිංහලෙන් විද්‍යාව ඉගැන්වීමේ දී යොදා ගන්න එක ප්‍රශ්නයක්. ත්වරණය කියන්නෙ ඇක්සලරේෂන් කිවුවොත් ඊට වඩා තේරෙන්න පුළුවන්. 

කොහොමටත් ත්වරණය කියන්නෙ වේගය (ප්‍රවේගය) වෙනස් වීමේ සීඝ්‍රතාව. ඒකත් තේරෙන්නෙ නැහැ.ප්‍රවේගයෙ දිශාවත් විශාලත්වයත් වෙනස් වෙන්නෙ නැත්නම් ත්වරණයක් නැහැ. ඉන් එකක් හරි වෙනස් වුණොත් ත්වරණයක් තියෙනවා. ඒ වෙනස්වීමත් එක්තරා වේගයකින් (තත්පරයකට හරි ඒකක කාලයට හරි මෙපමණය කියන අර්ථයෙන්) වෙනස් වෙනවා. ඒ වේගය තමයි ත්වරණය. 

වස්තු පොළොවට වැටෙන්නේ එක ම ත්වරණයකින් ය යන්න නිර්මාණය කිරීමට නිවුටන්ට ගැලීලියොග් පරික්‍ෂණ හා නිරීක්‍ෂණ උපකාර වුණා. විද්‍යාත්මක ක්‍රමයක් කියල සමහරු නිරීක්‍ෂණ පරික්‍ෂණ නිගමන ගැන කියන්නෙ මේ වගේ සිද්ධි ඇසුරෙන්. ඒත් එහෙම විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. කොහොම හරි නිවුටන් මේ වස්තු එකම ත්වරණයකින් පොළොවට වැටෙන එක ගැන වියුක්ත කතන්දරයක් හැදුවා. ඒ ගුරුත්වාකර්ෂණ කතන්දරය. ඒකත් හොඳ සුරංගනා කතාවක්. පංතියෙදි ඒක අහන සමහරු නිදා ගන්නවා.