History

Sunday, 16 February 2020

වෙන් කිරීම හා පොලු දැමීම

 සිංහල ලිත් ඉලක්කම්


වෙන් කිරීම හා පොලු දැමීම



ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  2020 නීතිය පිළිබඳ සමුළුවක දී වැදගත් කතාවක් කර තිබුණා. සංවර්ධන කටයුතුවල දී නීතිය විධායකයට බාධා නොපැමිණ විය යුතු බවයි කියා තිබුණේ. දැන් පඬියන් ගත් කටට ම අහන්නේ මේ සංවර්ධනය බටහිර ද පෙරදිග ද කියා. එය කුමක් වුවත් මේ කතාවට අදාළ නැහැ. පඬියන් හිතන්නේ අප බරකරත්තයෙන් අනුරාධපුරේ යන පිරිසක් කියා. මා කිහිප වතාවක් ම මෙයට පිළිතුරු දී ඇති නමුත් පඬියන්ට එය තේරුම් ගැනීමට අවශ්‍යතාවක් නැහැ. 


පරිසරය ගැනත් එසේමයි. අප දැන් පරිසරයක් ගැන කතා කරන්නේ බටහිර රාමුවක. අප අමුතුවෙන් පරිසරයක් රැක්කේ නැහැ. අපට තිබුණෙ සහජීවනයක්. සාමූහිකත්වයක්. අපේ ජීවන ක්‍රමයෙහි පරිසරය රැකුණා. අමුතුවෙන් රකින්න අවශ්‍ය වුණෙ නැහැ. බටහිර සංවර්ධනයට අනුව පරිසරය රකිනවා කියන්නේ වෙන ම කාර්යයක්. ඒ සඳහා පරිසරවේදීන් කියල පිරිසකුත් ඇති වෙලා. බොහෝ කලකට පෙර මා විදුසරට හා දිවයිනට ලියූ ලිපිවල මේ සියල්ල සාකච්ඡා කර තියෙනවා. 

බටහිර සංවර්ධනයට (විද්‍යාවට) පරිසරය රකින්න බැහැ. එහි ගතික සමතුලිතතාවක් නැහැ. ඊනියා සංවර්ධනය සමග පරිසරය විනාශ වෙනවා. කඩොලාන කඩා පිට්ටනි හදන්නෙ මොන එහෙකට ද? පිට්ටනි හදන්න මිනිසුන් ඉන්න ඕන. කඩොලාන කඩා මිනිසුන්ට ඉන්න බැරි වේවි. බටහිර අදහස් හිස් මුදුනින් පිළිගත් හිස්  පඬියන්ට අවශ්‍ය නම් ඒ ලිපි සොයා ගෙන කියවන්න පුළුවන්.

බටහිර සමාජය යම් කිසි දිනෙක නැති වන්නේ ඊනියා ධනපති ක්‍රමය නැති වී මාක්ස්ගේ මනසේ තිබූ විප්ලවයක් ජය ගැනීමෙන් නොව සංවර්ධනය ඉහ වහා යෑමෙන්. බටහිර සංවර්ධනයත් සමග විනාශ වන්නේ පරිසරය පමණක් නො වෙයි. පවුල් සම්බන්ධතා ද නැති වෙනවා. මේ සියල්ල සාමූහිකත්වය නැති වී පෞද්ගලිකත්වය ඉස්මතු වීම  එකා පරදවා අනෙකා ඉස්මතු වීම නිසා සිදු වෙන දේ. 

අපේ සංවර්ධනය සාමුහිකත්වය නැති කර නොගත් පරිසරයෙන් වෙන් නොවූ අල්පේච්ඡතාව  සරල බව පදනම් කරගත් සංවර්ධනයක් විය යුතුයි. එහි ලැප්ටොප් තියෙන්න පුළුවන්. මෝටර් රථ තියෙන්න පුළුවන්. එහෙත් එක් එක් පුද්ගලයාට රැකියාවට යෑමට කියා වෙන් වූ වාහන තියෙන එක හොඳ වැඩක් ද?  රැකියාවට ඇවිත් වාහනය ගාල් කර වෙන් කරල පැය ගාණක් තියෙන එක හොඳ වැඩක් කියල හිතනවා ද?  

බටහිර තේමාව වෙන් කිරීම. අප නොකළ යුත්තේ ද වෙන් කිරීමයි. දැන් අහන්න එපා දෙයයියන්නෙ ලෙඩ හැදුනා ම වෙන් කරන්නෙ නැත් ද කියා. බටහිර කරන්නෙ ලෙඩ නොහැදුණු අය, විෂය ආදිය වෙන් කිරීමක්. එහෙත් අපට අද තියෙන්නෙ බටහිර සංවර්ධනය. ජනතාව "ඉල්ලන්නෙත්" බටහිර සංවර්ධනයක්. ඇමරිකාවක් වෙන්න බැරි නම් සිංගප්පූරුවක් වෙන්න. 

අනෙක් අතට අප කතා කරන්නේ බටහිර පාලනයක විධායකය හා නීතිය ගැනයි. අප ජීවත්වන්නේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක. එයට අදාළ ව තමයි කතා කරන්න වෙන්නෙ. අපට මෙය තවත් පළල් කරල විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර සම්බන්ධය කතා කරන්න පුළුවන්. බටහිර රාජ්‍ය තන්ත්‍රයෙහි තමයි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යනුවෙන්  වෙන් කරල තියෙන්නෙ. මේ වෙන් කිරීම මහා ලොකු දෙයක් හැටියට බටහිරයන් උගන්වනවා. බටහියන්ගේ ආත්මය වෙන් කිරීමයි. 

මොන තරම් වෙන් කරන්න උත්සාහ කළත් විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙන් කරන්න බැහැ. පහුගිය දවස්වල අප මෙය හොඳින් දැක්කා. ජනතාවගේ ජීවිත සම්බන්ධ තීරණ ගැනීමේ දී වෙන් කිරීම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. රන්ජන්ගේ හඬපට කියන්නෙත් වෙන් කිරීම බටහිර ආත්මය වුණත් එය ක්‍රියාත්මක කරන්න බැහැ කියන එකයි. 

සංවර්ධනයත් පරිසරයෙන් වෙන් කරන්න බැරි නිසා තමයි පරිසරය අනෙක් පැත්ත හැරිල සංවර්ධනයට ගහන්නෙ. ඔය පඬියන් ලොකුවට කතා කරන මහා පොළොවේ ඊනියා යථාර්ථය (ඒක අර මෙයිසුගෙ ද කාගෙද හරි ඔහුගෙ ගුරුවරයාගෙ හරි ගණිතමය යථාර්ථයක් ද) තමයි අද මහා පොළොවේ උෂ්ණත්වය වැඩි වීම.  ඒ වැඩි වෙන්නෙ සංවර්ධනයට පින් සිදු වෙන්න. දැන් වෙනදට වැඩිය ලැව් ගිනි පැතිරෙනවා. ඒකට සංවර්ධන ලැව් ගින්න කියා අර්ථ කිහිපයකින් කියමු ද? පඬියන්ට එහෙම කිවුව ම තේරෙනවා ද? 

අධිකරණය හා නීති පද්ධතිය අද විධායකයට හා ව්‍යවස්ථාදායකයට බලපෑම් කරනවා. ව්‍යවස්ථාදායකයට පුළුවන් ද විධායකය නැතිව පවතින්න. විධායකයටත් බැහැ ව්‍යවස්ථාදායකය නැති ව පවතින්න. කාට කාටත් අධිකරණය හා නීති පද්ධතිය ඕන. නමුත් ප්‍රශ්නය වන්නේ සමහර වැඩවල දී ඒ ආයතන අනෙක් ආයතනයට බාධා කිරීම. එහි දී වෙන් කිරීම අභිබවා ගොස් අනෙක් ආයතනයකට බාධා කරනවා. මෙය කිසිසේත්ම ඊනියා බලතුලනයක් නො වෙයි. 

කාමර තුනක වෙන වෙන ම දමා තිබුණත් විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඒ කාමරවල බිත්ති හිල් කරගෙන ඇඟිලි ගහනවා. අද එයත් පසු කර ඒ කාමරයෙන් මේ කාමරයට පොලු දානවා. අසීමිත වෙන් කිරීම කඩා වැටිලා. ජනතාවගේ මොන සංවර්ධනයකට හරි විධායකයට බාධා පැමිණවීමක් ගැනයි ජනාධිපති ගෝඨාභය කියන්නෙ. එය නවත්වන්නේ කොහොමද? 

අසීමිත ව බලතල වෙන් කරන්න බැහැ. හැම රටක ම එය දකින්න පුළුවන්. සමහරවිට අප වැනි රටවල වෙන් කිරීම ආගන්තුක නිසා ඇඟිලි ගැසීම වැඩියෙන් සිද්ධ වෙනවා ඇති. විධායකය අධිකරණයට බාධා පැමිණුවොත් පඬියන් මොකද කරන්නෙ. උද්ඝෝෂණ පිටියට යනවා ද? ඒ සඳහා පිරිසක් ඉන්නවා ද? නැතත් කමක් නැහැ. පොලිස් නිලධාරීන් පිරිසට වඩා ඉඳීවි. ගිහින් බලන්න. 

අප සියළු දෙනා ම (මිනිසුන් සතුන් ගහකොළ ආදිය) එක ම පද්ධතියක්. සංවර්ධනය මොකක් ද කියා තීරණය කරන්නෙ කවුද? ඒ නීති පද්ධතිය නම් නොවෙයි. සංවර්ධනය කුමක් විය යුතු ද කියා තීරණය කළාට පසු නීති පද්ධතියට එයට බාධා කරන්න බැහැ. ඒ වෙන් කිරීම පදනම් කරගෙන එළඹෙන නිගමනයක්. නීති පද්ධතිය සකස් කරන්නෙ ව්‍යවස්ථාදායකයෙන්. නීති පද්ධතියට කරන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කිරීම හා විවරණය කිරීම පමණයි. වෙන් කිරීම ක්‍රියාත්මක වන විට නීතිය පොලු දැමීමෙන් වැළකී ඉන්න ඕන.