History

Sunday, 9 February 2020

ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම

     සිංහල ලිත් ඉලක්කම් 


ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම
  
මා ඊයේ ලියූ "ලිපිය" කිහිප දෙනකුට තේරිලා නැහැ. එය පුදුමයක් නො වෙයි. සමහර දෙනකු ලිපි කියවන්නේ මා ගැන ඇති කර ගත් පූර්ව නිගමන සමගයි. මේ අය හිතන් ඉන්නේ මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධය කියා. එහෙම හිතන එක මට තේරෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේ ජාතික චින්තනයට විරුද්ධ අය, ඔබ්සර්වර් සිළුමිණ පුවත්පත් ද ඇතුළුව, කියා සිටියේ මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධය කියා. මා සමග කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටියේ යැයි කියන පුද්ගලයකු නැවතත් ඒ කතාව කියනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයෙහි එකල සිටි සියල්ලන් දන්නේ නැහැ. සමහරුන් හිතනවා ඇති මා ඔවුන් දැන සිටියා කියා. එහෙත් එහෙම නොවෙයි. මා බොහෝ දෙනකු දැන සිටියත් සියල්ලන් දැන සිටියේ නැහැ. 


ඊයේ ලිපිය ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වීම ගැනයි. එය ඉංගිරිසි ඉගෙනීම ගැන නො වෙයි. ඇතැම් උපාධිධාරියකු, කථිකාචාර්යවරයකු සිතා ඇත්තේ  මා ලියා ඇත්තේ ඉංගිරිසි ඉගෙනීම ගැන කියයි. මා ඊයේ ලිපියේ යම් ඉඩක් ලබා ගත්තේ අලුත් අදහස් නිර්මාණය කිරීම ගැන කීමටයි. පොතක් කියවීමත් දැනුමක් නිර්මාණය කිරීමක්. ලිපියක් කියවීමත් දැනුමක් නිර්මාණය කිරීමක්. 

මා ඊයේ ලිපියක් ලිවුවා. ඔබ වෙනත් ලිපියක් කියෙවුවා. ඒ මා ලියූ ලිිපිය නොවෙයි. ඔබ කියවා ඇත්තේ ඔබ නිර්මාණය කළ ලිපියක්. මා ලියුවේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැනයි. ඇතැමුන් කියවා ඇත්තේ ඉංගිරිසි ඉගෙනීම ගැනයි. සෑම අයකු ම කතුවරයෙක්. ඒ ඒ අය ඒ ඒ ලිපි නිර්මාණය කරනවා. මට ඒ ගැන කරන්න දෙයක් නැහැ. ගුරුවරු ඒ ගැන හොඳින් දන්නවා. සිසුන් පිළිතුරු පත්තරවල ලියන්නේ ගුරුවරයා ඉගැන්වූ දේ නොවෙයි. ඒ එ සිසුන් නිර්මාණය කර ගත් දේ. මෙහි තවත් පැත්තක් තියෙනවා. ගුරුවරයා කියවන්නේ ශිෂ්‍යයා ලියූ පිළිතුර ද කියන එක. 

කොළඹ විශ්වවිද්‍යාලයේ දී මා හඳුන්වනූ ලැබුයේ ජාතික චින්තන මතධාරියකු ලෙසයි. ඇතැමුන් කීවේ මා ජාතික චින්තනය උගන්වන බවයි. ජී එල් පීරිස් මගෙන් ඇහුවේ මා ජාතික චින්තනය උගන්වන්නේ ඇයි ද කියා. මා ගත් කටට ම ඇහුවේ අනෙක් අය විජාතික චින්තනය උගන්වනවා නම් මා ජාතික චින්තනය ඉගැන්වීමේ ඇති වරද කුමක් ද කියා. මා කියූ දේ  මට අවශ්‍ය ආකාරයට අවබෝධ කර ගත්තේ නැහැ. ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ නිර්මාණය කර ගත්තා.

කොළඹ විශ්වවිද්‍යාලයෙහි මා ඉංගිරිසි ඉගෙන ගන්න එපා කිවුවෙ නැහැ. ඇතැමුන් කිවුවේ මා ඉංගිරිසි ඉගෙන ගන්න එපා කියනවා කියා. ඔබ්සර්වර් පත්‍රයේත් එහෙම කිවුවා. මා ප්‍රභාකරන් හමුදා මෙහෙයුම්වලින් පරාද කරන්න පුළුවන් කියන විට ඇතැමුන් කිවුවේ මා තරුණ තරුණියන්ට හමුදාවට බැඳෙන්න කියනවා කියා. ඇතැමුන් ඒ අනුව වෙනත් නිගමනවලට එළඹුනා. ඔවුන් ඇහුවා මා ඉංගිරිසි ඉගෙන ගන්න එපා කියමින් මගේ දරුවන්ට ඉංගිරිසි උගන්වන්නේ ඇයි ද කියා. මා අමුතුවෙන් ඉංගිරිසියක් ඉගැන්නුවේ නැහැ. අප ගෙදර දී ඉංගිරිසි කතා කෙළෙත් නැහැ කතා කරන්නේත් නැහැ. ඔවුන් පාසලෙන් ඉංගිරිසි ඉගෙන ගත්තා. සමහරු ඇහුවා මා අනෙක් අයගේ දරුවන්ට යුද්ධයට යෑමට කියමින් මගේ දරුවන් යුද්ධයට යවන්නේ නැත්තේ ඇයි ද කියා. මා අනෙක් අයට හමුදාවට බැඳෙන්න කීවේවත් මගේ දරුවන්ට හමුදාවට බැඳෙන්න එපා කියා කීවේවත් නැහැ. බොහෝ දෙනා සිතන්නේ මා අවංක පුද්ගලයකු නොවන බවයි. මා කියන දේ නොකරන අයකු ලෙසයි.

මිනිසුන් නිගමනවලට එළඹෙන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය අනුව අනුමාන නීති (Inference Rules ) යොදා ගැනීමෙන් ම නො වෙයි. ඔවුන් බොහෝ විට ඒ අයුරින් නිගමනවලට එළඹෙනවා නොව අර පුද්ගලයා කොයි වගේ කෙනෙක් ද, ඔහු අවංක ද, ඔහුට පාර්ලිමේන්තුවට යන්න ඕන ද වගේ කරුණු මත නිගමනවලට එළඹෙනවා. සමහරු හිතනවා මා සියල්ල කර ඇත්තේ තානාපතිකමක් ලබා ගැනීමට කියා.

අප බොහෝ විට සිංහල සවිඥානික ව ඉගෙන ගන්නේ නැහැ. පාසලේ දී සිංහල පාඩමක් තියෙනවා. එහෙත් අප සිංහල ඉගෙන ගන්නේ ඒ පාඩමෙන් ම නොවෙයි. සමහර විට පාසලේ සිංහල පාඩමෙන් ඉගෙන ගන්නේ බොහොම ටිකයි. ඵාසලේ දී ව්‍යාකාරණය කියල දුන්නත් අප ලියන්නේ අපේ ව්‍යාකරණයකින්. පාසලේ ඉගෙන ගන්නා ව්‍යාකරණයෙන් නො වෙයි. අප සිංහල ඉගෙන ගන්නේ ගෙදරින්, වැඩිහිටියන්ගෙන් මිතුරන්ගෙන් ආදී වශයෙන්. ටික දෙනකු පාසලෙන් සමහර දේ ඉගෙන ගන්නවා. පාසලෙන් ඉගෙන ගන්නේ සවිඥානික ව. පිටින් ඉගෙන ගනනේ අවිඥානික ව. ඒ සිංහල සම්බන්ධයෙන්. එහෙත් අප බොහෝ දෙනකුට ඉංගිරිසි ඉගෙන ගැනීමට සිදුවන්නේ සවිඥානික ව. ඉංගිරිසි ඉගෙන ගැනීමේ දී ඇතැමුන් ශබ්දකෝෂ භාවිතා කරනවා. එහෙත් සිංහල ඉගෙනීමේ දී ශබ්දකෝෂ පරිශීලනය කරන්නේ කිහිප දෙනකු පමණයි. 

ඉංගිරිසි ඉගෙනීමේ දී අපට උච්චාරණය ව්‍යාකරණය ආදිය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. අප ඉංගිරිසි කොපමණ මට්ටමකට ඉගෙන ගන්න ඕන ද? අප ගණිතය කොපමණ මට්ටමකට ඉගෙන ගන්න ඕන ද? ඒ තීරණය කළ යුත්තේ අපේ අවශ්‍යතා මත. හැමෝ ම ෂේක්සිපියර් කියවන්න යන්නේ නැහැ. ඩෙරීඩාගේ ඉංගිරිසි පරිවර්තන කියවන්න යන්නේ නැහැ. හැමෝ ම ඉංගිරිසි සාහිත්‍යය ගැඹුරට හදාරන්නේ නැහැ. සිංහල සාහිත්‍යය ගැඹුරට හැදෑරු කී දෙනකු ලංකාවේ ඉන්නවා ද? පොතපත කියවීමට ඉංගිරිසි ඉගෙනීම තරමක් වෙනස්. පොතපත කියවීමෙන් ම ඉූංගිරිසි ඉගෙන ගන්න අයත් ඉන්නවා. එය චක්‍රයක් මෙන්. සරල පොත් කියවීමෙන් පටන් ගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය පොතපත ඉංගිරිසියෙන් කියවීමට හැකි වන තුරු පොත් කියවන්න පුළුවන්. අප සියළු දෙනා ම ගණිතය ඉගෙන ගන්නවා කියා ප්‍රවර්ග ප්‍රවාදය ඉගෙන ගන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් භෞතික විද්‍යාවේ ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය (පඬි නැට්ටකුට අනුව මහා සාපේක්‍ෂතාවාදය) ඉගෙන ගන්න යන්නේ නැහැ. වීජ ගණිතයෙහි වර්ග සමීකරණයක් විසඳා ගන්න අවශ්‍ය කී දෙනකු ඉන්නවා ද? හයිසන්බර්ග් න්‍යාස (matrices) ගැන දැන සිටියේ නැහැ. ඔහු එය ඉගෙන ගත්තේ ක්වොන්ටම් යාන්ත්‍රිකය නිර්මාණය කිරීමට ඒ අවශ්‍ය වූ විට. 

අපට පාසල් විෂය නිර්දේශ නිසා අවශ්‍ය නැති දේත් ඉගෙන ගන්න වෙනවා. එයට කරන්න දෙයක් නැහැ. අද අධ්‍යාපනය රක්‍ෂා කේන්ද්‍රීයයි. මාගේ මේ ව්‍යායාමය හුදෙක් දැනුම ලබා ගැනීමට පමණයි කියා ඉගෙන ගන්නේ කී දෙනා ද? ඉංගිරිසි ඉගනීමේ දීත් ඒ බලපානවා. ඉංගිරිසියෙහි සිංහලට නැති සමජ තත්වයක් ඇති කර තිබෙනවා. ඒ ඉංගිරිසින්ගේ සංස්කෘතික ආධිපත්‍යයෙන් ලැබෙන දෙයක්. එහෙත් ඊයේ මා කතා කෙළේ මේ එකකවත් නොවෙයි. ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන්වීම ගැනයි. අවශ්‍ය අය අවශ්‍ය අන්දමට ලිපි කියවා තිබෙනවා.