History

Tuesday, 17 March 2020

නව කොරෝනාව හා විවිධ සංස්කෘති

 සිංහල ලිත් ඉලක්කම්


නව කොරෝනාව හා විවිධ සංස්කෘති



නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 වසංගතය ලෝ පුරා පැතිර යද්දී මෙරට ජනතාවගෙන් සුළු කොටසකගේ උද්ධච්ඡකම, ආත්මාර්ථකාමිත්වය, ලොක්කා වීමේ ආශාව, පඬියා වීමේ අවශ්‍යතාව, මෝඩ සතුටක් ලබා ගැනීමට ඇති කැමැත්ත, දේශීය දැනුමට ගැරහීමට ඇති අධිමානය හා තවත් දේ එළියට ආවා. මේ බොහෝමයක් බටහිර නාගරික සංස්කෘතියට ගොදුරු වූ අය. දිවයිනේ උසස් යැයි සම්මත පාසලක ඉගෙන ගත් අයකු මට විද්‍යුත් ලිපියක් එවමින් කුණුහරුපයෙන් බැණ වැදුණේ මා කීවාට කොවිඩ් 19ට ආයුර්වේදයේ ප්‍රතිකාර නැති බව කියමින්. මා සාමාන්‍යයෙන් ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. මා කතා කරන්නේ පාරම්පරික සිංහල වෙදකම ගැන. මේ කිසිම වෙදකමක කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇති බවක් මා කියා නැහැ. 


මා කියා ඇත්තේ මෙවැනි රෝග දෙයියන්නෙ ලෙඩ හැටියට හැඳින්වෙන බවත් එහි දී කරන්නේ වෙන් කිරීම බවත්, අපට කළ හැක්කේ ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම බවත් ඒ සඳහා නොයෙකුත් ක්‍රම අප අනුගමනය කරන බවත්. ඒ ප්‍රතිකාර නොවෙයි. වයිරල රෝගවලට කළ හැක්කේ එපමණයි. එහෙත් රෝගයට පෙර බටහිර වෙදකමේ එන්නත් යොදා ගන්නවා. එන්නත බටහිර සංකල්පයක් නොවෙයි. ඉතා පැරණි යුගවල භාරතයේ වසූරියටත් එන්නත් යොදා ගෙන තියෙනවා. ඒ කුමක් වුවත් තවමත් කිසිවකු නව කොරෝනාවට එන්නතක් නිපදවා නැහැ. 

බටහිර වෛද්‍ය විිද්‍යාව යනු විද්‍යාවක් නො වෙයි. එය තාක්‍ෂණවේදයක්. බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඇත්තේ තාක්‍ෂණය හරහා මිස විද්‍යාව හරහා නො වෙයි. විිද්‍යාවේ ඇත්තේ හිතළු පමණයි. ඒවා පට්ටපල් බොරු. තාක්‍ෂණය ඇතැම් විට විද්‍යාව මත යැපෙනවා. එහෙත් තාක්‍ෂණය විද්‍යාවෙන් ස්වායත්ත ව වර්ධනය වෙනවා. විදුලි බල්බය නිර්මාණය කළ තොමස් අල්වා එඩිසන් ඕම් නියමය දැන සිටියේ නැහැ. ටෙස්ලා, ඉලොන් මස්ක් ආදීන් විද්‍යාඥයන් නො වෙයි. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අප සමහරකුට ප්‍රායෝගික ව වැදගත් වන්නේ ගූගල් සමග ගමනාගමන කටයුතු කරද්දී. එහෙත් ටෙස්ලා හා මස්ක් ඇතැමුන්ගේ ජීවිතවලට වඩා බලපානවා. 

බටහිරයන් අප වැනි රටවලට පැමිණියේත් තාක්‍ෂණය නිසා. ඒ තාක්‍ෂණය, එනම් වෙඩි බෙහෙත් මුද්‍රණ ශිල්පය මාලිමාව (මෙරට මාලිමා නොව) චීනයටත් තිබුණ නමුත් චීනුන් යුරෝපියයන්ට පෙර ලෝකය වටා ගිය නමුත් යුරෝපීයයන් තම චින්තනය හා සංස්කෘතිය නිසා ඒ තාක්‍ෂණය යොදා ගෙන ලෝකය යටත් කළා. පෘතුගීසීන් මෙරටට එන විට නිව්ටන්වත් ගැලීලියෝවත් ඉපදිලා හිටියේ නැහැ. කාන්ට් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහුගේ උත්තරානුභූති විඥානවාදය ඉන් පෙර විසු නිව්ටන්ට හා පසු විසූවන්ට හා පසු වසන බටහිරයන්ට හා අනුකාරකයන්ට වැදගත් වෙන්න පුළුවන්. එහෙත් මහාවිහාරයට වැඩක් නැහැ. 

මා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් අහන්නෙ නැහැ කෝ එන්නතක් තනා ගත්ත ද කියලා. ඒක අමාරු වැඩක් බව මා දන්නවා. එහෙත් මේ වෛරසයේ හොඳ පැත්තක් ද තියෙනවා. මිනිසුන්ට, අනුකාරක පුස්සන්ට නොව, පාරම්පරික දැනුමේ අගය තේරෙන්න පටන් ගෙන තියෙනවා. ආණ්ඩුව දැනට හමුදාවේ හා සෞඛ්‍ය සේවාවල ආධාරයෙන් යහපත් වැඩ පිළිවෙළක් ගෙන යනවා. එය අගය කළ යුතුයි. 

දේශපාලන විරුද්ධවාදීන් නම් බලන්නේ මොකක් හරි අඩුවක් පෙන්නන්න. එහෙත් ඔවුන් කළ යුතුව තිබුණේ ආණ්ඩුව සමග එකතු වී පොදු වැඩ පිළිවෙළක් සකස් කර ගන්න. එහි දී නම් ආණ්ඩුවත් වැරදියි. ඔවුන් විරුද්ධවාදීන්ට තබා ශ්‍රී ල නි පක්‍ෂයටවත් සලකන්නේ නැහැ. මට දැන ගන්නට ලැබී ඇති ආකාරයට ශ්‍රී ල නි පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට සහාය දක්වමින් වෙන ම තරග කිරීමට තීරණය කර තිබෙනවා. එයට සම්පූර්ණ වරදකරුවන් පොහොට්ටු උද්ධච්ඡයන්. 

අපට කොවිඩ් 19 සම්බන්ධයෙන් කළ හැක්කේ වෙන් කිරීමයි. නිරෝධායන යන වචනය සැර වැඩි වෙන්න පුළුවන්. ආණ්ඩුව වෙන් කිරීම සම්බන්ධයෙන් හමුදාවට ස්තුතිවන්ත විය යුතුයි. ඒ නිසා දැන් තියෙන්නෙ හමුදා ආණ්ඩුවක් ද කියා අසන නිඝන්ඨයන් ගැන මොනවා කියන්න ද? වෙන් කිරීම මාර්තු 1 වැනි දා සිට 10 වැනි දා දක්වා ක්‍රියා විරහිත වුණා. එයට වැරදිකරුවන් කවුද කියා හොයා ගන්න ඕන. හැඳල රෝහළ වෙන් කිරීම සඳහා යොදා ගැනීමට විරුද්ධ වූවන් හා ඔවුන්ට ආධාර කළ දේශපාලනඥයන් ද හඳුනගන්න ඕන. එහි දී ඇතැම් වෛද්‍යවරයකු අතින් යම් අඩුපාඩුවක් සිදු වුණා ද? 

අද යුරෝපයේ කොවිඩ් මධ්‍යස්ථානය වී ඇත්තේ ඉතාලිය ප්‍රංශය හා ස්පාඤ්ඤය. මේ රටවල වැඩිපුර ඇත්තේ කතෝලික සංස්කෘතියක්. ඔවුන් වෛරසයේ  බරපතලකම හිතට ගත්තෙ නැද්ද? මෙය නැව ගිලුණත් බෑන්ඩ් චූන් ආකල්පයකින් ඇති වූවක් ද? මෙරටට පැමිණි සමහර අය වෙන් කිරීමේ ඇසට වැලි ගසා බේරෙන්න හැදුවා. එහි විනාශකාරි ප්‍රතිඵල දැන් පේන්න තියෙනවා. ඔවුන් සමහර විට විවාහ උත්සවයකට නැත්නම් වෙනත් කටයුත්තකට පැමිණි අය වෙන්න පුළුවන්. එහෙත් වැදගත් වන්නේ විවාහයට සහභාගි වීම නොව රටවැසියන් රෝගයෙන් බේරා ගැනීම බව ඔවුන් කල්පනා කළ යුතුව තිබුණා. අපට රටක් ලෙස හිතන්න බැහැ.

චීනයට වෛරසය ආවේ කොහොමද කියන එක ගැන විවිධ කතා තියෙනවා. ඒ ගැන ඉක්මන් නිගමනයකට එන්න බැහැ. එහෙත් චීනය වෛරසයේ පැතිරීම නවත්තලා. ඒ ඔවුන්ගේ සංස්කෘතිය මත පදනම් ව කළ දෙයක්. හැම සංස්කෘතියක ම එය ක්‍රියාත්මක කරන්න බැහැ. වෛරසය පැතිරීම වැළැක්වීමට අපේ සංස්කෘතියේ කළ හැකි දේ අප කළ යුතුයි.   

රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය මාර්තු 12 13 14 පැවැත්වීමට ගත් තීරණය වැරදියි. ඒ තරගය ලෝකයේ අඛණ්ඩ ව පැවත එන වඩාත්ම පැරණි පාසල් ක්‍රිකට් තරගය වෙන්න පුළුවන්. දෙවැනියට පැරණි පාසල් තරගය වෙන්නත් පුළුවන්. එහෙත් එය කල් දාන්න පුළුවන්කම තිබුණා. එය සහභාගි වු එක් ආදි ශිෂ්‍යයකුට රෝගය වැළඳිලා. ඔහු ඇසුරු කළ සියල්ලන් තමන් විසින් ම ගෙවල්වල වෙන් වී සිටිනවා නම් රටට හොඳයි.

අද අලුත් වචනයක් පාවිච්චි වෙනවා ලොක්ඩවුන් කියලා. මා නම් ඒ වචනය දැනට දින දෙකතුනකට කලින් අසා තිබුණේ නැහැ. මා විදග්ධයෙක් නොවෙයි. මා අසා තිබුණේ ලොක්අප් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන් කියන ලකප් කියන වචනය. ඒ හිර කුඩුවක වසා දැමීම. ලොක්ඩවුන් කියන්නෙත් වසා දැමීමක්. එය මිනිසුන්ට වෙන්න පුළුවන් තොරතුරුවලට වෙන්න පුළුවන්. මිනිසුන් සම්බන්ධයෙන් එය කරන එක පහසු වැඩක් නො වෙයි. එදිනෙදා වැඩක් පළක් කර ගෙන ජීවත්වන මිනිසුන් ගැන සොයා බලන්න ඕන. 

ඒත් ඉතාලියේ සිට ආපසු පැමිණි අය වැඩියෙන් ජීවත්වන ප්‍රදේශ තියෙනවා. ඒ සම්බන්ධයෙන් යමක් කරන්න සිදු වේවි. කුමක් කළත් සැලසුම්කර ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නූණොත් ලොක්ඩවුන් සාමාන්‍ය මිනිසුන්ට ලක්ඩවුන් වෙන්න පුළුවන්. ඒ වාසනාව පහළට යෑමක් වෙලා ලකප් වෙන්නත් ඉඩ තියෙනවා. වෛරසය ඉක්මණින් තුරන් වේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා.