History

Tuesday, 3 March 2020

සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිතයි

    සිංහල ලිත් ඉලක්කම්


සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිතයි


අද දි අයිලන්ඩ් පුවත්පතට ලිපියක් ලියන මෙරට ක්‍රිස්තියානි සමිතිවල වැදගත් තනතුරු උසුලා ඇති ජෙහාන් පෙරේරා මෙසේ ද ලියා තිබෙනවා.
"Sri Lanka’s population consists of different ethnicities and religions and the minorities among them comprise around 30 percent of the population, which is a substantial amount. However, few Sri Lankan political leaders have been willing to publicly admit to this reality.  They are aware that majorities in most countries see the polity as representing their culture and values predominantly.  This is especially so at the present time when ethnic majority nationalism is on the rise in different parts of the world including both the developed and less developed countries. This is not only a specifically Sri Lankan problem but a global problem.



මෙරට ජනමාධ්‍ය සමග මා සම්බන්ධයක් නැති බැවින් අදාළ පුවත්පතට මා ලියන්නේ නැහැ. මගේ තිබූ සම්බන්ධය නැති වූයේ විවිධ පුද්ගලයන් ඒ පුවත්පත්වල සංස්කාරක ධුරවලට පැමිණීමෙන් පසුව. එමෙන් ම විවිධ බාහිර පුද්ගලයන්ගේ ඇඟිලි ගැසීම් ද සිදු වෙනවා. ඇතැම් ජනමාධ්‍ය ජාතික ව්‍යාපාරයේ තමන්ට අවශ්‍ය පුද්ගලයන්ට ප්‍රචාරය දීම සඳහා විවිධ උපක්‍රම යොදනවා. ජාතික ව්‍යාපාරය අද වන විට එක්සත් ජාතික පක්‍ෂයටත් වඩා බෙදිලා. එමෙන් ම එහි නායකත්ව විවිධ දේශපාලනඥයන් අතට ගෙන. ජාතික ව්‍යාපාරයේ වඩාත් ම බලවත් පුද්ගලයා ජාතිකත්වයට වඩා ජනප්‍රියත්වයට ගරු කරන  මහින්ද රාජපක්‍ෂ. එහෙත් රටේ ජාතිකත්වයක් මතු වී ඇති බැවින් ජනතාවගේ ජාතිකත්වය ජාතික ව්‍යාපාරය පරදවා ඉදිරියට ඇවිත්. ජාතික ව්‍යාපාරයට ජාතිකත්වය කොන් කරන්න බැහැ. 

අපි එය පැත්තකින් තියමු. ජාතික ව්‍යාපාරයේ පතාක යෝධයන් ජෙහාන් පෙරේරා කියන දේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක් ද? එය ප්‍රතිචාරයක් දැක්වීමට තරම්වත් නුසුදුසු යැයි කියා පැත්තකට දමනවා ද?  ජෙහාන් පෙරේරා ඒ කතාව කියන්නේ දිනේෂ් ගුණවර්ධන ජෙනීවාහි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්. දිනේෂ් කිවුවේ නැහැ මෙරට බහුවාර්ගික රටක් කියාවත් බහු සංස්කෘතික රටක් කියාවත්. ඔහු කිවුවේ මෙරට විවිධ සංස්කෘතීන්වල විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන පුද්ගලයන් සිටින බව පමණයි. 

ජෙහාන් පෙරේරා කුමක් කිවුවත් මෙරට දේශපාලනඥයන් එය පිළිගන්නවා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙත් ජෙහාන් පෙරේරා ඒ ප්‍රකාශයට තවත් යමක් එකතු කරනවා. සකර්බර්ග් වම හා වෙනත් පුස් කෑ වම්මුන් මෙන් නොව වම්මුන්ට අනුව දක්‍ෂණාංශිකයකු වූ ජෙහාන් පෙරේරා තමන්ගේ අර්ථකථනය ද කියනවා. වම්මුන් තමන් බහු වාර්ගික බහු සංස්කෘතික  යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි ව කියන්නේ නැහැ. 

ජෙහාන් පෙරේරා කියන දෙයින් ගම්‍ය වන්නේ මෙරට දේශපාලන නායකයන් බහුවර්ගික බහුසංස්කෘතික කියා පිළිගැනීමට අකමැති වන්නේ රටවල බහුතරය තම සංස්කෘතිය හා ඇගයීම් සංවිධිත සමාජයෙන් නියෝජනය කෙරෙන බව දකින නිසා. මෙය මෙකල වඩාත් ම වැදගත් වන්නේ ජනවර්ග බහුතර ජාතිකවාදය වැඩී යන නිසාත් බව ජෙහාන් පෙරේරා කියන්නේ මෙය ලංකාවට පමණක් සීමා නොවූ බව ද පවසමින්. 

ජෙහාන් පෙරේරා සමහර විට මා අවුරුදු දහයක් පමණ ගාමිණී වීරකෝන් කතෘ ධුරය දරද්දී දි අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපි කියවා නැති වෙන්න පුළුවන්. ලෝකයේ ඇතැම් රටවල බහුතරය  තම සංස්කෘතිය සංවිධිත සමාජයෙන් නියෝජනය වන බව දකිනවා වෙන්න පුළුවන්. ජෙහාන් පෙරේරා එවැනි නියෝජනත්වයකට විරුද්ධ බවයි පෙනී යන්නේ. බටහිර දියුණු යැයි කියන රටවල බහුතරය එසේ සිතනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ප්‍රංශය මුස්ලිමුන් වෙනුවෙන් දරණ විරොධාකල්පය බහුතරයක් වීම නිසා ප්‍රංශයන් ඇති කර ගන්නා දෙයක් ලෙස මා සිතන්නේ නැහැ. එංගලන්තයත් එසේමයි.

මේ රටවලට ඉතිහාසයක් තියෙනවා.  ඒ රටවල් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ රටවල් නොවෙයි. ඒ රටවල් තම සංස්කෘතීන් ගොඩනගා ඇත්තේ අවුරුදු දහසකට වැඩි ඉතිහාසයක. මා ඒ සංස්කෘතීන් අගය කරනවා. මා විරුද්ධ වන්නේ ඔවුන් අප මත පටවන සංස්කෘතික ආධිපත්‍යයටයි. ප්‍රංශ සංවිධිත සමාජයට අවුරුදු දහසකට වැඩි සංස්කෘතිය වැදගත් වන්නේ හුදෙක් බහුතරය වීම නිසා ම නො වෙයි. එහි ඓතිහාසික පැත්තක් ද තියෙනවා. එංගලන්තයේ ක්‍රිස්තියානි සංස්කෘතිය ගොඩ නැගී ඇත්තේ අඩු තරමෙන් 1066 හේස්ටිංග්ස් සටනේ සිට. එංගලන්තය වත්මන් අර්ථයෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි වූයේ ඉන් පසුව වුවත් එහි ක්‍රිස්තියානි (කතෝලික) සංස්කෘතියක් දෙවැනි සියවසේ පමණ සිට තිබෙනවා. ඉංගිරිසින් මේ සංස්කෘතිය මුස්ලිම් සංස්කෘතියට කිසිසේත් සමාන කරන්නේ නැහැ. එය හුදෙක් බහුතරයේ ප්‍රශ්නයක් නො වෙයි. 

මෙරට සංස්කෘතිය සිංහල බෞද්ධ වූයේ අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව නො වෙයි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය අඩු තරමෙන් ගැමුණු රජු දවස දක්වා දිව යනවා. එකල සිංහල බෞද්ධ යන නම යොදා ගත්තේ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. ප්‍රපංචයක පැවැත්ම (සමමුති අර්ථයෙන්) හා ප්‍රපංචයට නමක් තැබීම ප්‍රපංචය හඳුනාගැනීම කියන්නේ එකක් නො වෙයි. අනෙක් අතට ධනේෂ්වරයෙන් පසු බටහිර ජාතීන් ඇතිවීමට පෙර ලෝකයේ ජාතීන් ඇති වී තිබෙනවා. සිංහල හා චීන ජාතීන් එයට හොඳම උදාහරණයි. චීනයේ තිබූ ජාතික රාජ්‍යය එලෙස හඳුනාගැනීමට අකමැති බටහිරයන් වෙනුවෙන් මාටින් යක් ඊනියා සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පය නිර්මාණය කළා. මෙරට අනුකාරකයන් දැන් ඊනියා සභ්‍යත්ව රාජ්‍යයක එල්ලිලා. 

අප රටේ සිංහල බෞද්ධ රාජ්‍යය ද ජාතික රාජ්‍යයක්. එකල යුරෝපයේ ජාතික රාජ්‍ය නොතිබූ පමණින් වෙනත් රටවල ජාතික රාජ්‍ය නැති වන්නේ නැහැ. ගැමුණු රජු සිංහල බෞද්ධ රාජ්‍යය බිහි කෙළේ තම ව්‍යායාමය බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් යැයි පවසමින්. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂ තැනක් හිමි විය යුතු යැයි අප පවසන්නේ එය හුදෙක් බහුතරයක සංස්කෘතිය නිසා නො වෙයි. එහි ඓතිහාසික වැදගත් කමක් තියෙනවා. 

මෙරට ඇත්තේ අඛණ්ඩ සංස්කෘතියක්. එය වෙනස් වී නැති බව නොවෙයි ඉන් කියැවෙන්නේ. රුවන්වැලි සෑයට මෙන් ම අභයගිරියටත් අප අදත් වඳිනවා. අභයගිරියට අකමැති ඉතා සුළු පිරිසක් මෙන් ම මහාවිහාරයට අකමැති ඉතා සුළු පිරිසක් ද ඉන්නවා. එහෙත් මෙරට සිංහල බෞද්ධයන් අති විශාල බහුතරයට එය ප්‍රශ්නයක් නො වෙයි. අද ඊජිප්තුවේ ඇත්තේ එකල මිසරයේ තිබූ සංස්කෘතිය නො වෙයි. එහි අඛණ්ඩත්වයක් නැහැ. පිරමිඩ් වත්මන් ඊජිප්තු සංස්ෘතියට අයත් නැහැ. අපේ රටේ ඇත්තේ ජීවමාන ඉතිහාසයක් මිස කෞතුක ඉතිහාසයක් නො වෙයි.

ජෙහාන් පෙරේරා විරුද්ධ වන්නේ  සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය ලෙස පිළිගැනීමටයි. ඔහු බොරු කතාවක් කියනවා වෙනත් රටවලත් බහුතරයේ සංස්කෘතිය  සංවිධිිත සමාජයේ සංස්කෘතිය ලෙස දකින බව කියමින්. ඔහුට පුළුවන් ද ක්‍රිස්තියානි රටකට ගොස් ඒ රටෙහි සියළු සංස්කෘතීන් සමාන බව කීමට. අප පැහැදිලිව කියා ඇති රටක ජනයා පෞද්ගලිකව නීතිය ඉදිරියේ සමාන වුවත් සංස්කෘතීන් සමාන නොවන බව. ඒ ඒ රටවල විශේෂිත සංස්කෘතීන් තියෙන්න පුළුවන්. සමහර රටවල තියෙන්නෙ අධිපතිවාදී සංස්කෘතීන්. සිංහල බෞද්ධ සංස්කෘතිය අධිපතිවාදී සංස්කෘතියක් නොවෙයි.

අද ලෝකයේ ම අධිපතිවාදී සංස්කෘතියක් තියෙනවා. ඒ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. එය ලෝකයේ ම අධිපතිවාදී සංස්කෘතිය වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානීන් ලෝකයේ බහුතරය නිසාවත් නොවෙයි. එය හුදෙක් ආයුධ බලයෙන් පිහිටුවා ගත් එකක්. මෙරට හා වෙනත් රටවල එක ම අච්චුවක මෙන් අධ්‍යාපනයක් ඇත්තේ කෙසේ දැයි ජෙහාන් පෙරේරා තේරුම් ගන්නේ කෙසේ ද? එය බටහිර බහුතරයක අධ්‍යාපනය ද? නැත්නම් ආයුධ බලයෙන් පිහිටුවා ගත් ආධිපත්‍යයික  අධ්‍යාපනයක් ද? 

රාජකීය විදුහලේ පමණක් නොව ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ද  ආනන්ද විද්‍යාලයේ ද මධ්‍යම මහා විද්‍යාලවල ද එක ම අධ්‍යාපනයක් (විෂය නිර්දේෂ) ලබා දෙන්නේ කෙසේ ද? අද ලංකාවේ ඊටන් හැරෝ ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ රාජකීය ශාන්ත තෝමස් විදුහල් අතර පමණ ද? ඕස්ත්‍රේලියාවේ පාසල් දෙකක් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයකට පසුව ලෝකයේ පැරණි ම පාසල් ක්‍රිකට් තරගය ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේ ද? මේ සංස්කෘතික ආධිපත්‍යය හුදෙක් බහුතරයක් විසින් ලෝකයාට දෙන ලද දෙයක් නොවෙයි. ජෙහාන් පෙරේරාගේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධය ඊනියා බහුතර කතාවලින් වසා ගැනීමට බැහැ. මෙරට සකර්බර්ග් වමටත් අනෙක් පුස් කෑ වමටත් ඇත්තේත් බටහිරයන් විසින් ඇති කරන ලද සිංහල බෞද්ධ විරෝධයක් පමණයි.