History

Monday, 9 March 2020

බුදු හාමුදුරුවො ඉපදුනා ද?

    සිංහල ලිත් ඉලක්කම්


බුදු හාමුදුරුවො ඉපදුනා ද?


බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනා ද වෙනත් තැනක ඉපදුනා ද කියල අහන එක ම වරදක් හැටියටයි මට පේන්නෙ. බුදු හාමුදුරුවන් කොහේවත් ඉපදෙන්නෙ නැහැ. ඉපදෙන්නෙ රහත් ඵලයට නොපැමිණි සම්මාබෝධය නොලත් අය. ඉපදෙන අයගෙන් ඇතැමකු බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ලෙස සම්මාබෝධය ලබනවා. උන්වහන්සේ යළි ඉපදෙන්නේ නැහැ. 


ඒ නිසා ජම්බුද්වීපය යන්නට බුදුන් වහන්සේ ජන්ම වූ දීපය ලෙස අර්ථ දක්වන එක කිහිප අතකින් වැරදියි. මා හිතන්නෙ නැහැ ජන්ම බුද්ධ දීප එකතු වෙලා ජම්බුද්වීප ලෙස හැදෙනවා කියා. බුදුන් වහන්සේ ඉපදුනා කියන එකත් වැරදියි. ඒ උන්වහන්සේ ඉපදෙන්නේ නැති නිසා. 

ඒ අතර දඹදිව යන්න අර්ථදක්වන්නේ කෙසේ ද කියාත් අහන්න පුළුවන්. සිදුහත් කුමරු මෙරට ඉපදී මෙරට බුද්ධත්වයට පැමිණුනා නම් උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ඇත්තේ සිංහලෙන් හරි හෙළයෙන් හරි වෙන්න ඕන. එතකොට දඹදිව යන්නට සිංහලෙන් (හෙළයෙන්) සපයන නිරුක්තිය කුමක් ද? ජම්බුද්වීප සිංහල හරි හෙළ හරි වෙන්න බැහැ. 

ජම්බුද්වීප යන්න දඹදිව ලෙස සිංහලයට ගත්තා ද? එසේ නම් ජම්බුද්වීපය දඹදිවට වඩා මුල් වූයේ ද? බුදුන් වහන්සේ සිංහලෙන් ධර්මය දේශනා කෙළේ නම් හා උන්වහන්සේ මෙරට වැඩ විසුයේ නම් ජම්බුද්වීපයට වඩා ප්‍රධාන විය යුත්තේ දඹදිව මිස ජම්බුද්වීපය නො වෙයි. ජම්බුද්වීපය දඹදිව ලෙස පරිවර්තනය විණි නම් වඩා ප්‍රධාන කිනම් බස ද යන ප්‍රශ්නය මතුවෙනවා. 

මා මේ ප්‍රශ්න නගන්නේ හුදෙක් දැනුමක් ගොඩ නගා ගැනීමට පමණයි. බොහෝ කලකට පෙර මේ ප්‍රශ්නය ආරම්භ වූ අවධියෙහි ම අප සම්මන්ත්‍රණයක් පැවැත්වූවා. මට මතක හැටියට එහි මාතෘකාව වූයේ බුදු හාමුදුරුවො අපේ යන්න. අප කියා සිටියේ සිදුහත් කුමරු කොහේ උපන්නත් බුදු හාමුදුරුවන්ගෙ ධර්මය ආරක්‍ෂා කෙළේ අප බැවින් බුදු හාමුදුරුවො අපේ යනුවෙන්. අප ආරක්‍ෂා කළ ධර්මය දේශනා කළ බුදු හාමුදුරුවන් අපේ බව අප කියා සිටියා. 

අපට අපත් නැති ලෝකයක බුදු හාමුදුරුවන් අයිති කර ගැනීමට යෑමෙන් ම අප උන්වහන්සේ ධර්මය අවබෝධ කරගෙන නැති බව පෙනී යන්නේ යැයි කිසිවකුට කියන්න පුළුවන්. ධර්මය පැත්තෙන් නම් ඒක එහෙම තමයි. එහෙත් ඓතිහාසික වශයෙන් සිදුහත් කුමරු උපන්නේ කොහේ ද යන ප්‍රශ්නයට උත්තරයක් තියෙන්න ඕන. 

බුදුහාමුදුරුවන් ඓතිහාසික, ඒ කියන්නේ ඉතිහාසයෙහි වැඩ සිටි, බව කියන්න පූළුවන්. ඒ සඳහා නිශ්චිත මතයක් තියෙන්න ඕන. එහෙම නූණොත් උන්වහන්සේ ඉතිහාසහෙි වැඩ නොසිටි බවක් කියන්න ඉඩ තියෙනවා. අප එවැනි කරුණු ගැන අපේ අවධානය යොමු කරන්න ඕන. 

මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ කෙරෙන සාකච්ඡාවලින් එතරම් වැඩක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. මුහුණු පොතේ ඕනෑ ම අයකුට ඕනෑ ම ප්‍රකාශයක් කරන්න පුළුවන්. එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න පුළුවන්. එහෙත් අප සාකච්ඡා කරන ප්‍රශ්නයට ඡන්දයෙන් විසඳුම් හොයන්න බැහැ

ඒ වගේ ම යුද්ධය ජෙනරාල්ලාට පමණක් සීමා නොකළ යුතු යැයි කීවාක් මෙන් මේ ප්‍රශ්නත් ඊනියා විශේෂඥයන්ට පමණක් සීමා කරන්නත් බැහැ.  මධ්‍යස්ථ විචාරකයන් කියා පිරිසක් නැහැ. මෙය භෞතික විද්‍යාවේ ප්‍රශ්නයකට වඩා සංකීර්ණයි. අපේ ප්‍රශ්නයට ඉතාමත් සංගත පිළිතුරක් අවශ්‍යයයි.

මෙවැනි ප්‍රශ්න ඉතිහාසයේ තවත් තියෙනවා. පස්වැනි සියවසේ සිදු වූයේ කුමක් ද? ධාතුසේන රජු කවුද? ඔහු මෞර්ය වූයේ ඔහුගේ පියාගෙන්. ඉන් පෙර මෙරට මෞර්ය වාංශිකයන් සිටියේ නැහැ. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මාමා කෙනකු කියා කියැවෙනවා. ඒ මව් පාර්ශ්වයෙන් ද පිය පාර්ශ්වයෙන් ද? 

අප සිංහලෙන් පාළියට මාරු වුණේ එකල. පාළි ථෙරවාද බුද්ධාගමේ භාෂාව වුණා. එයට හේතුව කුමක් ද? ඇතැම් පඬියන්ගේ හිතළුවලින් අපට සෑහීමකට පත් වෙන්න බැහැ. ආන්ද්‍ර ප්‍රදේශයෙන් ථෙරවාදය නැති වීමේ අවදානම එකල මතු වුණා. බුද්ධඝෝෂ හිමියන් හා එයට පළමුව තවත් භික්‍ෂූන් වහන්සේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් මෙරටට පැමිණියේ එකල. මහාවංසය ලියැවුණෙත් එකල. 

ඒ සියල්ල අතර සම්බන්ධයක් තියෙනවා ද? මා දන්නේ නැහැ. මා ප්‍රශ්නයක් අසනවා පමණයි. එහෙත් අප ප්‍රමාද වී හරි සංගත පිළිතුරක් නිර්මාණය කර ගන්න ඕන. සෑම පිළිතුරක් ම හිතළුවක් ලෙසයි නිර්මාණය වන්නේ. ඒ හිතළු හා අනෙක් හිතළු අතර සංගත බවක් තියෙන්න ඕන. 

ඒ සියල්ල සිංහල බෞද්ධ රාජ්‍යයත් සමග බැඳී තියෙනවා. මේ එක ප්‍රශ්නයක්වත් හුදු න්‍යායෙන් (හා තර්කයෙන්) පමණක් විසඳන්න බැහැ. න්‍යායත් තරකයත් අපේ නිර්මාණ පමණයි. A=A කියන එක ම බොරුවක් වූ කල කවර කතා ද? අපි ඉවසිල්ලෙන් සංගත පිළිතුරු නිර්මාණය කරමු.