History

Sunday, 17 May 2020

අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




අපූරු මියන්මාර සංස්කෘතික බැඳීමක් 



අප ඊයේ රාත්‍රී මියන්මාරයට පැමිණියා. ඒ මා මියන්මාරයේ ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට. මෙය මගේ තුන්වැනි දේශපාලන පත්වීමයි. එක් එක් අය විවිධාකාරයෙන් එය අර්ථදක්වාවි. එය මස්කටුවක් ලෙස, මා රටෙන් ඈත් කර තිබීමක් ලෙස, මා සියල්ල කර ඇත්තේ මේ ලබා ගැනීම සඳහා ලෙස, ආදී වශයෙන් විරුද්ධවාදීන් මෙන් ම බොහෝ ජාතිකවාදීන් ද සඳහන් කරන බව මා දන්නවා. මෙත්තානන්ද මහතාට ද මෙම ධුරය එවකට අගමැති බණ්ඩාරනායක  පිරිනැමූ බවත් එතුමා එය ප්‍රතික්‍ෂෙප කළ බවත් වයොවෘද්ධ ජාතිකවාදීන් පවසන්නේ එතුමාගේ ශ්‍රෙෂ්ඨත්වය ගෙන හැර දක්වමින්.


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තානාපති කෙනකු ලෙස සේවය කිරීමට කැමති දැයි විමසූ විට මා කීවේ ථෙරවාද රටකට යැමට හැකි නම් මා කැමති බවයි. ලෝකයේ ථෙරවාද රටවල් ඇත්තේ පහක් පමණයි. ඒ ලංකාව, මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය හා ලාඕසයයි. විශේෂ තනතුරුවලට පත් කිරීම සඳහා වූ  පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට මා ගිය අවස්ථාවේ මනෝ ගනේෂන්ට දැන ගැනීමට අවශ්‍ය වූ එකම කරුණ ලෝකයේ ථෙරවාදී රටවල් කීයක් තිබේ ද යන්නයි. සරත් අමුණුගම හා කරුණාරත්න ජයසූරිය මා කරන්නට බලාපොරොත්තු වන වැඩ ගැන විමසුවා. සුමන්තිරන් රවි කරුණානායක ඇතුළු සෙස්සන් කිසිවක් ඇහුවේ නැහැ.

වෙනත් ථෙරවාද රටවල් හතරක් තිබුණත් ලංකාව තානාපති සබඳකම් ඇති කර ගෙන ඇත්තේ මියන්මාරය හා තායිලන්තය සමග පමණයි. තායිලන්තයේ ලංකා තානාපති ලෙස ඉන්නේ විදේශ අමාත්‍යාංශයේ අයෙක්. මියන්මාරයේ පමණයි මට ඉතිරි වී තිබුණේ. ඒ අනුවයි මට පත් වීම ලැබුණේ. අප ථෙරවාද රටවල් සමග මෙයට වඩා සම්බන්ධකම් ඇති කර ගන්න ඕන.

මට කලින් දේශපාලන පත්වීම් තිබුණෙත් රාජපක්‍ෂ යුගයක. ඒ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ව සිටි සමයෙහි. පළමුව කැලණිය විශ්වවිද්‍යාලයෙහි වයස හැටපහ පිරිණු පසු මට අවුරුදු තුනක සේවා දිගුවක් ලැබුණා. ඒ නාථ දේව මණ්ඩලයේ ඉල්ලීමෙන් ආසනික් පරීක්‍ෂණ කර ගෙන යෑම සඳහා. අප ඒ පරීක්‍ෂණවලින් පෙන්නුවා පසෙහි ශාඛවල පමණක් නොව සහල්වලත් ආසනික් තිබෙන බවත් ඒ කෘමිනාශකවලින් ලැබෙන බවත්. යම් හේතුවක් නිසා ජලයේ ආසනික් ඇති බව අපට දැන ගන්න බැරි වුණා. මේ පර්යේෂණ ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වූ නමුත් මගේ පීඨාධිපති කාලය අවසන් වීමෙන් පසුව මා සේවය අත්හැරියා. ඒ අර සේවා දිගුව වසරක් පමණක් ගෙවීමෙන් පසු. 

පීඨාධිපති ධුරය නැතිව පරීක්‍ෂණ ඉදිරියට යන්නේ  නැහැ. අවුරුදු හතකට පසුවත් ජලයේ ආසනික් තිබෙන බව පෙන්නීමට කැලණිය අසමත් වී ඇත යන්න විද්‍යාදාස චන්ද්‍රසිරිගේ හිතළුවක් පමණයි. මට දෙවැනි දේශපාලන පත් වීම ලැබුණේ එසේ කැලණියේ සේවය අත්හැරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස. එහෙත් එය මාස හයකට වඩා කරන්න ලැබුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ දින ම මා ඉන් ඉල්ලා අස්වුනා. පසු ව මා සිරිසේන ශක්තිමත් කිරීමට කිවුවේ මහින්ද අගමැති කිරීමට. එයත් කෙරුණා. එහෙත් සංධානයට මහින්ද රැක ගැනීමට බැරි වුනා. 
    
අප මියන්මාරයට පැමිණියේ ලංකාවේ හා මාලදිවයිනේ වැඩ විසූ මියන්මාර භික්‍ෂූන් වහන්සේ වැඩම කිරීමට යවා තිබූ ගුවන් යානයක. එහි පංති භේදයක් තිබුණේ නැහැ. ෆර්ස්ට් ක්ලාස්, බිස්නස් ක්ලාස්, ඉකොනොමි ක්ලාස්, මොනවක්වත් නැහැ. ඔක්කොම කැපිටලිස්ට් ක්ලාස් ද දන්නෙ නැහැ. ඒ යානයෙන් මියන්මාරයේ වැඩ විසූ සිංහල හාමුදුරුවරුන් කිහිප නමක් ලංකාවට වැඩම කරලා. ඒ සමග ගිහියන් හැටක් පමණ ද ගිහින්. එය මියන්මාරයේ බෞද්ධ ආයතනයක අනුග්‍රහෙන් ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් කෙරුණක්. 

කොළඹ සිට මණ්ඩලේ දක්වා පැමිණි ගමනට මියන්මාර භික්‍ෂූන් වහන්සේ එකසිය පනස් නමක් පමණ සහභාගි වුණා. උන්වහන්සේ තුන් සූත්‍රය සජ්ඣායනය කළා. එය මට පින්බර අත්දැකීමක් වුණා. අප කුඩා කල ගමේ (ගමේ කිවුවත් අර්ධ නාගරික) අය සහ හාමුදුරුවරුන් සහභාගි වූ වන්දනා ගමනක් මතක් වුණා. හාමුදුරුවරු විටින් විට පිරිත් සජ්ඣායනය කළා. ගිහියන් තුන් සරණේ කවි කීව්වා. මා යපනයට පළමු වරට ගියේ ඒ ගමනේ දී නාගදීපය වැඳ පුදා ගන්න. ඒ අවුරුදු හැටකට වඩා ඉහත. 

මියන්මාර හාමුදුරුවරුන් පිරිත් කිව්වේ අප වගේ ම පාලියෙන්.  පාලියට අප නැඹුරු වුනේ කවදා ද කියන එක මා දන්නේ නැහැ. බටහිර බෙංගාලයේ පුණ්ඩ්‍රා නුවර බොහෝ කලකට පෙර පාලි කතා කළ බවට සඳහනක් තියෙනවා. විජය කතා කෙළේ පාලි ද දන්නේ නැහැ. හෙළ අටුවා ගැනත් ඒ පාලියට පරිවර්තනය කිරීම ගැනත් මහාවංසයේ සඳහන් වෙනවා. ආන්ද්‍රා ප්‍රදේශය ඇත්තේ පුණ්ඩ්‍රා දේශයට හා කාලිංගයට පහළින්. එහි බස අද නම් තෙළිඟු. පාඨලීපුත්‍ර තියෙන්නේ ඔය අතරමැද වගේ. බුද්ධඝෝෂ හිමියන් වැඩියේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්. යම් කාලයක මගධයේ පාලි කතා කළා ද යන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් යම් කාලයක ථෙරවාදයේ නිල භාෂාව පාලි වෙලා තියෙනවා. 

කුමාරතුංග මුනිදාස මහතා කියා ඇති පරිදි පාලි මහාවිහාරයේ භික්‍ෂූන් වහන්සේගේ නිර්මාණයක් කියා මා විශ්වාස කරන්නේ නැහැ. ඈත අතීතයේ පුණ්ඩ්‍රාවට පාලි ගියේ මහාවිහාරයෙන් වෙන්න බැහැ.  එමෙන් ම ථෙරවාදී පොතපත පාලියට නැගුණේ වෙනස් වීමෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ය කියන මතයත් පිළිගැනීමට බැහැ. පාලියෙන් තිබූ පොතපතත් වෙනස් වී තිබෙනවා. මහායානයෙන් වෙන් වීමට සංස්කෘත නොවන දඹදිව භාෂාවක් තෝරා ගත්තා වෙන්නත් පුළුවන්. පාලියට හැරීම පිළිබඳ සංගත පිළිතුරක් නිර්මාණය කර ගන්න ඕන. 

ඒ කෙසේ වෙතත් පාලි සමග අපේ සියවස් ගණනක් පුරා සංස්කෘතික බැඳීමක් තියෙනවා. ඒ සංස්කෘත හරි ඉංගිරිසි හරි පෘතුගීසි හරි දෙමළ හරි සමග තියෙන බැඳීමකට වැඩි දෙයක්. අප කෙතරම් කෑ ගැහුවත් ඉංගිරිසියෙන් බටහිර විද්‍යාව ගැන කියනවාට වඩා අපේ කමක් පාලියෙන් බුද්ධාගම ගැන කියන විට ඇති වෙනවා. මෙරට පාලි දන්නා අය ඉංගිරිසි දන්නා අයට අඩු වෙන්න පුළුවන්. එහෙත් ඉංගිරිසි විද්‍යාව වගේ නොවෙයි පාලි බුදුදහම. අපේ කමක් ඇත්තේ පාලි බුදුදහමෙහි. විද්‍යාවෙහි ප්‍රවාද ක්‍ෂෙත්‍රයෙහි කිසිම වැදගත් නිර්මාණයක් අපේ කිසිවකු අතින් කෙරී නැහැ. ථෙරවාදයෙහි නම් යම් යම් වර්ධනයන් කෙරී තියෙනවා. 

මියන්මාර හාමුදුරුවන් පිරිත් කියන විට අපත් ඒ සමග කිවුවා. අපුරු සංස්කෘතික බැඳීමක් මා වින්දා. සසෙක්ස් විශ්වවිද්‍යාලයෙහි බටහිර විද්‍යාව ඉගෙන ගනිද්දී මට කිසි දිනෙක එවැන්නක් අත්විඳින්න බැරි වුනා. මියන්මාර පිරිතේ රිද්මය වෙනස්. අපේ හාමුදුරුවන්ට වඩා ඉක්මණින් මියන්මාර හාමුදුරුවරු පිරිත් කියනවා. අපේ පිරිත නෙළුම් කවි සමග බැඳී තිබෙන බවක් පේනවා. සී ද එස් කුලතිලක මහතා ඒ ගැන අදහස් ප්‍රකාශ කර තියෙනවා. මියන්මාර පිරිතේ පසුබිම පමණක් නොව මියන්මාර වකුගඩු රෝගය ගැන ද හොයා බලන්න ඕන.