History

Friday, 29 May 2020

දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





දැනුම් සංස්කරණය, පඬියන් වියතුන් හා කොවිඩ් 

පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට පමණක් නොව වියත්මගේ වියතුනට ද පිළිතුරු දීම මගේ ප්‍රතිපත්තිය නො වේ. ඇතැමුනට මා කියන දේ හරිහැටි සංස්කරණය කර ගැනීමට නොහැකි වීම මගේ වරදක් නො වේ. තම තම නැණ පමණින් දැන ගත යුතු යැයි ලෝවැඩ සඟරාවේ සඳහන් වන්නේ එකල ද පඬියන් මෙන් ම වියතුන් ද සිටි බැවින් දැයි විමසන්න ඕන. කොහොමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මේ වියතුන් සමහරකුගෙන් ආරක්‍ෂා වන්න ඕන. දෙරණ විසින් නිර්මාණය කරන ලද වියතුන්ට දෙරණේ තැනක් දීම පුදුමයට කරුණක් නො වේ. 


අද ඉංගිරිසි පුවත්පතකට ලිපියක් සපයන උගතකු (ඔහුගේ උපාධි හා සහතික වැලක් ද ලිපියට අමුණල තියෙනවා) හිතන්නේ මියන්මාරය වැනි රටවල සිසුන් ලංකාවට ගෙන්වා අපේ අධ්‍යාපනය ඔවුන්ට ද ලබා දී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානය බවට පත් කරන්න ඕන කියලා.  මට තරමක කණගාටුවක් ඇති වුණා මියන්මාරයේ සිසුන් ගැන. මියන්මාර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නම් බෞද්ධ අධ්‍යාපනය සඳහා ලංකාවට වැඩම කරනවා. ලංකාව ඒ අතින් තවත් දියුණු කර, පිරිවෙන් සහ වෙනත් ආයතන ද නේවාසිකාගාර ද ඇති කර ථෙරවාද මධ්‍යස්ථානය බවට නම් පත් කර ගන්න ඕන. 

මෙරට බටහිර දැනුමේ දැනුම් කේන්ද්‍රස්ථානය (ඊනියා හබ් එක, හබය කියමු ද- දැනුම් හබය ද නරක නැහැ) බවට පත් කර ගන්නේ කෙසේ ද කියන එක නම් මට පැහැදිලි නැහැ. අප විශ්වවිිද්‍යාලවල ලබා දෙන සියළු බටහිර දැනුම් අසල්වාසී රටවල ද ලබා දෙනවා. අප ලබා දී ඇති දැනුමේ තරම පඬියන්ගෙන් පඬි පෝතකයන්ගෙන් පඬි නැට්ටන්ගෙන් හා වියතුන්ගෙන් ප්‍රදර්ශනය වෙනවා. ඒ අය ටික දෙනකු ප්‍රදර්ශන භාණ්ඩ ලෙස අසල්වැසි රටවලට යවනවා ද? 

අපේ අධ්‍යාපනය ඔය කියන තරම් හොඳ නැහැ. අප බහුශ්‍රැතයන් නම් බිහි කරනවා. එහෙත් හිතන්න පුරුදු කරන්නේ නැහැ. අප දන්නේ අහවලා මෙහෙ ම කියා තිබෙනවා කියා කියන්න පමණයි. එහෙමත් නැත්නම් මා අහවල් පොත ඊයේ කියෙවුවා, හෙට අහවල් පොත කියවන්න යනවා කියන්න පමණයි. නරක ද ඉඳලා හිටලාවත් තමන්ගේ ම කියල අදහසක් සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) සංස්කරණය (නිර්මාණය) කළා නම්. කොහෙද ඒකට බටහිර චින්තනයෙ (ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි) පදනම් වෙන්න එපයි. 

ඔය පොත් කියැවුව කියල එහෙ ම බටහිර චින්තනයෙ පදනම් වෙන්න බැහැ. මා ඒ බව දැන ගෙන අවුරුදු පනහක් වෙනවා. අප දන්නා බටහිර දැනුම මියන්මාර සිසුන්ට තම රටේ දී ම ලැබෙනවා. ඔවුන්ට තම රටේ දී ඒ දැනුම ලබා ගැනීමට අවස්ථාව නැත්නම් (මෙරට බටහිර වෙදමහතුන් වීමට අවශ්‍ය සියල්ලන්ට අවස්ථාව නොලැබීම නිසා ඔවුන් නේපාලයට ද යන්නාක් මෙන්) පමණක් අපේ රටට ඒවි.  

සිංහල ථෙරවාද බුද්ධාගමේ නම් අප සංස්කරණය කළ යම් දැනුමක් තියෙනවා. මට තේරෙන බුදුදහම අනුව නම් අපේ දැනුම නොදැනුම වටා ගොතන ලද්දක්. අප පටන් ගන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා කියා යි. එය දිගින් දිගට රවුමක යනවා. ජාති ජරා මරණ දුක්ඛදෝමනස්ස රවුම ගිහින් ආපහු අවිජ්ජා තැනට එනවා. ඒ තමයි චක්‍රීය චින්තනය. දෙවියන් වහන්සේගෙන් හරි මහා පිපිරුමෙන් හරි සිදුවන ආරම්භයක් එහි නැහැ.  මා නූගතකු වූයේ මේ පාඨය තේරුම් ගැනීමෙන් පසුව. එහෙත් මට තවම එහි ප්‍රත්‍යක්‍ෂයක් නැහැ. 

අප දැනුම සංස්කරණය කරනවා. මෙහි පච්චයා නැත්නම් ප්‍රතීත්‍ය යන්න ඩේවිඩ් කළුපහන මහතා පැහැදිලි කර දී තිබෙනවා. ඒ කොහොම වුණත් අවිද්‍යාව තමයි දැනුම සංස්කරණයට මුලින් ඇත්තේ. මගේ ලෝකයේ සඳහන් වන්නේ දැනුම සංස්කරණය (නිර්මාණය) කරන බවත් එය පංචෙන්ද්‍රියන්ට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂව යම් චින්තනයක් පදනම් කරගෙන කරන බවත්. එය පොපර්ගේ හරි කුන්ගෙ හරි ෆෙයරාබෙන්ඩ්ගෙ හරි අදහසක් නො වෙයි. ඔවුන්ගේ අදහස්වලින් මා යම් යම් දේ ඉගෙන ගෙන ඇති බව පැහැදිලියි. එහෙත් මගේ සූත්‍රගත (එහෙම කියන්න අවශ්‍ය නම්) කිරීම සිංහල ථෙරවාද චින්තයෙ පදනම් වූවක්. අවිජ්ජා පච්චයා සංඛාරා!

මගේ ලෝකයේ කතාව තවදුරටත් වර්ධනය කළා ම කියන්න පුළුවන් දැනුම, අවිද්‍යාව එහෙමත් නැත්නම් නොදැනුම නිසා කලින් කී ආකාරයට පංචෙන්ද්‍රියට මනසට සංස්කෘතියට සාපේක්‍ෂ ව සංස්කරණය කෙරෙනවා කියා. ඒ කියන්නේ දැනුම ඇති කරන්නේ, සංස්කරණය කරන්නේ නොදැනුම නිසා. මේ නොදැනුම මොකක් ද? මට එය තරමක කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. මා චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම කියාත් කාලයක් හිතුවා. 

එහෙත් චතුරාර්ය සත්‍යය යන්න නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැනුම මෙහි අවිජ්ජා යනුවෙන් සලකන්න ඕන බව පසුව මට වැටහුණා (මා කතාවක් හදා ගත්තා) . එය සංගත ව යනවා. එහෙත් මෙහි දුක්ඛ කියන්නේ අප කියන දුක නොව අයහපත් හිස් බව යන්නයි. දුක්ඛදොමනස්ස ස්කන්ධයෙහි දුක්ඛ යන්නත් මේ හිස් බවයි. අනිත්‍ය දුක්ඛ (හිස් බව) අනාත්ම සම්මාබෝධය නොමැති වීම නිසා අප දැනුම සංස්කරණය කරනවා. මෙහි කියැවෙන්නෙත් එවැනි දැනුමක්. ඒක අපට බුදුහාමුදුරුවන් විසඳලා දුන් ප්‍රශ්නය. නොදැනුම දැනුම ලෙස ප්‍රකාශ කරන්නේ කෙසේ ද? 

අප දැනුම සංස්කරණය කරන්න ඕන. එහෙ ම නැතුව අපට ජීවත් වෙන්න බැහැ. එහෙත් අප එය කළ යුත්තේ මේ නොදැනුම හැන හිතමින්. අප කොවිඩ් සමහ ජීවත් වන්නේ කෙසේ ද? ඒ සඳහාත් දැනුමක් අවශ්‍යයි. එය සංස්කරණය කර ගන්න එක අපහසු වෙන එකක් නැහැ. කොහොමත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වියතුන් සමග ජීවත් වන අපට කොවිඩ් සමග ජීවත්වන එක අමාරු වෙන එකක් නැහැ.