History

Monday, 27 July 2020

උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




උප්පැන්න සහතිකය සිංහලයන්ගේ මරණ සහතිකය නොවිය යුතුයි

උප්පැන්න සහතිකය මෙන් ම විවාහ සහතිකය ද මරණ සහතිකය ද බටහිරයන්ගෙන් අපට ලැබුණු දේ. නමුත් ඒකෙන් කියැවෙන්නේ නැහැ බටහිරයන් එන තෙක් සිංහලයන් නොඉපදී විවාහ නොවී නොමැරී හිටි බවක්. සමහරවිට පෘතුගීසින් එන විට එකගෙයි කෑම වැනි සිරිතක් එකතු වී තිබෙන්නට ඇති. එය අපට කෙසේ කවදා ලැබුණේ ද යන්න ගැන හරි (සංගත) මතයක් නැහැ.  එහෙත් අපේ පැරණි ඉතිහාසයේ අහවලා අහවලාගේ බිරිඳ ආදී වශයෙන් හඳුන්වලා තියෙනවා. නන්දිමිත්‍රගේ බිරිඳ අහවල් ලෙන පූජා කළ බව සඳහන් වෙන සෙල්ලිපි තියෙනවා. 


මහාවංසය තමයි අපේ ජාතියේ ම උප්පැන්න සහතිකය. ගැමුණු කුමරුගේ පියා කාවන්තිස්ස රජු බවත් පුතා සාලිය කුමරු බවත් අප කියන්නේ කච්චේරියේ ලියා පදිංචි කර ඇති උප්පැන්න සහතික බලා ගෙන නො වෙයි. පඬි නැට්ටකු අහන්න පුළුවන් අප ඒ පිය පුත් සම්බන්ධකම් දන්නෙ කොහොම ද කියා. පඬි නැට්ටාගේ පියා ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඒක උප්පැන්න සහතිකයෙන් විසඳෙන්නෙ නැහැ. ඔහුට තම පියා ගැන විශ්වාසයක් නැත්නම් අපට කරන්න දේකුත් නැහැ. 

බටහිරින් ලැබුණත් උප්පැන්න ආදී සහතික අපට ඕන විධියට සකස්කර ගන්න පුළුවන් වෙන්න ඕන. අද ඔය කතා කරන නව උප්පැන්න සහතිකය බටහිරයන්ගෙ අවශ්‍යතාවට පහුගිය ජඩපාලන ආණ්ඩුව සකස් කළ එකක්. එය සකස් කරල තියෙන්නෙ සිංහලයන්ට මෙරට ඇති සුවිශේෂත්වය නැති කරන්න. කලින් තිබුණු උප්පැන්න සහතිකයෙත් ඒ සුවිශේෂත්වය නැති කරල තිබුණා. එහි සිංහල දෙමළ සියල්ලන් ජාතීන් වෙලා තිබුණා. නව උප්පැන්නෙහි සියල්ලන් ජනවර්ග වෙලා. මේ සියලු උප්පැන්න සහතික සිංහලයන්ගේ මරණ සහතික වෙලා.

බටහිරයන්ට ජාතිය ජනවර්ගය ජාතික රාජ්‍යය ආදිය ගැන සංගත නිර්වචන දෙන්න බැහැ. මා කලින් ඉදිරිපත් කර ඇති නිර්වචනවලින් ඒ බව පැහැදිලි වෙනවා. එසේ තිබිය දී තමයි බටහිරයන් අපට කියන්නෙ සිංහල දෙමළ සියල්ල ජනවර්ග කරන්න කියලා. සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන ය කියන එක හුදු වියුක්ත ප්‍රකාශයක් පමණයි. අඩු ගණනේ නීතිය ඉදිරියේ නීතිඥයන්වත් සමාන නැහැ. සුමන්තිරන් කියන්නෙ සාමාන්‍ය නීතිඥයකු නො වෙයි. ඔහුගේ දෙමළකම ඒ තැන ලබා ගැනීමට බාධාවක් වෙලා නැහැ.

මියන්මාරයේ කතාවක් තියෙනවා බොහෝ කලකට පෙර සුචී මැතිණියගේ පියා වූ ජෙනරල් අවුන් සාං ඝාතනය කළ දිනවල ලංකාවේ අද්වකාත්ලාට (එකල අද්වකාත් පෙරකදෝරු යනුවෙන් දෙවර්ගයක් හිටියා) උසාවිවල විශේෂ පිළිගැනීමක් තිබුණා කියා. ජෙනරල් අවුන් සාංගේ ඝාතකයාටත් අවශ්‍ය වෙලා තියෙනවා ලංකාවෙන් අද්වකාත්වරයකු ගෙන ඒමට. එහෙත් ඉංගිරිසි ජාතිකයකු ඔහුට ඉංගිරිසි නීතිඥයකු ගෙනල්ලා දීලා. ඔහු නඩුවෙන් පැරදිලා මරණ දඬුවමට යටත් වෙලා. මා කියන්නේ ලංකාවෙන් අද්වකාත්වරයකු ගෙනාව නම් ඔහු නිදහස් වෙන්න තිබුණු බව නො වෙයි. (මේ සමග ඇති ඡායාරූපවලින් ජෙනරල් අවුන් සාං ඇතුළු මෘතවීරයන්ගේ ස්මරණය වෙනුවෙන් ලංකාවේ ගෞරවය පිරිනැමූ අවස්ථාව නිරූපණය වෙනවා).  

නීතිය ඉදිරියේ මුදල් ඇති අයට දක්‍ෂ නීතිඥයන් ලබා ගන්න පුළුවන්. බටහිර රටවල තැනක් ලබා ගන්න නම් ඔවුන්ගේ සංස්කෘතියට අවශෝෂණය වන්න ඕන. ඔබාමා ජනාධිපති වුණේ කල්ලකු ලෙස නො වෙයි. ඔවුන්ගේ සංස්කෘතියේ අයකු ලෙසයි. ෆ්ලොයිඩ් මිය ගියේ කල්ලකු නිසා නොවෙයි. ඔහුගේ සංස්කෘතිය වෙනස් නිසා. ලංකවේ ඉහළ සමාජයේ තැනක් ගන්න සිංහලයකු වීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ නැහැ. එය තීරණය වන්නේ ඉංගිරිසි සංස්කෘතිය, දේශපාලන බලය, සිවිල් බලය, ප්‍රභූ පවුලක ඉපදීම ආදිය මත. ඇතැම් පඬි නැට්ටන්ට ඉහළ සමාජයේ තැනක් නොලැබීමත් ප්‍රශ්නයක් වෙලා. බොහෝ පාසල්වල ආදි ශිෂ්‍යයන් බොහොමයකටත් එය ප්‍රශ්නයක්. 

සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර සංස්කෘතිය මෙන්  එවැනි දේ සලකන්නේ නැහැ. බුදුහාමුදුරුවන් ඒ කරුණ අපට කියා දී තිබෙනවා. යමකු උපතින් චසලයකුවත් බ්‍රාහ්මණයකුවත් වන්නේ නැහැ. උපාලි තෙරුන් වහන්සේ  ගිහි කළ සේවය කෙළේ කරණැවෑමියකු ලෙස. ඔහු ශාක්‍ය කුමාරවරුන් සමග පැවිද වීමට පැමිණි කල බුදුහාමුදුරුවන් ඔහු පළමුව පැවිිදි කර ශාසනවංසයේ ශාක්‍ය හාමුදුරුවරුන්ට පළමු ව තැබුවා. පසුව ප්‍රථම සංගායනාවේ දී විනය කරුණු ඉදිරිපත් කරනු ලැබුයේ උපාලි මහා තෙරුන් විසින්. පඬි නැට්ටකු සියම් නිකායේ ගොවිගම නොවන අය මහණ නොකිරීම මතක් කරාවි. එසේ මහණ නොකිරීම වැරදියි. එහෙත් මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. වැලිවිට සරණංකර හිමියන්ගේ සිල්වත් සමාජයේ ගොයිගම නොවන හාමුදුරුවරුන් හිටියා. සිංහල කුල ක්‍රමය කුල භේදයක් බවට පත්වුණේ පත්කෙළේ කොහොමද කවුද යන්න තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක්. 

බටහිරයන් තම රටවල/ලෝකයේ සංස්කෘතික/සභ්‍යත්ව ආධිපත්‍යයක් තනා ගෙන ඉවරයි. එංගලන්තයේ මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන්නන් අද සමහරවිට කෝර්න්වෝල් ප්‍රදේශයට පමණක් සීමාවෙලා ඇති. එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ආධිපත්‍යය දරණවා. මෙහි ආරම්භය 1066  පමණ මැතක. මේ විජයබාහු රජතුමාගෙ කාලෙ. අපි ඒ වන විට සිංහල වෙලා කලක් ගත වෙලා විතරක් නොවෙයි චෝලයන්වත් පරාද කරල ථෙරවාදය නැවත ස්ථාපිත කරලා. අපට ජාතිය ගැන උගන්වන්නෙ අදටත් ජාතිය ගැන හරි හමන් නිර්වචනයක් නැති එවැනි ඉංගිරිසින්. ඉංගිරිසින් තාක්‍ෂණයෙහි හා ව්‍යාපාර කටයුතුවල දක්‍ෂයන් වීම වෙනත් කරුණක්. 

ප්‍රංශ විප්ලවය වන විට 1789 දී ඊනියා ප්‍රංශයේ සියයට පනහකට වැඩි පිරිසකට ප්‍රංශ භාෂාව  කතා කරන්න බැහැ. ප්‍රංශය එක්සත් කිරීමටත් ප්‍රංශ භාෂාව අධිපති භාෂාව බවට පත් කිරීමටත් නැපෝලියන් කටයුතු කළා. තවමත් ප්‍රංශයේ ඇතැම් ප්‍රාදේශීය භාෂා තමන්ට හිමි තැන ඉල්ලනවා. ඒ මදිවාට දැන් ඉංගිරිසිය ප්‍රශ්නයක් වෙලා. ප්‍රංශයන් ප්‍රංශ භාෂාව ආරක්‍ෂා කර ගැනීමට නීති ගෙනැවිත්. වැඩි ඈතක නොවෙයි. පසුගිය සියවස අග. උදාහරණයකට ටූබෝන් (Toubon) නීතිය. මේ වචනය සිංහලෙන් ලියා තියෙන හැටි වැරදි වෙන්නත් පුළුවන්. මට ප්‍රංශ තබා ඉංගිරිසිවත් හරියට බැහැ. ජාත්‍යන්තර සම්මේලනවල දී ඉංගිරිසි භාවිතා කිරීම ප්‍රංශයන් කැමති දෙයක් නො වෙයි. 

අපේ උප්පැන්න සහතිකය අපට වුවමනා විධියට සකස්කර ගන්න පුළුවන් වෙන්න ඕන. බටහිරයන් තමන් ආධිපත්‍යය පිහිටුවා ගත් ආකාරය හා අද ඇති ප්‍රශ්න අමතක කර අපට ලාංකික බයිලාවක් කියනවා. මා ලාංකික කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එහෙත් අද ඊනියා ලාංකික විඥානයක් රටේ නැහැ. දෙමළ මුස්ලිම් ජන කොටස් තමන් ලාංකික කියා හිතනවා ද? සිංහල බහුතරයට නම් පොදු විඥානයක් තියෙනවා. ඒ විඥානයේ මුල් ඇත්තේ අප රටේ. ලංකාවෙන් පිටරට ගොස් සිටින සිංහලයන් බහුතරයකට ද සිංහල විඥානයක් තියෙනවා. ඒ විඥානයේ මුල් තියෙන්න ලංකාවෙ මිසක් වංගයේවත් කාලිංගයේවත් ලාට රටේවත් ඉන්දියවේ බටහිර වෙරළේවත් නො වෙයි. දෙමළ මුස්ලිම් ජන කොටස්වලට චෙන්නායිහි හරි මක්කම හරි හැර ලංකාවේ මුල් තියෙන විඥානයක් තියෙනවා ද? මේ වෙනස තිබෙන තාක්  උප්පැන්න සහතිකයේ  එය පෙන්නුම් කරන්න ඕන. එය නැති කිරීමේ වග කීම ඇත්තේ බටහිරයන්ට නොව දෙමළ හා මුස්ලිම් ජන කොටස්වලටයි.