History

Friday, 7 August 2020

2010න් උගත් පාඩම් අමතක කරනවා ද?

                         


                                                 සිංහල ලිත් ඉලක්කම්


0  1    2     3      4    5   6   7    8    9



2010න් උගත් පාඩම් අමතක කරනවා ද?


මා බලාපොරොත්තු වූවාට වඩා ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිිදහස් පොදු ජන පෙරමුණට ලැබිලා. තනි පක්‍ෂයක්/සංධානයක් ලෙස පැහැදිලි ජයක් ලබන බව මගේ තක්සේරුව වුවත් මන්ත්‍රී්‍ ධුර 145+1 (ශී ල නි පයට යාපනයෙන් ලැබුණු මන්ත්‍රී ධුරය)  ක් ලැබේවිය කියා මා සිතුවේ නැහැ.  මෙයට ඩග්ලස් දේවානන්ද ලැබූ මන්ත්‍රී්‍ ධුර දෙකත් මා හිතන විධියට පිල්ලෙයාන් ලැබූ මන්ත්‍රී්‍ ධුරයත් එකතු වෙන්න ඕන. එවිට මන්ත්‍රී ධුර 149ක් වෙනවා. මෙවර ප්‍රතිඵලය සංසන්දනය කළ හැක්කේ 2010 මැතිවරණය සමගයි. එවර කොටි පැරදවීමෙන් පසුව පැවති මැතිවරණයේ මන්ත්‍රී්‍ ධුර 144ක් හා 60.33ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. මෙවර ආසන 145ක් හා 59.09ක ඡන්ද ප්‍රතිශතයක් ලැබිල තියෙනවා. ඡන්ද ලෙස  නම් 68,53,693ක් ලැබිල තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ ලැබූ ඡන්ද ප්‍රතිශතය 52.25යි ඡන්ද සංඛ්‍යාව 69,24,255යි. මෙවර අඩු ඡන්ද සංඛ්‍යාවක් ලැබී වැඩි ප්‍රතිශතයක් ලැබී තියෙන්නෙ ඡන්දය දුන් සංඛ්‍යාව ඒ මාස කිහිපය තුළ අඩු වී ඇති නිසා. ඒ කොරෝනාව නිසා ම සිදු වූවක් නොවන බව මා ඊයේ පැහැදිලි කළා. ශ්‍රී ල නි පක්‍ෂයට යාපනයෙන් ලැබුණු මන්ත්‍රී ධුරයෙන් පෙන්නුම් කෙරෙන්නේ දෙමළ ජනයා අතර ජාතික පක්‍ෂවලට දේශපාලනයක් කළ හැකි බව. මෙහි දී උතුරු පළාතේ ආණ්ඩුකාර රාඝවාන්ගේ කාර්යභාරය ද සලකන්න ඕන.  

මේ ප්‍රතිඵලය ගැන අප සතුටු වන අතර ඔළුව උදම්මාගන්න හොඳ නැහැ. මෙය කිසිසේත් ම තනි පුද්ගලයකුගේ ඊනියා සංවිධාන ශක්තිය නිසා ලැබූ ජයක් නො වෙයි. සජිත් ප්‍රේමදාසත් එලෙස තර්ක කරනවා නම් පක්‍ෂයක් පිහිටුවා මාස කිහිපයක් ඇතුළත ඡන්ද විසිඅට ලක්‍ෂයක් පමණ අරගෙන කියන්න පුළුවන්.  අප අත්දකිමින් සිටින්නේ ජාතිකත්ව මතවාදය තව තවත් තහවුරු වීමක්. ජාතිකත්වය මෙතරම් තහවුරු වී ඇතැයි මා තක්සේරු කළේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම තව වේගයෙන් ඉදිරියට ගෙන යනු දැකීමයි ජනතා අභිලාෂය. එය තව තවත් ජාතිකත්වය මත තහවුරු විය යුතු බව ජනතාව මැතිවරණ ප්‍රතිඵලයෙන් කියා සිටිනවා.

එහෙත් අප ඔළුව උදුම්මාගෙන බලයෙන් මත් වී වැඩ කළොත් විජාතිකත්වය යළි හිස ඔසොවනවා. 2010 මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ජාතිකත්වය අමතක කළා. මැති ඇමතිවරු ඔවුන්ගේ දු දරුවන් ඇඹේණියන් වැඩ කෙළේ ඔවුන් අප විසින් නොව දෙවියන් විසින් පත් කෙරුණු අය යැයි සිතා ගනිමින්. 2010 ආණ්ඩුව පැරදවීමට විජාතික බලවේගවලට මුල සිට ම දැඩි අවශ්‍යතාවක් තිබුණා. ඔවුන් ඒ සඳහා සූදානම් වුණා. ඊනියා යුග පෙරළි කාරයන් සිතා ගෙන හිටියේ 2015 දී ඒ ආණ්ඩුව පෙරළා දැමුයේ තමන් විසින් කියා. එහෙත් බටහිර රටවලට මෙන් ම අසල්වැසි රටකට ද ඒ ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය වුණේ කල් ඇතුව ම.

එයට විවිධ හේතු තිබුණා. මෙරට ජාතිකත්වය තහවුරු වනු දැකීමට ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. 2009 කොටි පැරදවීමේ දී ආණ්ඩුව 13+ දෙන බවට පොරොන්දු වී තිබුණා. එහෙත් ජාතික බලවේග එයට ඉඩක් දුන්නේ නැහැ. උගත් පාඩම් හා සංහිඳියා කමිටුව පත්කෙළේ ම දෙමළ ජාතිවාදී පක්‍ෂවලට යමක් දීමට. එහෙත් කමිටුව පරාජය කිරීමට ජාතික බලවේගවලට හැකි වුණා. එහි ප්‍රතිඵලය වුණෙ අදාළ සියල්ලන් 2010 ආණ්ඩුව පෙරළා දැමීමට සැලසුම් කිරීම. 

ඒ සඳහා ඔවුන් සිංහල බෞද්ධ ජාතිකත්වයක් තිබූ ශ්‍රී ල නි පාක්‍ෂිකයකු ම සෙවුවා. සොයන්නාට හම්බවුණා. සිරිසේන ඒ සඳහා තෝරා ගනු ලැබුයේ බොහෝ කලකට පෙර. සිරිසේන ඒ බව දැනගත්තේ කාලෙකට පස්සෙ. සිරිසේනට පක්‍ෂය එපා කරවන තත්වයක් ඇති කෙරී තිබුණා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස සිරිසේන ඊනියා යහපාලනයකට එකතු කෙරී මහින්ද පරාජය කරනු ලැබුවා. එහෙත් සිරිසේනට රනිල්ලා සමග ඇයි හොඳයියක් තිබුණේ නැහැ. විය යුතු පරිදි ම ඔවුන් භේද වුණා. සිරිසේන නොමග යවනු ලැබූ ජාතිකත්ව පුද්ගලයෙක්. රනිල් විජාතික මතධාරියෙක්. මා මේ විස්තරය දැනට මෙතනින් නවත්වනවා. කෙසේ වෙතත් මා සතුටු වෙනවා සිරිසේන පොළොන්නරුවෙන් වැඩි ම මනාප ගැනීම ගැන.

මට අවශ්‍ය වන්නේ නව ආණ්ඩුවට පණිවුඩයක් දීමට. ජාතිකත්වය අමතක කර බලයෙන් මත් වී වැඩ කළොත් විජාතික බලවේග තවත් සිරිසේන කෙනකු සොයා ගනීවි. 2015ට වඩා පරාජයක් 2025 දී ලැබේවි. මා එතෙක් ජීවත් වුණොත් මට ඒ දකින්න අවශ්‍යතාවක් නැහැ. 2010 -15න් උගත් පාඩම් අමතක කිරීම ජාතියට ම කරන අපරාධයක්. මා හිතන්නෙ නැහැ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට උගත් පාඩම් අමතක වේවි කියා. 

මෙවර ජාතිකත්ව මතධාරීන් කිහිප දෙනකු අලුතෙන් පාර්ලිමේන්තුවට පත් වී තියෙනවා. ඔවුන්ට මා සුබ පතනවා. මට විශේෂයෙන් ම මතක් වන්නේ අනුප පැස්කුවල් හා චන්න ජයසුමන. මට ඔවුන් මගේ දරුවන් වගේ. එහෙත් දරුවන් සෑම දෙනා ම යුතුකම ඉටු නොකරන බවත් මා දන්නවා. 

ආණ්ඩුවට හිතවත් මන්ත්‍රීවරුන් 149 දෙනකු ඉන්නවා. ඩීල් අවශ්‍ය නැහැ.  මට බයක් තිබුණා. ආණ්ඩුවට 125ත් 146ත් අතර ලැබී ඩීල් කරුවන් තුනෙන් දෙක ලබා ගැනීමට මැදිහත් වේය කියා. දැන් එය අවශ්‍ය වන්නේ නැහැ. මේ මන්ත්‍රීවරුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ   ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට සහාය දීම. මේ මැතිවරණයට පොදු පෙරමුණු සංධානය අලුතෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කෙළේ නැහැ. ඔවුන් පදනම් වූයේ ජනාධිපති වැඩ පිළිවෙළ මත. ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මන්ත්‍රීවරුන් 150 දෙනකු සොයා ගැනීම දැන් ප්‍රශ්නයක් නො වෙයි. දහනවයත් දහතුනත් නැති නව ජාතික ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කරන්න ඕන. 

දහනවයේ සඳහන් පරිදි ඊනියා ජාතික රාජ්‍යයක් ඇති කරන්න ඩීල් අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් දේවානන්ද ආදීන් සමග සභාග ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙත් ඇමති මණ්ඩලය විසිපහකට පමණ සීමා වෙන්න ඕන. දහනවයේ සඳහන් ජාතික ආණ්ඩු ඇති කරල ඇමති ධුර වැඩි කර ගත්තොත්   පුදන කොටම කාපි යකා තත්වයක් උදා වේවි. එසේ කළහොත් 2025 දි නිසැක පරාජයක් අත් වේවි. 

මට එකින් එක කියන්න අවශ්‍ය නැහැ. අපට ජාතික වූ විදේශ ප්‍රතිපත්තියක් ද අවශ්‍යයි. නොබැඳී ජාතීන් ආදිය අද යල් පැන ගිය සංකල්ප. පහුගිය අවුරුදු හැත්තැවේ අප බොහෝ වැරදි කර තිබෙනවා. අපේ ගණු දෙනු වැඩිය තිබිය යුත්තේ ආසියානු කලාපයේ. අප පෙරදිග මුතුඇටය කියා ගන්න නම් පළමුව පෙරදිගට අයිති වෙන්න ඕන. අප අද මනසින් අපරදිග. එයට ප්‍රධාන හේතුව අධ්‍යාපනය. අලුත් ආණ්ඩුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන්න ඕන. අද ඇත්තේ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. දරුවන්ට ගණිතයට වඩා සාරධර්ම උගන්වන්න ඕන. සාරධර්ම නැතිව ගණිතය නොවෙයි මොනව ඉගෙන ගත්තත් වැඩක් නැහැ.