History

Thursday, 20 August 2020

ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9




ජාතික මතවාද හා රටේ ආරක්‍ෂාව 


අද අලුත් පාර්ලිමේන්තුව පළමු වරට රැස්වෙනවා. මේ පාර්ලිමෙන්තුවේ ජාතිකවාදී මත දරණ පිරිසක් ඉන්නවා. සමහර විට ජාතික මතධාරී පිරිසක් වැඩියෙන් ම ඉන්න පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් සියලු දෙනා ම සෑම දෙයක් ගැන ම එකම මතයක ඉන්නවා කියා. ජාතික මතවාදයක් මෙරට ගොඩ නැගුණේ රටේ ස්වාධීනත්වය, පසු කලෙක ස්වෛරීභාවය, ආරක්‍ෂාව, ඒකීය භාවය, රාජ්‍ය භාෂාව,  බුද්ධාගමට හිමි තැන, සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙරට සුවිශේෂත්වය ආදී කරුණු මුල් කර ගෙන. එය එක ම මතවාදයක් නොවුණත් එහි යම් පොදු එකඟතාවක් තිබුණා. අද ඒ මතවාදය සමස්තයක් ලෙස ගත් කළ විශාල ප්‍රමාණයකට ජයග්‍රහණය කරලා.

මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි එහි ලා මගෙන් සිදු වූ කාර්යයක් නැහැ. උගතකු බුද්ධිමතකු වියතකු නොවන මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ නූතන ජාතික මතවාදයේ ආරම්භය පංචමහා වාද කරා දිව යනවා. අනගාරික ධර්මපාලතුමා ද එහි ප්‍රතිඵලයක්. ජාතික මතය මෙරට බොහෝ දේ මෙන් ම උච්චාවචයනයට භාජනය වුණා. පංචමහා වාදවල සිට වත්මන් පාර්ලිමේන්තුවට කාලය වශයෙන් ගත්ත ද විශාල දුරක් තියෙනවා. පඬි නැට්ටන් මේ ප්‍රකාශ විවිධ විධියට අර්ථ දක්වාවි. එහෙත් මා කියන්න ඕන කරුණක් නම් ඉහත සඳහන් මාතෘකා සම්බන්ධයෙන් ද ජාතික මතධාරීන්ට තව දුරක් යන්න තිබෙන එකත් මේ පාර්ලිමේන්තුව කිසිසේත් ම පරමාදර්ශී එකක් නොවන බවත්. ඒ ගැන අපට දිගට ම  මනා අවබෝධයක් තිබුණා.

කෙසේ වෙතත් ඒ කරුණු යම් පමණකට හරි ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජාතික මතධාරීන් ඒ කරුණු සම්බන්ධයෙන් ද විවිධ මත දරණවා. ඊනියා මාක්ස්වාදී සමාජවාදය ගැන කෙතරම් විවිධ මත තියෙනවා ද? කිසිම ජාතිකවාදියකු මේ පාර්ලිමේන්තුවෙන් තමන්ට අවශ්‍ය සියල්ල කෙරේවි කියා බලාපොරොත්තු වෙනව නම් එය මෝඩකමක්. ජනාධිපතිටවත් මේ ආණ්ඩුවෙන් තමන්ට අවශ්‍ය සියල්ල ඉටු කර ගන්න බැහැ. කවදා හරි දහතුන අහෝසි වන්න ඕන. එතෙක් මේ සටන ඉදිරියට.

සංවර්ධනය සම්බන්ධයෙන් ගත්ත ම ජාතික මතවාදීන්ට පැහැදිලි හැඟීමක් නැහැ. සංවර්ධනය කියන්නෙ මොකක් ද කියා ඔවුන් තබා කිසිවකු දන්නේ නැහැ. මෙය ඉංගිරිිසි ඩෙවලොප්මන්ට් කියන වචනෙට හදා ගත්ත සිංහල වචනයක්. මෙහි සං කියන කොටස ඉංගිරිසි වචනයෙහි නැහැ. ඒක සිංහල බෞද්ධ සංස්කෘතියෙ නිපැයුමක්. අපි එයට පසුව එමු. 

ධර්මපාලතුමා එකල අදහස් කෙළේ තාක්‍ෂණය වර්ධනය කර ගැනීමට. එතුමාට ජපානය මෙන් වර්ධනය වීමේ අවශ්‍යතාවක් තිබුණා. ජපානය තම සංස්කෘතිය යම් පමණකට ආරක්‍ෂා කර ගනිමින් බටහිර තාක්‍ෂණය ලබා ගත් රටක්. ධර්මපාලතුමා ඒ ගැන එසේ සිතුවා ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් එහි අපට ගන්න දෙයක් තියෙනවා.

අපි ඒ කතාව එතැනින් දැනට නවත්තල ජනාධිපතිට කරන්න පුළුවන් හා බැරි දේ ගැන ටිකක් කතා කරමු. කොළඹ නාගරික කොමසාරිස්තුමිය මතක් කරල තියෙනවා ව්‍යවස්ථාවෙ හතරවැනි වගන්තිය යටතෙ රටේ ආරක්‍ෂාව ජනාධිපතිට භාරය කියා. හතරවැනි වගන්තිය ජනමත විචාරණයක් නැතිව අයින් කරන්න බැරි තුන්වැනි වගන්තිය සමග බැඳිලා. ජනතා පරමාධිපත්‍යයෙහි විශේෂ කොටසක් ලෙසයි රටේ ආරක්‍ෂාව ජනාධිපතිට පවරල තියෙන්නෙ. හතරවැනි වගන්තියේ අදාළ කොටස මෙහෙමයි.

"4(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය."

එයට අමතරව 33 වැනි වගන්තිය තියෙනවා. එයිනුත් ව්‍යවස්ථාව අනුගමනය කිරීම හා ආරක්‍ෂා කිරීම මගින් රටේ ආරක්‍ෂාව ජනාධිපති යටතට ගැනෙනවා.

33. (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ ඃ-

(අ) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද, ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම,

……......... වන්නේ ය. 

දැන් ඇමතිවරුන් ගැන ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ කුමක් ද? 

42. (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.

(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.

(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා ද වන්නේ ය.

(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.


43. (1) අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය.

(2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

(3) ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය.

ව්‍යවස්ථාවේ 4, 42, 43 වගන්ති එකට ගෙන කියවන විට පැහැදිලි වන කරුණ නම් අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකීමට බැඳී ඉන්නේ සාමූහික ව බව ය. ඒ ඒ ඇමතිවරයා හැටියට නො වේ. අමාත්‍යංශ සංඛ්‍යාව විෂය පථ ආදිය ජනාධිපති නිශ්චය කළ යුතු ය. සෑම කාර්යයක් සඳහා ම ඇමතිවරයකු අනිවාර්යයයෙන් සිටීමට අවශ්‍ය නැත. ආරක්‍ෂාව ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතු ය. 

මෙයින් කියැවෙන දේ පැහැදිලියි. වෙන ම ආරක්‍ෂක ඇමතිවරයකු පත් කිරීම අනිවාර්ය නැහැ. ආරක්‍ෂාව ජනාධිපති විසින් ක්‍රියාත්මක කෙරෙන්න ඕන. පාර්ලිමේන්තුවට වග කියන්නේ ඇමති මණ්ඩලය හැටියටයි. ආරක්‍ෂක අමත්‍යාංශය ගැන පාර්ලිමේන්තුවට අමාත්‍ය මණ්ඩලයේ ඕනැම අයකුට කතා කරන්න පුළුවන්.  ජනාධිපති ව්‍යවස්ථාවෙන් ම රටේ ආක්‍ෂාව ක්‍රියාත්මක කරන්න බැඳිල ඉන්නවා. මෙය ඉතා පැහැදිලියි. ජනාධිපති අමුතුවෙන් ආරක්‍ෂක ඇමති හැටියට දිවුරන්න අවශ්‍යයත් නැහැ. ඔහුට තමයි ආරක්‍ෂාව භාර. ඕන ම නම් ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති කෙනකු පත් කරන්න පුළුවන්.