History

Sunday, 23 August 2020

ජී එල්ට දෙන බෞද්ධ අධ්‍යාපනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



  ජී එල්ට දෙන බෞද්ධ අධ්‍යාපනය

 මට බෞද්ධ අධ්‍යාපනය ගැන කියද්දි ගණිත සංකල්පයක් දෙකක් යොදා ගන්න වෙනවා. ඇත්තට ම කුලක සම්බන්ධව. ඒ ගැන මා කණගාටුවෙනවා. ඒත් ඊට කලින් මා ඊයේ ලියූ ලිපිය ගැන වචනයක් දෙකක් කියන්න ඕන. මා එහි එක් තැනක  මියන්මාරය ගැන කියා තිබුණා. ඒ මගේ සීමිත නිදහස අනුව. මියන්මාරය සම්බන්ධයෙන් මා කෙළේ ප්‍රවෘත්තියක් ගෙන හැර දැක්වීම පමණයි. සුචී මැතිණිය හරි ද වැරදි ද කීමක් නො වෙයි. ඒත් පඬිනැට්ටන් හිතන විධියට මගේ අදහස්වල වෙනස්වීමක් නැහැ. බටහිරයන් ඒ ඒ රටවල් නතු කර ගැනීමේ දී මෙහෙයවීමේ දී යොදා ගන්නා උපක්‍රම පිළිබඳ ව මා අවුරුදු තිස්පහක් පමණ දරන්නේ එක ම මූලික අදහසක්. එහි වර්ධනයක් නම් හැම දා මෙන් සිදු වෙනවා. මට බටහිර අදහස් එන තෙක් බලා ඉන්න අවශ්‍ය නැහැ. ලංකාව සම්බන්ධයෙන් මා කීවේ (මට එය කියන්න පුළුවන්) අප බටහිර මතවාද උපක්‍රම ආදිය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් පරාජය කර ඇති බව. 

ලෝකයේ ඇති වස්තු අදහස් අනන්‍ය ව කුලකවලට (උපකුලකවලට) බෙදන්න බැහැ. එය කුලකවාදයේ තියෙන ප්‍රශ්නයක්. බටහිර කුලකවාදය ද්විකෝටික න්‍යාය මත පදනම් වූ අසාර්ථක මෙවලමක්. ගණිත භාෂාවෙන් කියනවා නම් අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර උපකුලක සර්වත්‍ර කුලකයක සාමාන්‍යයෙන් නැහැ. ඒ නිසා තමයි කුලක(උපකුලක)වල ඡෙදන ගැන කතා කරන්න වෙන්නෙ. 

මෙවර අමාත්‍යංශ බෙදීමේ දී ඒ ගැන කල්පනා කළා ද කියා මා දන්නේ නැහැ. මා හිතන්නේ අධ්‍යාපන අමත්‍යාංශය හා  බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය කියල අමාත්‍යාංශ දෙකක් තියෙනව කියල. වචනවල පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නය වන්නෙ බෞද්ධ අධ්‍යාපනය අයිති වෙන්න ඕන මොන අමාත්‍යාංශයට ද කියල. මහා සංඝ රත්නය අනුශාසනය කරන්නෙ බෞද්ධ අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යාංශයට අයිති වෙන්න ඕන කියල. මා උන්වහන්සේලාගේ අනුශාසනයට ගරු කරනවා. ඒත් මට අවසර  ඒ සම්බන්ධයෙන් මගේ අදහසත් කීමට. 

අපට බෞද්ධ අධ්‍යාපනය අර අමාත්‍යාංශ දෙකේ ඡෙදනයට අයත් කියන්න බැහැ. යම් කිසි විෂයක් එක් අමාත්‍යාංශයකට පමණක් අයිති නූණොත් ඇමතිවරු අමාත්‍යංශ ලේකම්වරු ආදීන්ට ප්‍රශ්න ඇති වෙනවා. ඔවුන් එකිනෙකා ඡෙදනය කර ගනීවි. කාට හරි කියන්න පුළුවන් අපි බෞද්ධ අධ්‍යාපනය කියල වෙන ම අමාත්‍යංශයක් ඇති කරමු. එහෙම කරන්න ගියොත් ඊනියා ජාතික ආණ්ඩුවක් හදල ඇමතිකම් වැඩි කරන්න සිද්ධ වෙනවා.  

මහා සංඝ රත්නය හිතන්නෙ බෞද්ධ අධ්‍යාපනයත් අධ්‍යාපනයක් ඒ නිසා බෞද්ධ අධ්‍යාපනය අධ්‍යාපන කුලකයෙ උපකුලකයක් වෙන්න ඕන කියල. මා වැරදි ද දන්නෙ නැහැ. මට තියෙන ප්‍රශ්නය බෞද්ධ අධ්‍යාපනය කියන්නෙ තවත් අධ්‍යාපනයක් ද කියන එක. අද අධ්‍යාපනය කියල කියන්නෙ ඉංගිරිසි education කියන එකට. අධ්‍යාපන කියන වචනෙ නිරුක්තිය මා දන්නෙ නැහැ. ලංකාවෙ හිටිය නම් අහගන්න තිබුණ. ඒත් අධ්‍යයන කියන්නෙ ධ්‍යාන නොවන දෙයක් කියල මා අහල තියෙනව එය වැරදි වෙන්න පුළුවන්. අධ්‍යයනය හා අධ්‍යාපනය අතර වෙනසත් මා දන්නෙ නැහැ. 

අපට දැනුම විවිධ ක්‍රමවලින් ලැබෙනවා. ධ්‍යාන මගිනුත් දැනුම ලබා ගන්න පුළුවන්. හැම දැනුම ලබා ගැනීමක් ම අපේ සංස්කරණයක්. කාගෙන් ලබා ගත්තත් අප අපට සාපේක්‍ෂවයි දැනුම සංස්කරණය කරන්නෙ.  අද බටහිර අධ්‍යාපනය කියන්නෙ ක්‍රිස්තියානි ආකෘතියක කෙරෙන්නක්. ඒ ආකෘතිය ක්‍රියාත්මක වන ක්‍රම තියෙනවා. අද පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය තෙක් මේ විවිධ ක්‍රම අනුගමනය කෙරෙනවා. බෞද්ධ අධ්‍යාපනය කියන එකේ අධ්‍යාපනය යන්න තිබූ පමණින් අප ඒ ක්‍රම අනුගමනය කළ යුතු ද? අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නම් කෙරෙන්නෙ එයයි. 

අප වරද්ද ගත්ත ප්‍රධාන තැන් දෙකක් තියෙනවා. එකක් 1886 දි ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමේ දී. එය බෞද්ධ උසස් පාසල ලෙස නම් කිරීමේ දී ම ගැටළුවක් වුණා. ඕල්කට්තුමා බෞද්ධයකු නො වෙයි. එහි පළමු ප්‍රධානාචාර්ය ලෙඩ්බීටර් ක්‍රිස්තියානි පුජකවරයකු ලෙසත් සේවය කර තිබෙනවා. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ආනන්ද විදුහල බෞද්ධ උසස් පාසලක්. අද එය බෞද්ධ රාජකීය විද්‍යාලය. එහි දෙන්නෙත් ක්‍රිස්තියානි අධ්‍යාපනයක්. 

දෙවැන්න 1959 දී විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම. එයින් වුණු එක ම  සේවය වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස්  මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කරාට පසු අවුරුදු දහයක් නඩු කීමෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම කියා මා කියන්නේ නැහැ. ඒ කුමක් වුවත් අද ඒ විශ්වවිද්‍යාලවල විද්‍යොදය විද්‍යාලංකාර නම් පවා නැහැ.  විද්‍යාලංකාරය පිහිටු වූ මුල් දවස්වල මහාචාර්ය ඩබ් එස් කරුණාරාත්න ඇවිත් ඇහුව කියනව මහායානය පිළිබඳ මහාචාර්යවරයා කවුද කියා. එය උපහාසය හා අපහාසය මුසු වූවක්. විද්‍යාලංකාරය විශ්වවිද්‍යාල ආකෘතියට ගැනීම පිළිබඳවයි ඔහුගේ ප්‍රශ්නය. මේ විශ්වවිද්‍යාලවල බෞද්ධ දර්ශනය කියල එකකුත් උගන්නනවා. මහා විහාරයේ ඉගැන්නුවෙ මොනවා ද? මෙය පඬි නැට්ටන් වැරදියට තේරුම් ගන්නවා. 

දැන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයත් අධ්‍යාපන අමාත්‍යංශයට පවර ගන්න අදහසක් ඇති වෙලා. මෙය අප කරන තුන්වැනි වරද වෙන්න පුළුවන්. ඒත් එයින් බේරෙන ක්‍රමයක් තියෙනවා. අධ්‍යාපනය කියන වචනය වෙනුවට වෙනත් වචනයක් හොයා ගන්නවා නම් හොඳයි. ඒ වගේම ලබා දෙන දැනුම සම්බන්ධයෙනුත් යම් වෙනස්කම් පෙර පාසලේ ඉඳලා ඇති කරනවා නම් හොඳයි. මොනව ඉගැන්නුවත් ඒ බෞද්ධ සාරධර්ම මත පදනම් වෙන්න ඕන. ඉංගිරිසි වචනවලට සිංහල පරිවර්තන එක් කරල බෞද්ධ දර්ශනය වැනි දේ උගන්වන්න අවශ්‍ය නැහැ. කොහෙ තියන බුඩිස්ට් ෆිලොසොෆියක් ද? මේ බටහිරයන්ගෙ ඇහෙන් බලල හදන වචන. 

ජී එල් පීරිස් විශාකා විද්‍යාලයෙ පාලක සභාවෙ ඉන්න පුළුවන්. විශාකා විද්‍යාලයට බෞද්ධ කාන්තා විිද්‍යාලය කියන්නෙ නැහැ ඒ නමින් තවත් පාසලක් තියෙන නිසා. ජී එල් පීරිස්ට තේරෙන බෞද්ධ හැදෑරීමක් නැහැ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙදි මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්නන්නෙ ඇයි කියල. ඔහුට අවශ්‍ය විජාතික චින්තනය උගන්වන්න. 

අපට මේ අවස්ථාවෙ මහා සංඝ රත්නයට අවශ්‍ය ම නම් කරන්න තියෙන්නෙ ව්‍යවස්ථාවෙ රාජ්‍ය ඇමතිල නැති වුණත් බෞද්ධ හැදෑරීම් සඳහා රාජ්‍ය ඇමති ධුරයක් නම් කරල සුදුසු පුද්ගලයෙක් අදාළ රාජ්‍ය ඇමති කරන එක. ඔය විශ්වවිද්‍යාල දෙක  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත්කරන්න නම් හිතන්නවත් එපා. මාත් ඒකෙ සාමාජිකයකු වෙලා ඉඳල තියෙනවා. 

අපට දරුණු ලෙඩක් තියෙනවා. ඒ පිළිගැනීම නැත්නම් රෙකග්නිෂන් ප්‍රශ්නය. අප හිතනවා විශ්වවිද්‍යාලයක් නම් ප්‍රතිපාදන කොමිසම යටතෙ තියෙන්න ඕන කියල. අද විද්‍යොදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලවලට වෙලා තියෙන වින්නැහිය අදාළ විශ්වවිද්‍යාලවලටත් වේවි. ඒක තමයි ලැබෙන රෙකග්නිෂන් එක. මහා සංඝ රත්නය එකතු වෙලා බෞද්ධ හැදැරීම් (වෙන වචනයක් දැනට නැති නිසා මා එය යොදා ගන්නවා) මොනව ද කියන එක ගැන ජනාධිපතිතුමාට උපදෙසක් දෙනව නම් හොඳයි කියල හිතෙනවා. මගෙන් වරදක් සිදු වී නම් කමා කරත්වා.