History

Monday, 24 August 2020

දහතුන, ඉන්දියාව හා චීනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



දහතුන, ඉන්දියාව හා චීනය


පසුගිය දා මා ජාතික ව්‍යාපාරය විග්නේෂ්වරන් හා මියන්මාරය මැයෙන් ලියූ ලිපියෙහි විග්නේෂ්වරන් ජාතික ලැයිස්තුවෙන් පත් වූ අයකු ලෙස කියා තිබුණා. එය වැරදියි. විග්නේෂ්වරන් යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙක්. ඔහුගේ පක්‍ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 10%ක් ලැබී තිබුණා. ශ්‍රී ල නි පක්‍ෂයට 13%ක පමණ ඡන්දයක් ලැබිල. විග්නේෂ්වරන්ට ශ්‍රී ල නි පක්‍ෂයට තරම්වත් ඡන්දයක් යාපනය දිස්ත්‍රික්කයෙන්වත් ගන්න බැහැ. ඔහු යාපනයේත් දෙමළ කතා කරන ජනයා අතර ජනප්‍රිය අයකු නොවෙයි. ඔහු කරන ප්‍රකාශ ඔහුගේත් පඬියන්ගේත් හිත් හදාගැනීමට පමණයි. දෙමළ විසුරුණු ජනයා අද එතරම් බලවත් නැහැ. ඒ එංගලන්තයට ඔවුන් අද අවශ්‍ය නැති නිසා. එංගලන්තයට අද ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය මෙහෙයවන්නේ කෙසේ ද යන්න අලුතෙන් හිතන්න වෙලා. අද දෙමළ කතා කරන ජනයා අතර ඉංගිරිසින් ඇති කළ වෙල්ලාල දෙමළ ජාතිවාදය නැති වේගන යනවා. 

එහෙත් ඉන්දියාව තවමත් දහතුනෙන් අපට ගහන්න හදනවා. ඉන්දියාවට සිංහලයන්ගේ විරුද්ධතාවක් තියෙන්නේ ප්‍රධාන වශයෙන් ම මේ කරුණ නිසා. ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස්ට මෙරට දේශපාලනයට සම්බන්ධවන්න පුළුවන් ද? ඔහු දෙමළ ජාතික සංධානයේ නියෝජිතයන් ප්‍රසිද්ධියේ හමුවන්නේ කෙසේ ද? විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මේ ගැන යම් පියවරක් ගන්න ඕන. 

ඉන්දු ලංකා ගිවිසුම අද නිෂ්ක්‍රීයයි. ගාමිණී දිසානායක ඉන්දියාවේ ආධාරයෙන් මෙරට ජනාධිපති වීමට දැරූ උත්සාහයේ හා ජේ ආර් ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් තමයි ඉන්දු ලංකා ගිවිසුම. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඉන්දු ලංකා ගිවිසුමත් දහතුනත් නිෂ්ක්‍රීයයි. සරත් වීරසේකර දහතුන අහෝසි කිරීමට ගන්නා උත්සාහයට පූර්ණ සහාය දෙන්න ඕන. 

ඉන්දියාවට තමිල්නාඩුව නිසා මෙරට දෙමළ කතා කරන ජනයාගේ නායකයන් යැයි කියා ගන්නවුන්ට සහාය දීමට සිදු වී ඇත් ද කියා දන්නේ නැහැ. එහෙත් ඉන්දියාව සිංහලයන් සමග ඇති නෑකම නොදන්නාකමත් ප්‍රශ්නයක් වෙලා ඇති. ඉන්දියාවේ වත්මන් සිංහල විරෝධී ප්‍රතිපත්තිය එරට හොඳට නම් නො වෙයි. පසුගිය කාලයේ සිංහලයන් අතර ජනප්‍රිය වූ රාවණ කතාවත් (එය කලින් තිබුණත් එතරම් ප්‍රචලිත වූවක් නොවෙයි) සිදුහත් කුමරු ලංකාවේ ඉපිද ලංකාවේ බුදු වීමත් වැනි කතාත් එක් පැත්තකින් ඉන්දියාවේ සිංහල විරෝධී ප්‍රතිපත්තිය නිසා ඇති වූ ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. මේ කතාවල සත්‍යාසත්‍යතාව මෙහි දී වැදගත් නැහැ. 

සිංහලයන් අතර වූ ඉන්දියානු විරෝධය අවසානයේ දී චීනයට වාසි සහගත වන බව ඉන්දියාවට පෙනී යන්න ඕන. අපට ඉන්දියාව සමග මෙන් ම චීනය සමග ද මිත්‍රත්වයෙන් ඉන්න ඕන. වරක් මහින්ද රාජපක්‍ෂ කී පරිදි ඉන්දියාව අපේ නෑයා චීනය අපේ මිත්‍රයා. එහෙත් සිංහලයන් තමන්ට ඉන්දියාව සමග ඇති නෑකම අමතක කරන්නට පටන් ගෙන ඇත්නම් ඒ ඉන්දියාව සිංහලයන් සමග ඇති නෑකම එක්කෝ අමතක කරන නිසා නැත්නම් නොදන්නා නිසා. 

ඉන්දියාව හිතනවා නම් සිංහලයන්ගේ අකමැත්ත උඩින් ගොස් දහතුන ක්‍රියාත්මක කරන්න පුළුවන් කියා එය ඉන්දියාවේ ම අවාසනාවක්. බෞද්ධයන් මෙන් ම හින්දුන් ද සසර විශ්වාස කරනවා. මා කියන්නේ පුනබ්භවයක් විශ්වාස නොකරන ඊනියා ප්‍රබුද්ධ හින්දුන් හා බෞද්ධයන් ගැන නො වෙයි. අප වැනි අය ගැනයි. අපට කීමට ඇත්තේ සම්ම ජාතියේ දහතුන ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි. ඉන්දියාව තමිල්නාඩුව නිසා සිංහල විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් සාමාන්‍ය සිංහලයන් ඉන්දියන් විරෝධී වීම වළක්වන්න බැහැ. එහි වාසිය කාහට ද කියා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

පසුගිය දා ඊනියා දේශපාලන විද්‍යාඥයකු බැසිල් රාජපක්‍ෂගේ ප්‍රකාශයක් ගැන ලිවීමට ගොස් නේරු ඉන්දිරා ගාන්ධි අම්බෙඩ්කාර් වැන්නන් බෞද්ධ ජෛන අශෝක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගිය බවක් කියා තිබුණා. මේ පඬියන්ට නරක් වන්නේ අප බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන්න කිව්වොත්. එහෙත් කිව යුත්තක් තියෙනවා. අම්බෙඩ්කාර්ට නිසි තැනක් ලැබුණේ නැහැ. එමෙන් ම නේරු වැන්නන් බටහිර ප්‍රතිපත්ති අනුගමනය කරන අතර නමට අශෝක ප්‍රතිපත්ති ගැන කතා කළා. මෝදි හින්දු ජාතිකවාදියෙක්. පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට ජාතිකවාදීන් යනු අන්තවාදීන් ෆැසිස්ට්වාදීන්. අප ජාතිකවාදීන් ලෙස එක් විය යුතුයි. 

චීනයේ ඇත්තෙත් ජාතිකවාදයක්. එහි ඇති ඊනියා සමාජවාදයක් නැහැ. චීන රාජ්‍යය හඳුනා ගැනීම සඳහායි මාටින් යැක් සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පය සංස්කරණය කෙළෙ. මෙරට ඇතැමුන් ඉවක් බවක් නැතිව ඒ සංකල්පය යොදා ගන්නේ සිංහල බෞද්ධ තබා ථෙරවාද බෞද්ධ සභ්‍යත්වයක් නැති බව සභ්‍යත්ව සංකල්පයේ නිර්මාතෘන් කියද්දී. ආසියාතික රටවල ජාතිකවාද ඇති වෙලා. එපමණක් නො වෙයි එංගලන්තයේ හා ට්‍රම්ප්ගේ රටේත් ජාතිකවාද තියෙනවා. ඒ ඒ ජාතිකවාද අතර වෙනස්කම් තියෙනවා.

ඉන්දියාවේ ජාතිකත්වය හා චීනයේ ජාතිකත්වය අතර තරගයක් තියෙනවා. එය ආසියාවේ සමහර රටවල දී ද දකින්න පුළුවන්. මේ තරගය ආසියාවටවත් ලෝකයටවත් හොඳ එකක් නො වෙයි. ජාතිකත්ව අතර තිබිය යුත්තේ සුහදත්වයක්. ඒ සුහදත්වය ඇති කර ගන්නේ කෙසේ ද?  ඒ සඳහා ඊනියා දේශපාලන විිද්‍යාඥයන්ගෙන් සහාය ලබා ගන්න බැහැ. ඔවුන් දන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය, ෆැසිස්ට්වාදී ජාතිකවාද ආදිය ගැන කියවන්න විතරයි. විශේෂයෙන් ම කලක් ආයුධ ගෙන සිටි ඇතැම් ඊනියා දේශපාලන විද්‍යාඥයන්ගෙන් සහායක් ගන්න බැහැ. ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයකට තමන්ගේ අතීතයෙන් වෙන් වීමට මෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවනවා. එ හරියට උපැවිදි වූ සමහරකු වුවමනාවට වඩා තමන්ගේ ගිහි බව පෙන්වීමට තැත් කරන්නාක් මෙන්.

ඉන්දියාව හා චීනය අතර සුහදත්වය ඇති කරගැනීමේ දී කලාපයේ කුඩා රටවල්වලට වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න පුළුවන්. කුඩා රටවල් නොයෙකුත් අංශවලින් කුඩා වෙන්න පුළුවන්. එහෙත් ඒ රටවල ස්වෛරීභාවය වැදගත්. කිසිවකුවත් ඒ රටවල් තම ඉත්තන් කර ගැනීමට නොසිතිය යුතුයි. කලාපීය සුහදත්වය ඇති කර ගැනීමට අප සියලු දෙනා එක්විය යුතුයි.