History

Friday, 28 August 2020

තුනෙන් දෙක, මියන්මාර පළාත් සභා හා සිංහල වෙදකම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



තුනෙන් දෙක, මියන්මාරයේ පළාත් සභා  හා සිංහල වෙදකම


පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ල එවකට රටේ ජාතිකත්වය තහවුරු ව තිබූ ප්‍රමාණයත් ඡන්ද ක්‍රමයත් සලකල මා කිව්ව සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් ජනාධිපති වෙන්න පුළුවන් කියල. ඒත් වෙනත් ජාතිකවාදීන් එය විශ්වාස කළා කියා මා හිතන්නේ නැහැ. නමුත් එය එසේ වුණා. මහාමැතිවරණයේ දී මගේ ගණන් බැලීම වුණෙ තුනෙන් දෙකක බලයක් ගැනීම අසීරු බව. තුනෙන් දෙකක් ලැබීමට පුළුවන් කියා කිසිවකු හිතන්න නැතිව ඇති. රැස්වීම්වල කී කතා ගණන් ගන්න එපා.  එකසිය දහතුනට වඩා ලැබෙන බව නම් කවුරුත් වගේ දැන හිටියා.

මට ප්‍රශ්නයක් වෙලා තිබුණෙ එකසිය විස්සකට වැඩිය ලැබී එකසිය පනහ නොලැබුණොත් තුනෙන් දෙක ලබා ගැනීමට ඩීල් හෙවත් ගණුදෙනු දේශපාලනය ඉදිරියට ඒමට තිබූ ඉඩකඩ. එවිට ජාතිවාදී පක්‍ෂවලට පුළුවන්කම ලැබෙනව තම සිංහල විරෝධී කොන්දේසි ඉදිරිපත් කරල ආණ්ඩු  පිහිටුවන්න. බලය හා බලය මිස ජාතියක් ගැන නොතකන දේශපාලනඥයන් පොදුජන පෙරමුණේ ඉන්නවා. ඒකෙයි කියල අපි ජ වි පෙ, එ ජා ප, සමගි බලවේගය වැනි විජාතික පක්‍ෂයකට ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒ බලය ගැන පමණක් හිතන දේශපාලනඥයන් අර ජාතිවාදී පක්‍ෂ සමග එකතු වෙලා කෙරුම්කාරයන් වී ආණ්ඩු පිහිටුවන්න ඉඩ තිබුණා. 

කෙසේ නමුත් තුනෙන් දෙකක් ලැබුණා. ඒ මා කලින් ලිපිවල සඳහන් කර ඇති පරිදි එ ජා ප හිතවතුන් ඡන්දපොළට ගියෙ නැති නිසා. ඇතැම් එ ජා ප (සමගි ද ඇතුළුව) බලවතුන් උත්සාහ ගන්නවා තම හිතවතුන් එසේ ගියා නම් තමන්ට දිනන්න හැකිකම තිබුණා කියා ඒත්තු ගන්නන්න. එය තවත් විහිළුවක් බව පමණක් කියනවා. එහෙත් ආණ්ඩුවට තුනෙන් දෙක නම් ලැබුණෙ එ ජා ප හිතවතුන් නිසා. කොහොම තුනෙන් දෙක ලැබුණත් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන කරන්න හිතනවා. පසුව නව ව්‍යවස්ථාවක් ගෙනේවි ද කියන්න බැහැ. 

දහනවය අහෝසි කරන්න ජනතා වරමක් ලැබී ඇති බව ඇතැමුන් කියනවා. එහෙත් ඔවුන් කියන්නේ නැහැ දහතුන අහෝසි කරන්න  ජනවරමක් ලැබුණු බව. ජනතාව දහනවය අහෝසි කරන්නත් දහතුන අහෝසි නොකරන්නත් ජනවරමක් දීල තියෙනවා ද? මා නම් දන්නෙ නැහැ. ඔය පළාත් සභා ඡන්දය තියන්න ඉක්මන් වෙන්න ඕන නැහැ. මියන්මාරයේත් පළාත් සභා තියෙනවා. අප නෙපිටෝ අගනුවරට ගිය වෙලාවෙ පළාත් සභා බලන්න ගියා.

උන් හිටියා පන්සලක. සුදු අලි හතර දෙනෙක්. සුදු කිව්වට සුදු නැහැ. රතට හුරු දුඹුරු පාටක්. අපි නම් කිව්වෙ ඇලි ඇතුන් කියල. සුදු ඇතා කියන එක වයිට් එලිෆන්ට් කියන එකේ පරිවර්තනයක් වෙන්න ඇති. සුද්දොත් සුදු නැති එකේ අලි ඇතුන් සුදු නැහැ. සුද්දන්ට තියෙන්නෙ රතට හුරු හමක්.  රුවන්වැලිසෑය වගේ සුදු සුද්දන් දැකල තියෙනවා ද? ඒ කොහොම වුණත් සුද්දන් සුදු ඇතා, වයිට් එලිෆන්ට්, කියන්නෙ යම් අර්ථයකින් ද පළාත් සභාවලටත් ඒ (අ)ගුණය තියෙනවා.

පොදුජන පෙරමුණේ යම් පිරිසක් බලන් ඇති පළාත්සභා මන්ත්‍රීල වෙන්න. ඒ අය වෙනුවෙන් රටක් පාවා දෙන්න බැහැ. අප දැන්වත් පුද්ගලයාට වඩා රට ඉදිරියට ගන්න ඕන. විශේෂයෙන් ම ව්‍යවස්ථා සංශෝධන නව ව්‍යවස්ථා සම්පාදනය කිසි විටෙකත් පෞද්ගලික අරමුණු සඳහා නොවිය යුතුයි. පෞද්ගලික අරමුණු සඳහා ජෙනිංග්ස්ගෙ කාලෙ ඉඳන් ව්‍යවස්ථා හැදුව සංශෝධනය කළා. දැන් එය නවත්වන්න ඕන. පළාත් සභා ඡන්දය අවශ්‍ය නැහැ. පළාත් සභා තිබූණයි කියල වෙච්ච වැඩකුත් නැහැ. විග්නේෂ්වරන් මහ ඇමති හැටියට උතුරු පළාතට මොනව ද කරල තියෙන්නෙ. 

විග්නේෂ්වරන්ට තඩි බාන්න දැන් තරගයක් තියෙනවා. එයාගෙ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න ඕන නැහැ. ඔය වගේ ප්‍රකාශවලට පුළුවන් තරම් ප්‍රසිද්ධියක් දෙන්න ඕන. ඒවයින්  සිංහල ජාතිකත්වය තව තවත් ශක්තිමත් වෙනවා. අපි ප්‍රකාශන අයිතියට තව තවත් තැනක් දෙමු. අවශ්‍ය නම් සකර්බර්ග් පඬියන්ගෙ සිංහල විරෝධී  ප්‍රකාශවලටත් ප්‍රචාරයක් දෙමු. 

අද විග්නේෂ්වරන්ටවත් ගජේන්ද්‍ර පොන්නම්බලම්ටවත් ඔය වගේ ප්‍රකාශවලින් දෙමළ කතා කරන ජනයා රවටන්න බැහැ. අර ලෝක දෙමළ සංසදය ඔවුන්ට සහාය දක්වන බව කියලා. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒත් අපි ඉංගිරිසින් මොකක් ද කරන්නෙ කියන එක ගැන විමසිල්ලෙන් ඉන්න ඕන. දෙමළ කතා කරන ජනයා අතර දේශපාලනය රාජකීය ශාන්ත තෝමස් විදුහල්වල කොළඹ තුන පහ හත වසන ආදි ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ යුගය අවසන්. පොන්නම්බලම් රාමනාදන්ගෙ සිට ගජේන්ද්‍ර පොන්නම්බලම් දක්වා (පොන්නම්බලම් සිට පොන්නම්බලම් දක්වා) මේ කාලය අවුරුදු එකසිය විසිපහකට වැඩියි. එය ඕනවටත් වැඩියි. අප කළ යුත්තේ දෙමළ කතා කරන ජනයා අතර ජාතික දේශපාලනය වර්ධනය කිරීමයි. 

දැන් වෙනත් කතාවක්. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මැතක දී අනුශාසනා කරල තිබුණ කංස වවන්න ඕන කියල. ඒ කාගෙවත් ඊනියා ආතලයක් සඳහා නො වෙයි. සිංහල වෙදකම සඳහා. කංසා වැවීම තහනම් කරනු ලැබුවෙ ඉංගිරිසින් විසින්. ඒ සිංහල වෙදකම නැති කිරීමේ අරමුණිනුත්. සිංහල වෙදකම නගා හිටුවන්න සිසිර ජයකොඩිට අවස්ථාවක් ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා. සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදය නො වෙයි. ආයුර්වේදයේ නැති අංග සිංහල වෙදකමේ තියෙනවා. 

සිසිර ජයකොඩිට ඉක්මණින් ම කළ හැකි තවත් කාර්යයක් වෙන්නෙ  සිංහල වෙදමහතුන් සඳහා වෙන ම වෛද්‍ය සභාවක් පිහිටුවීම. අද රටේ වෛද්‍ය සභා (Medical Council) දෙකක් තියෙනවා. එකක් බටහිර වෙදකම වෙනුවෙන්. අනෙක ආයුර්වේදය වෙනුවෙන්. සිංහල වෙදකම ආයුර්වේද වෛද්‍ය සභාවට යට කරලා. අපට බටහිරට වගේ ම ඉන්දියාවටත් ගැති කමක් තියෙනවා. එය නැති කරන්න ඕන. ඉන්දියාවෙන් ස්වාධීන වූ සංස්කෘතියක් චින්තනයක් අපට තියෙනවා. 

අපි කියනවා අපේ භාෂාවේ මාතෘ භාෂා පාලි හා සංස්කෘත කියා. එහෙත් ඒ ගැන නැවත සිතන්න ඕන. පාලි එකල වංගයේ හා කාලිංගයේ ද භාෂාව වෙන්න ඇති කියා මට හිතෙනවා. වංගයේ පාලි කතා කළ බවට සාධක තියෙනවා. බෙංගාලි භාෂාවෙත් පාලි තියෙනවා. මියන්මාරයේ දකුණු ආසියාතික  රටවල තානාපතිවරුන්ගෙන් මට මේ සම්බන්ධ යම් යම් දේ දැනගන්න ලැබෙනවා.  

අපට නැති පොදු බවක් ඉන්දියාවට බංග්ලාදේශයට හා නේපාලයට තියෙනවා. අප තරමක් වෙනස් වූයේ කෙසේ ද? දැන් කියන්න එපා බුද්ධාගම නිසා කියල. ඒ රටවලට නොහැකි වුණාට අප බුදුදහම රැක ගත්තේ කෙසේ ද? අපට භාරතයෙන්  තිබුණු වෙනස්කම කුමක් ද?  සිංහල භාෂාවේ භාරතයේ භාෂාවල නැති ලක්‍ෂණ තියෙනවා. භාරතයෙන් අනන්‍ය වූ සංස්කෘතියක් අප ගොඩ නගා තියෙනවා. සිංහල වෙදකමත් එහි අංගයක්.