History

Monday, 3 August 2020

පාසල ද විශ්වවිිද්‍යාලය ද

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




පාසල ද විශ්වවිිද්‍යාලය ද

ගැමුණු රජුගේ හා විජයබාහු රජුගේ මට්ටමේ නොවුණත් සීතාවක රාජසිංහ හා විමලධර්මසූරිය යන රජවරු මගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වෙනවා. සීගිරි කාශ්‍යප රජු මෙන් ම සීතාවක රාජසිංහ රජුත් පිතෘ ඝාතකයන් නො වෙයි. රාජසිංහ රජු කල මෙරට සිටි රිබෙයිරෝ තම කෘතියෙහි (මෙය කැලිස්ටස් නානායක්කාර විසින් සිංහලට පරිවර්තනය කෙරී තියෙනවා) රාජසිංහ රජුගේ රජවීම ගැන සඳහන් කරන්නේ මෙහෙමයි. "ස්වල්ප කාලයකට පසු මායාදුන්නේගේ ඇවෑමෙන් ඔහුගේ පුතා වූ රාජූ රජවිය.  ….. ..ඇත්ත වශයෙන්ම පුතා ඔහුගේ පියාට වඩා අන්ත දුෂ්ටයෙක් විය."  තම උග්‍රතම ප්‍රතිවාදියා වූ රාජසිංහ රජු පීතෘ ඝාතකයකු වී නම් රිබෙයිරෝ ඒ බව සඳහන් නොකර ඉන්නේ නැහැ. 


රාජසිංහ හා විමලධර්මසූරිය රජවරු යුද්ධ දක්‍ෂයන්. ඔවුන් එකිනෙකාට විරුද්ධ ව සටන් කළා. ඒ දෙදෙනා සමගි වුණා නම් මෙරට ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා.  ඒත් මිනිසුන් එහෙම සමගි වෙන්නෙ නැහැ. රාජසිංහ රජු මෙන් ම විමලධර්මසූරිය රජුත් පෘතුගීසීන්ගෙන් යුද්ධ උපක්‍රම මෙන් ම ආයුධ තැනීම ද ඉගෙන ගත්තා. එහෙම නැතිව පෘතුගීසීන්ට විරුද්ධ ව සටන් කරන්න බැහැ. 

රාජසිංහ රජු කල අප පෘතුගීසීන්ට වඩා හොඳ කාල තුවක්කු හැදුවා. විමලධර්මසූරිය රජු පෘතුගීසි උපක්‍රම ඔවුන් සමග ම සිටිමින් හොඳින් දැන ගත්තා. මා කියන්නේ නැහැ ඔහු පෘතුගීසීන් ළඟට ගියේ ඔවුන්ගේ යුද්ධ උපක්‍රම ඉගෙන ගැනීමේ චේතනාවෙන් කියා. එහෙත් එය එසේ සිද්ධ වුණා. මෙයින් කියන්නේ ඔවුන් අපේ පැරණි ආයුධ හා උපක්‍රම යොදා නොගත්තා කියන එක නො වෙයි. අවශ්‍ය පරිදි ඔවුන් ක්‍රියා කළා. ඔවුන්ගේ වාසියට එකක් තිබුණා. එකල පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් හිටි බවට තොරතුරක් නැහැ. ඔවුන් හිටිය නම් අහනව පෘතුගීසීන්ට විරුද්ධ නම් පෘතුගීසීන්ගෙ කාල තුවක්කු හදන්නෙ මොක ද කියල. 

අද අප සටන් කරන්නෙ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යයට විරුද්ධ ව. සමහරුන් අප සියල්ලන් ජාතික චින්තකයන් ලෙස හඳුන්නවා. එය නිවැරදි නැහැ. ඒ කොහොම වෙතත් අසූවේ දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයෙ හිටපු මැර කණ්ඩායම් වූ ජ වි පෙ හා සුවාදීනයන්ට අනුව ජාතික චින්තනයෙන් කියැවුණෙ බරකරත්තයෙන් අනුරාධපුරයට යැම. අදත් ඔවුන් හිතන්නෙ එහෙම තමයි. ඒත් වෙනසක් වෙලා. ඔවුන් එකතු වෙලා ඊනියා වම හැටියට. අර රොහාන් පෙරේරා හා දිප්ති ගුණරත්න කොහෙ ද ඉන්නෙ. මං නිකමට අහන්නෙ. ඔවුන් සියල්ලන් ම කවුරු කොහේ හිටියත් රටට සත පහක බලපෑමක් වෙන්නෙ නැහැ. 

අප බටහිර ක්‍රිස්තියානි චින්තනයෙ ඉහළ ම දැනුම හැකි පමණින් ලබා ගන්නවා. ඒ හැකි අවස්ථාවල අපේ චින්තනයට අවශෝෂණය කර ගෙන. රාජසිංහ හා විමලධර්මසූරිය රජවරු අපට ඒ අරුතෙනුත් වැදගත් වෙනවා. අපි කාල තුවක්කු හදනවා. බටහිරයන්ගෙ උපක්‍රම යොදා ගන්නවා. ඒත් අපට ඕන හැටියට. අපි ක්වොන්ටම් භෞතිකය හදාරනවා. අපට ආවේණික අයුරින් අර්ථකථනය කරනවා. ඒත් ඒ සියල්ල පට්ටපල් බොරු බවත් අප දන්නවා. ඒ අවිජ්ජා පච්චයා සංඛාරා නිසා. පොළොවට වස්තු වැටීම කියන්නෙ ගුරුත්වාකර්ෂණය නොවන බව අපි දන්නවා. ඊනියා හේතුව ඵලය වෙන්නෙ කොහොම ද? වස්තු වැටීමට තව තවත් හේතු සංස්කරණය කරන්න පුළුවන්. වස්තු වැටීම කියන එකත් බොරු. ඒකත් සංස්කරණයක් පමණයි. අවිජ්ජා පච්චයා සංඛාරා. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධිවලට දෙන වියුක්ත හේතු පට්ටපල් බොරු. 

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යයට විරුද්ධ ව සටන් කිරීමට ඒ නූතනත්ව සංකල්ප ප්‍රවාද (කතන්දර) යොදා ගැනීම පංචානන්තරීය පාපකර්මයක් නො වෙයි. සියළු දැනුම් බොරු වූ විට එ කොහොමටවත් ප්‍රශ්නයක් වන්නේ නැහැ. පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට මෙහි පරස්පරයක් තියෙනව බවක් පෙනේවි. ඒ ඔවුන්ගෙ දෘෂ්ටියේ ප්‍රශ්නයක්. සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා කියන්නෙ බරකරත්තෙන් අනුරාධපුරයට යෑම නො වෙයි. අපි මැතිවරණයෙන් පස්සෙ මේවා ගැන තව ටිකක් කතා කරමු. 

මේ පූර්විකාව සකර්බර්ග් පඬියන් ගැනවත් සුවාදීන හා ජනතා විරෝධී කණ්ඩායම් ගැනවත් කියන්න නො වෙයි. මෙරට ඊනියා උගතුන් ගැන කතාවක් ඇරඹීමට. අපේ විශ්වවිද්‍යාලවලට මොක ද වෙලා තියෙන්නෙ කියෙන එකත් පාසල්වලට අපි මෙච්චර ලැදි කියන එකත් කතා බහට ලක් කරන්න ඕන. ලලිත් ඇතුළත්මුදලි ජී එල් පිරිස්ගෙ ආරාධනයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇවිත් හොඳ කතාවක් කිව්ව. ඒ සමස්ත කතාවෙ වැඩකට ඇති දෙයක් කියැවුණෙ නැහැ. සුපුරුදු පරිදි ඇතුළත්මුදලි ඔක්ස්ෆර්ඩ් ක්‍රමයට තම ඉංගිරිසි බස පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කළා. මට මතක අර හොඳ කතාව පමණයි. 

ඔහු කීවේ මෙවැන්නක්. එංගලන්තයෙ දි කාගෙන් (ඔහු ඇසුරු කළ අය) හරි ඇහුවොත් කොහෙද ඉගෙන ගත්තෙ කියල කියන්නෙ තමන් ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලෙ නම. ඒත් ලංකාවෙ දි ඇහුවොත් කියන්නෙ තමන් ඉගෙන ගත්ත පාසලේ නම. ඇතුළත්මුදලි ඒකට හේතුවක් දෙන්න ගියේ නැහැ. ඒත් ඒක හොඳ නිරීක්‍ෂණයක්. ඒකට හේතුව මොකක් ද? ඒ කියන්නෙ නිව්ටන්  කළා වගේ හේතුවක් නිර්මාණය කරමු ද? අපි නිව්ටන්ගෙ ක්‍රමය යොදා ගන්නවා. ඒක අපට ප්‍රශ්නයක් නොවෙයි. සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩ නගන්නත් එය ප්‍රශ්නයක් නො වෙයි. 

මේකට හේතු ගණනාවක් හදන්න පුළුවන්. කලකට ඉහත ලංකාවෙ තිබුණෙ එක විශ්වවිද්‍යාලයයි. ඒ ලංකා විශ්වවිද්‍යාලය. යසට තිබුණු විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන්වලට ඊනියා විශ්වවිද්‍යාල තත්වයක් දුන්නෙ 1958 අංක 45 දරන පනතෙන්. දැන් අවුරුදු හැටකට වැඩියි. හැටේ දශකයෙ අග වුණත් විද්‍යොදයට හරි විද්‍යාලංකාරෙට හරි යනව කිව්ව ම පිරිවෙනට ද යන්නෙ කියල මදි පුංචිකම් කළා. ඒ කාලෙත් ඊනියා උගතුන් විශ්වවිද්‍යාලෙ හැටියට සැලකුවෙ ලංකා විශ්වවිද්‍යාලෙ. ඒත් හැටේ දශකයෙ අග ප්‍රශ්නයක් ඇති වුණා. 

1967 ඔක්තෝම්බරයට කලින් ලංකා විශ්වවිද්‍යාලෙ මණ්ඩප දෙකක් තිබුණ. එකක් කොළඹ අනෙක පේරාදෙණියෙ. මා ඒ මණ්ඩප දෙකේ ම ඉගෙන ගෙන තියෙනවා.1966 දි පිහිටුවන ලද උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික මණ්ඩලය (NCHE - එහි සභාපති කොල්වින් ආර් ද සිල්වාගෙ සහෝදරයා වොල්වින් ද සිල්වා) විවිධ  දේ කළා. ඔවුන් මහාචාර්යවරුන්ගෙන් ඇහුව ඒ අයට ආචාර්ය උපාධි තියෙනවා ද කියල. ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකරට තිබුණෙ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු විද්‍යාපති උපාධියක්. ඒ කාලෙ ආචාර්ය උපාධි ගන්න ගණිත අධ්‍යනංශයෙ බොහෝ දෙනා උත්සාහ කෙළෙ නැහැ. කොහොමටත් ඔවුන්ට යමක් තේරෙන ගතියක් තිබුණ. ඩග්ලස් වොල්වින්ගෙන් ඇහුව මගේ සුදුසුකම් ගැන අහන්න ඔබට තියෙන අයිතිය මොකක් ද කියල. එ ප්‍රශ්නය අහල ඔහු අස්වෙලා ගෙදර ගියා. 1967 තමයි අපි උපාධි ගත්තෙ. අපි ඔහුගෙ අවසාන උපාධිධාරියො. 

ආණ්ඩුව වොල්වින්ලත් එක්ක තව තීරණයක් අරන් තිබුණ කොළඹ මණ්ඩපය වෙන ම විශ්වවිද්‍යාලයක් කරන්න. 1967 ඔක්තෝම්බරයෙ ඒක කෙරුණා. අපි තමයි මුල් ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලත් අවසන් කණ්ඩායම. අපි උපාධි ලබා ගත්ත විශ්වවිද්‍යාලය දැන් නැහැ. කොළඹ විශ්වවිද්‍යාලය නමින් තමයි කොළඹ මණ්ඩපය විශ්වවිිද්‍යාලයක් කෙළෙ. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය හැටියට නම් කෙරුණා. ඒකට වෛද්‍ය පීඨයෙ ශිෂ්‍යයො විරුද්ධ වුණා. මා එවකට පේරාදෙණියෙ සහාකාර කථිකාචාර්යවරයෙක්. මගේ මතකය නිවැරදි නම් සමසමාජ පක්‍ෂයෙ එම් ඒ ජස්ටින් සහෝදරයා කොළඹ ශිෂ්‍ය සංගමයෙ සභාපති. ඒ කාලෙ සමසමාජ පක්‍ෂය යටතෙ ලංකා ශිෂ්‍ය සම්මේලනය කියල සංවිධානයක් තිබුණා. ශිෂ්‍යයකු නොවූ ආනන්ද පෙරේරා තමයි සභාපති. සහකාර කථිකාචාර්යවරයකු වුණාට පස්සෙත් මා ඒකෙ කටයුතු කළා. අපි නොදන්න ශිෂ්‍ය සංගම්. 

වෛද්‍ය පිඨයෙ ශිෂ්‍යයනට තිබුණෙ පිළිගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. ඔවුන්ගෙ පීඨය ආසියාවෙ පිහිටුවපු දෙවැනි යුරෝපීය වෛද්‍ය විද්‍යාලය. ඒක පීඨයක් වුණෙ 1942 දි. නමුත් වෛද්‍ය විද්‍යාලයෙ (පාසලෙ) ඉතිහාසය 1870 දක්වා දිවෙනවා. අනෙක එංගලන්තෙ වෛද්‍ය සභාව පිළිගත්තෙ ලංකා විශ්වවිද්‍යාලෙ වෛද්‍ය උපාධිය. වෛද්‍ය ශිෂ්‍යයො කියා හිටියා විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය කියා නම් කිරීමෙන් තමන්ගෙ උපාධියට එංගලන්තෙ තියෙන පිළිගැනීම නැති වෙනවා කියල. මගේ මතකය අනුව ශිෂ්‍යයො ජස්ටින් සහෝදරයාගෙ නායකත්වයෙන් පාර්ලිමෙන්තුව වැටලුවා. ජස්ටින් ගිහින් කතානායක පුටුවෙ වාඩිවෙලා රැස්වීමක් තිබ්බා. සෙංකෝලය තියෙන්න නැතිව ඇති. කොළඹ විශ්වවිිද්‍යාලෙ නම ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ කියා වෙනස් කෙරුණා. වෛද්‍ය ශිෂ්‍යයන්ගෙ ප්‍රශ්නය විසඳුනා. ජස්ටින් පස්සෙ නීතිඥයකු වුණා. වාසුදේව පස්සෙ දවසක සෙංකෝලය උස්සන් ගියා.


ජස්ටින්ට පස්සෙ තව තව දේවල් සි්ද්ධවුණා. තනි විශ්වවිද්‍යාලය, මණ්ඩප, නැවත වෙන වෙන ම විශ්වවිද්‍යාල, ප්‍රතිපාදන කොමිසම. මේ හැම තැන ම ප්‍රශ්නය වුණෙ ඊනියා පිළිගැනීම. ඒත් පිළිගන්න තරම් දෙයක් විශ්වවිද්‍යාලවලින් කෙරිල නැහැ. අලුත් දැනුමක් සංස්කරණය වෙලා නැහැ. අපට ඇත්තේ ව්‍යාජ පිළිගැනීම්. බටහිර රටවල අපේ උපාධි පිළිගන්නවා. ඒ මොකද කියල කවුරුවත් හරියට ම දන්නෙ නැහැ. අපේ උපාධිධාරීන්ට යම් දැනුමක් තියෙන බව නම් ඇත්ත. ඒත් පිළිගන්න තරම් අලුත් දෙයක් කෙරිල නැහැ. අපි අර ලෝක මාන්නෙට පිළිගත්ත කිවුවට අපි පාසල තරම්  විශ්වවිද්‍යාලය පිළිගන්නෙ නැහැ. මා ඉගෙන ගත්තෙ අහවල් විශ්වවිද්‍යාලෙ කියනවාට වඩා අහවල් පාසලේ කියන්න කැමතියි. අපි දන්නව විශ්වවිද්‍යාල කියන්නෙ දහහතර පහළොව දහසය දහහත දහඅට වසර මිස වෙනත් දෙයක් නොවෙයි කියලා. පාසලට සමාජයෙ තියෙන තත්වය (මොකක් වුවත්) විශ්වවිද්‍යාලයට නැහැ.