History

Monday, 31 August 2020

විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විග්නේෂ්වරන් හා දිල්ලි නියෝජිතයා



මේ ලිපි විග්නේෂ්වරන් පිළිබඳ ලිපි බවට පත් කිරීමට මට වුවමනාවක් නැහැ. ඒත් ඔහු ඊයේ දෙරණ මොකද වුණෙ වැඩ සටහනෙහි ඔහුගේ මනස වැඩ කරන හැටි රටට ම පෙන්නුවා. විග්නේෂ්වරන් හා අනෙක් දෙමළ ජාතිවාදී වෙල්ලාල නායකයන් අතර විශාල වෙනසක් නැහැ. දේශපාලනඥයන් මුසා දොඩවනවා. ඒක එහෙම තමයි. ඊනියා ඉතිහාසඥයන් ද බොහෝ විට එහෙමයි. අනෙක් ශාස්ත්‍රඥයන් කියන අය එසේ නො වේ යැයි මා කියන්නේ නැහැ. මා ශාස්ත්‍රඥයකු නොවුණත් මා ද ඊනියා කරුණු (සාධක) තර්ක ඉදිරිපත් කරන්නේ මගේ මතය තහවුරු කිරීමට. අප මතවලට එළඹෙන්නේ තර්ක කිරීමෙන් නොවෙයි. ඒත් තර්ක කරන්නේ මතය තහවුරු කිරීමට. කාලෝගේ තේරුමෙන් නොව කාළාම සූත්‍රයේ තර්කානුකූල වූ පමණින් න්‍යායාත්මක වූ පමණින් පිළිගන්න එපා කියන එක ඊනියා විද්‍යාත්මක කතාවක් නොවෙයි. 

විග්නේෂ්වරන් ඊයේ කිවුවා හමුදාව එක දිනයක දෙමළ කතා කරන ජනයා ලක්‍ෂයක් මැරුවා කියා. බෝම්බ දාල ද වෙඩි තියල ද පිහියෙන් ඇනල ද කියල විස්තරයක් කිවුවෙ නැහැ. ඔය කතාව තාම බටහිරයන්ට අහු වුණෙ නැත්තෙ මොකද කියල මා කල්පනා කෙළෙ. ඒ දවස්වල කතා කරපු දරුස්මාන් වාර්තාවට ඒක ගිහිල්ල තිබුණෙ නැහැ. අර මර්වින් ද සිල්වා විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ දකුණු අප්‍රිකාවේ  නැටෝල් ප්‍රදේශයට ලන්දේසීන් ගෙන ගිය දෙමළ කතා කරන ජනයාගෙන් පැවත එන නවී පිල්ලෙවත් ඔය ලක්‍ෂයෙ කතාව කියල නැහැ කියන එකයි මා හිතන්නෙ. දෙමළ වෙල්ලාල ජාතිවාදීන් ඈත ඉතිහාසය වගේ ම මෑත ඉතිහාසයත් නවීකරණය කරනවා. අපි නූතනත්වයෙ නෙ. 

නූතනත්වයෙ වුණත් මොකේ වුණත් එක්සත් රාජ්‍යවල ඉන්න සිංහල සම්භවයක් ඇති ඡන්දදායකයන් ඊළඟ ජනාධිපතිවරණයේ දී කමලා හැරිස් ඉදිරිපත් වුණොත් පරෙස්සම් වෙන්න ඕන. ඇය තවත් නවී පිල්ලෙ කෙනෙක්. අර ද්විත්ව රටවැසි කතාව මෙතන දි ඉස්සරහට එනවා. එක්සත් රාජ්‍යවල ඉන්න සිංහල සම්භවයක් ඇති රටවැසියෙක් ද්විත්ව වුණත් නැති වුණත්  ඇලීම් ගැටුමකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඡන්දය දීමේ දී සලකා බැලිය යුත්තේ මොන රටේ අනාගතය ද?  

විග්නේෂ්වරන් කියල මෙරට දෙමළ සිංහලට ඉස්සෙල්ල තිබුණ කියන කතාවට සාක්‍ෂි තියෙනව කියල. යාපන විශ්වවිද්‍යාලෙ හිටපු ඉතිහාස මහාචාර්යවරයකු වන පද්මනාදන් ළඟ තුන්දාහක් සාක්‍ෂි තියෙනව කියල විග්නේෂ්වරන් කිව්ව. මේ සාක්‍ෂි මොනව ද කියල කිව්වෙ නැහැ. මා කියන්නෙ සෙල්ලිපි ද පොතපතේ තියෙන ඒව ද තෝම්බුවල තියෙන ඒව ද වෙන මොකක් ද කියල විස්තරයක් කිව්ව නම් හොඳයි. පද්මනාදන් මෑත ඉතිහාසයෙ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති කෙනකු වෙලත් හිටියා. කොහොමටත් ඉතිහාසත් හුඟක් තියෙන නිසා පද්මනාදන්ගෙ ඉතිහාසය වැඩ කරන ඉතිහාසයක් ද කියල දැන ගන්නත් එක්ක ඒ සාක්‍ෂි තුන්දාහ පෙළ ගැස්සුව නම් හොඳයි. 

මානෑවේ විමලරතන හාමුදුරුවන් විජයසිංහ ඒමට පෙර සිටි යක්‍ෂයන් ගැන පොතපත ලියල තියෙනවා. උන්වහන්සේත් සෙල්ලිපි කිහිපයක් ගැන සඳහන්  කරනවා. එහි භාෂාව දෙමළට හුරු බවක් නම් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ. මා උන්වහන්සේගෙන් සෘජුව ම ප්‍රශ්න කළ විට උන්වහන්සේ වදාළේ ඒ සෙල්ලිපිවල භාෂාව කිසිසේත් ම දෙමළට සම්බන්ධයක්  නැති බවයි. විමලරතන හාමුදුරුවන් ප්‍රකාශ කරන සියල්ල අප නොපිළිගත්තත් මේ සෙල්ලිපිවල භාෂාව ගැන කිහිප දෙනකුට හදාරන්න පුළුවන්. ඒ්ත් අපේ සමහරුන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. විජයසිංහට පෙර කිසිම ඉතිහාසයක් ඔවුන් පිළිගන්නෙ නැහැ. ඔවුන් විග්නේෂ්වරන්ලාට පාළු ගෙවල්වල වළං බිඳින්න ඉඩ දීල බලා ඉන්නවා.  

විග්නේෂ්වරන්ලා කරන්නේ ඉතිහාසයක් සංස්කරණය කිරීමක්. සමහර විට අර ඉන්දියාවෙන් එනවය කියන විශේෂ නියෝජිතයා වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ විශේෂ නියෝජිතයා දහතුන ශක්තිමත් කරන්න එනවා කියනවා. දහතුනේ ශක්තිමත් කරන්න දෙයක් නැහැ. එය අහෝසි කරන්නයි තියෙන්නෙ. ඉන්දීය නියෝජිතයා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්නෙ අපේ ම වැරදි නිසා. පළමුවෙන් ම ජේ ආර් ජයවර්ධන නොවෙයි. එහෙනම් කවුද? 

ඉන්දියාවෙ විදේශ අමාත්‍යාංශයෙ කී දෙනකු දන්නවා ද විජයසිංහ ගැන. අද බටහිර බෙංගාලය හා ඔඩිස්සා නමින් හැඳින්වෙන වංගය හා කාලිංගය සමග අපට තියෙන සම්බන්ධය ඉන්දියාවෙ කී දෙනකු දන්නවා ද? සමහරවිට බංග්ලාදේශයේ අය ඉන්දියාවෙ අයට වඩා ඒ කතා දන්නවා ඇති. ඉස්සර වංගයට බංග්ලාදේශයත් අයිතියි. වංගයේ සිංහපුරවල් කිහිපයක් තියෙනවා. අප ඒ ගැන දන්නවා ද? අප දැන් දන්නෙ එක ම එක සිංහපුරයයි. ඒ සිංගප්පූරුව. අප අපේ නෑකම් ගැන ඉන්දියාව දැනුවත් කර නැහැ. 

ප්‍රධාන වරදකරුවා ජේ ආර් ජයවර්ධන. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය. ඔහු ඉන්දියාවට විරුද්ධ ව බටහිර ගැති වීමට ගොස් අන්තිමේ දී බටහිරත් ඉන්දියාවත් දෙක ම නැති කර ගත්තා. ගාමිණී දිසානායක අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා. ඉන්දියාවට නැති ප්‍රශ්නයකට මැදිහත් වෙන්න දොර ඇරියා. ඉන්දියාව අප මත ඉන්දු ලංකා ගිවිසුම, දහතුන හා පළාත් සභා පැටෙව්වා. හැමෝ ම නැති ප්‍රශ්නයකට මැදිහත් වුණා. බටහිර රටවල් ඊනියා යුද්ධාපරාධ චෝදනා ගෙනාවා. ජෙනීවා ගිය දයාන් ජයතිලක වැන්නන් අප තව තවත් උගුලේ හසු කෙරුවා. 

අප නන්දිකඩාල් වෙනුවෙන් වන්දියක් පොරොන්දු වී තියෙනවා. ඒ ඉන්දියාවට. අප 13+ පොරොන්දු වී තියෙනවා. අපට දැන් ඇත්තේ ඉන් ගොඩ එන මගක් හොයා ගැනීමයි. අර උගත් පාඩම් හා සංහිඳියා කමිටුව පත් කෙළේ ඒ වන්දිය ගෙවීමටයි. එහෙත් ජාතිකත්වයට පුළුවන් වුණා ඒ උත්සාහය පරාජය කිරීමට. අද ඉන්දියාව විශේෂ නියෝජිතයකු එවන්නේ වන්දිය ඉල්ලන්න. ජාතිකත්වය ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කෙරුවේ ඒ ඒ අය පොරොන්දු වූ වන්දි ගෙවීමට නො වෙයි. 

2015 බලයට පැමිණි රනිල්ටවත් වන්දිය ගෙවීමට ජාතිකත්වය ඉඩ දුන්නේ නැහැ. මහින්ද රනිල් නොගෙවූ වන්දියක්, නැතහොත් ඔවුන්ට ගෙවන්න බැරි වූ වන්දියක් ගෝඨාභය ගෙවාවි කියා හිතන්න බැහැ. ඉන්දීය විශේෂ නියෝජිතයාට අප කියන්න ඕන එක් කරුණක් පමණයි. රටේ මහජනතාව බහුතරයක් 2010දීත් 2019 දීත් 2020 දීත් ඡන්දය දී ඇත්තේ දහතුන අහෝසි කිරීමට මිස ශක්තිමත් කිරීමට නොවන බව. 2015 දුන් ඡන්දයත් රාජපක්‍ෂ කඳවුර ජාතිකත්වය අමතක කිරීම නිසා සිරිසේන වෙසින් පැමිණි ජාතිකත්වයේ යම් පිරිසකට රැවටී දුන් එකක් බව. සිංහල බහුතරය දිගින් දිගට ම කියා ඇත්තේ දහතුන අහෝසි කරන ලෙසයි. ඔවුන් වරක් චන්ද්‍රිකාට රැවටුණා. තවත් වරක් සිරිසේනට රැවටුණා. ඒ දෙදෙනා ජාතිකත්වයට විරුද්ධ අය විසින් යොදා ගැණුනූ බව ඇතැම් සිංහලයන්ට අවබෝධ වුණේ නැහැ.

ඉන් චන්ද්‍රිකා නම් බටහිරයන් සමග එක් ව සිංහලයන් රැවටුවා. අදත් ඇය ඉන්නේ බටහිරයන් සමග. එහෙත් සිරිසේන එසේ නොවෙයි. ඔහුත් රැවටුණු අයෙක්. ඔහු 2018ට කලින් ඒ බව තේ්රුම් ගත්තා. 2018 දී ඔහු මහින්ද අගමැති කළා. ඒ ගැම්ම ගෝඨාභය බලයට පත් කිරීමටත් හේතුවක් වුණා. සිරිසේන 2019 දී පාස්කුව අනා ගත්තා. ඒ රනිල් සමග තිබූ විරුද්ධතාව නිසා. එහෙත් මූලික වශයෙන් සිරිසේන ඉන්නේ ජාතිකත්වය සමග. මා මෙසේ කීම ගැන විරුද්ධ අය ජාතිකත්ව කඳවුරේ ඉන්නවා. එහෙත් සාමාන්‍ය ඡන්දදායකයන් මා කියන දේට විරුද්ධ නැහැ. ඒ ඔවුන් මා කියන දේ අසා නො වෙයි. මාත් සාමාන්‍ය ඡන්දදායකයකු නිසා. මා කියන්නේ සාමාන්‍ය අය කියන දේ. 

විග්නේෂ්වරන් සවිඥානික ව හරි අවිඥානික ව හරි යම් අයගේ අවශ්‍යතාවකට හරි කරන්නේ ඉන්දීය විශේෂ නියෝජිතයාට ආයුධ සැපයීම පමණයි. ඔහුට දෙමළ කතා කරන ජනයා අතර බලයක් නැහැ. ඔය ලක්‍ෂයේ කතා යාපනයට නොව දිල්ලියටයි. යාපනය මෙන් ම දිල්ලියත් ඒ මුසා බව දන්නවා. ඒත් දිල්ලියට ඒ ප්‍රයෝජනවත්.