History

Wednesday, 5 August 2020

සියවසක උසස් අධ්‍යාපන කරුමය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9


 

සියවසක උසස් අධ්‍යාපන  කරුමය

කවුදෝ අයකු ඊයේ ලිපියට ප්‍රතිචාර වශයෙන් දක්වල තිබුණා ජාතික ව්‍යාපාරය පනස්හයට කලිනුත් තිබුණ කියල. ප්‍රින්ස් ගුණසේකරගෙ ලිපියකුත් ඔහු සාක්‍ෂියට අරන් තිබුණා. ඔහු තමන් හඳුන්වාගෙන තිබුණේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් සයිබර් අවකාශයේ හා පිටත පෙනී සිට විරුද්ධවාදීන් සමග හැප්පෙන අයකු හා කාල වකවානු නොසලකා ජාතික ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන අයකු  ලෙසයි. මා නම් සයිබර් අවකාශයේවත් පිටතවත් ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එතරම් දෙයක් කරන අයකු නො වෙයි. මට හිතෙන්නේ ඔහු උරණ වී ඇත්තේ මේ මැතිවරණයෙන් පස්සෙ පනස්හයේ දරුවන්ගේ දරුවන් පාර්ලිමේන්තුවේ දී යමක් කරාවි කියන එකටයි. කාල වකවානු ගැන නොකියා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කරමු යැයි ද කියන්නේ මා පනස්හය ගැන සඳහන් කළ නිසා වෙන්න ඕන. 

ජාතික ව්‍යාපාරය පනස්හයේ දරුවන්ගේ වැඩක් නොවෙයි.  ජාතික ව්‍යාපාරය ඇරඹුණේ පනස්හයේ කියා මා ඒ ලිපියේ තබා වෙන කොහේවත් කියා නැහැ. මා ධර්මපාලතුමා ගැන සඳහන් කරන්නේ නූතන ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙසයි. මා භාෂා ප්‍රේමීන් ගැන ද සඳහන් කර තියෙනවා. ඒ එක් වරක් දෙවරක් නොවෙයි. සමහර විට ඒ මහතා අදාළ ලිපි කියවා නැතිව ඇති.  එහෙත් ප්‍රින්ස් ගුණසේකර ගැන නම් කිසිවක් කියා නැහැ. ඒ මහතා කලක් ජ වි පෙරමුණටත් හිතවත් වූවා.   

මා කොළඹ විශ්වවිද්‍යාලය ගැන සඳහන් කෙළේ නූතන ජාතික ව්‍යාපාරය එහි ආරම්භ වුණා යැයි කීමට නො වෙයි. එසේ කීම  පුහු ප්‍රකාශයක් බව මා දන්නවා. මට කොළඹ විශ්වවිද්‍යාලය ගැන කීමට අවශ්‍ය වූයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ජාතික ව්‍යාපාරයේ ආරම්භය එහි වූ බව සඳහන් කිරීමට පමණයි. මෙරට විශ්වවිද්‍යාල විජාතික බල කඳවුරක් බව පසුගියදාත් මා ලිපියක සඳහන් කළා. විශ්වවිද්‍යාල පද්ධතියට ජාතික ව්‍යාපාරය ආවේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් නොව වෙනත් තැනකින් බව කරුණු ඇතිව කියනවා නම් මා පිළිගන්න සූදානම්. මට අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ විජාතික ගැති බව අවධාරණ කිරීමටයි. 

ජාතික ව්‍යාපාරයේ ඉන්න බොහෝ අය ව්‍යාපාරයේ අනෙක් අයට පිළිගැනීමක් දීමට සූදානම් නැහැ. මා හිතන්නේ එය අපේ සංස්කෘතික ලක්‍ෂණයක් කියා. මා එකක් කියන්නම්. මා ජාතික ව්‍යාපාරයට කිවයුතු තරම් දෙයක් කර නැහැ. මා ඊනියා ජාතික චින්තකයකුත් නො වෙයි. එහෙත් මට කාල වකවානු ගැන මගේ ලිපිවල සඳහන් කරන්න වෙනවා. එසේ කරන්නේ ජාතික ව්‍යාපාරයේ විකාශය මට වැදගත් නිසා. නැතිව මට පිළිගැනීමක් ලබා ගැනීමට නොවෙයි. 

මට ජාතික ව්‍යාපාරයේ පිළිගැනීමක් නැති බව මා දන්නවා. මා පනස්හයේ දරුවන් හා දරුවන්ගේ දරුවන් ගැන කිව්වත් පනස්හයේ දරුවන් මා ගැන කියන්නේ නැහැ. ඒ මා ජාතික ව්‍යාපාරය වෙනුවෙන් වැදගත් යමක් කර නැති බැවින් වෙන්න ඕන. පනස්හයේ දරුවන්ගේ දරුවන්ගෙන් බොහෝ අයකුගෙන් මා ගැන කිසිවක් කියැවෙන්නේ නැහැ. එසේ කීම යුතුකමක් නොවනවා වෙන්න ඇති. යුතුකම් ඉටු කරන්න තරම් දෙයක් මා අතින් කෙරී නැහැ. 

මා පනස්හයේ දරුවකු මිස පනස්හය ආරම්භ කළ තැනැත්තා නො වෙයි. ඒ සංකල්පය නම් මගේ. මා කර ඇත්තේ නමක් දැමීමක් පමණයි. පනස්හයට පෙර ජාතික ව්‍යාපාරයක් තිබුණා. ඒ වගේ ම ප්‍රින්ස් ගුණසේකරත් පනස්හයෙන් පසුව ජාතික ව්‍යාපාරයෙත් විටින් විට හිටියා. ජාතික ව්‍යාපාරයට නායකත්වයක් තිබුණෙ නැහැ කියන්න බැහැ. කාලයක දී බණ්ඩාරනායක මැතිණිය ජාතික ව්‍යාපාරයට ඉතා හොඳ නායකත්වයක් දුන්නා. එකල ජාතික ව්‍යාපාරය කියන නම නම් එතරම් ප්‍රචලිත වූයේ නැහැ. සංසිද්ධි ආදිය නම් නැතිව කාලයක් තියෙන්න පුළුවන්. ධර්මපාලතුමා තමන් ජාතික ව්‍යාපාරයක නිරත වී සිටි බව එනමින් නොදැන ඉන්න ඇති. 

මට පිළිගැනීමක් නැති බව කීම පඬියන්ට නම් ඔවුන් කියන අන්දමට ආතල් සපයන්නක්. පිළිගැනීමක් නැත්තෙ මා කිසිම වැදගත් දෙයක් කරල නැති නිසා කියල මට තේරෙනවා. මේ ලිපිවලිනුත් වැඩක් වෙන්නෙ නැහැ. ඒත් මා ලියනවා. ඒ මට ලියන්න දේ තියෙන නිසා මිස ජාතිකවාදීන් කියවනු ඇතැයි යන බලාපොරොත්තුවකින් නො වෙයි.  

මේ මොනවා වුණත් මොනවා කළත් අසූවේ දශකය වන තුරු ජාතික ව්‍යාපාරයක් නුදුටු විශ්වවිිද්‍යාල පද්ධතියට ලබන වසරට අවුරුදු සියයක් පිරෙනවා. කවුරු හරි අහන්න බැරි නැහැ සරච්චන්ද්‍රගේ මනමේ, පේරාදෙණි සාහිත්‍යය ආදිය ජාතික ව්‍යාපාරයට සම්බන්ධ නැද්ද කියා. ඒ නූතනත්ව ව්‍යාපෘතියේ අංග මිස ජාතික ව්‍යාපාරයක අංග නො වෙයි. මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය සිදු වූයේ 1921 ජනවාරියේ. එය පිහිටුවන ලද්දේ අද විද්‍යාල මන්දිරය (කොලේජ් හවුස්) නමින් ප්‍රසිද්ධ එදා රෙජිනා වලව්ව වූ ගොඩනැගිල්ලේ. ඒ වලව්ව සොයිසා පරම්පරාවට අයිති එකක්. ලක්‍ෂෙට කොඩිය දාලා තියෙන්නෙත් ඒ වලව්වෙ. මෑතක් වන තුරු ලක්‍ෂෙට කොඩිය දාන කතාව සමාජයෙ තිබුණා. 



1921 පිහිටුවන ලද්දේ යුනිවර්සිටි කොලේජ් මිස විශ්වවිද්‍යාලයක් නොවෙයි. අර රෙජිනා වලව්ව කොලේජ් හවුස් වුණෙත් ඒ නිසා. එයට සිංහලෙන් විශ්වවිද්‍යාල ආයතනය කියා නමක් අද දාගෙන තියෙනවා. ඒ විශ්වවිද්‍යාල විද්‍යාලය කියන්න බැරි නිසා වෙන්න ඇති. යුනිවර්සිටි යන්න විශ්වවිද්‍යාලය ලෙස කියන්න පුළුවන් ද? 1921 පිහිටුවපු ආයතනය 1923 දි තමයි රෙජිනා වලව්වෙන් පාරෙ අනෙක් පැත්තට ගෙනිහින් තියෙන්නෙ. ඒ එහි තිබූ රාජකීය විද්‍යාලයට අල්ලපු වත්තෙන් ගොඩනැගිලි හදල දුන්නට පස්සෙ. 

කොහොම හරි සියල්ලන්ට එකතු වෙලා ලබන අවුරුද්දෙ මුල උසස් අධ්‍යාපනයෙ සියවස සමරන්න පුළුවන්. මැතිවරණෙන් පස්සෙ උසස් ඇමති වෙන අයට, උසස් අධ්‍යාපන අමාත්‍යංශයට, ප්‍රතිපාදන කොමිසමට වැඩ තියෙයි. ඔය රෙජිනා වලව්වෙ තමයි ස්ටැන්ලි විජේසුන්දර ව මැරුවෙ. ඒකට වග කියන්න ඕන කවුද කියල මා කියන්නෙ නැහැ. අද මැතිවරණය නොවැ. කියන එක හරි නැහැ. 

මට ඕන වුණෙ අවුරුදු සියයක් පරණ උසස් අධ්‍යාපන ආයතනවලින් මෙරට නිදහසට වෙලා තියෙන සෙත මොකක් ද කියල අහන්න. එහෙත්  අර ප්‍රතිචාරය දැක්වූ අයට වෙනින් මොකක් ද තේරිලා. මට හරියට ලියන්න බැරි කම එයට හේතුව වෙන්න පුළුවන්.