History

Thursday, 10 September 2020

ප්‍රේමලාල් හා ගව ඝාතනය

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



ප්‍රේමලාල් හා ගව ඝාතනය


ප්‍රේමලාල් ජයසේකර දිවුරුම්දීමවත් මස් පිණිස ගව ඝාතනය තහනම් කිරීමවත් රටේ ඊනියා දැවෙන ප්‍රශ්න නො වෙයි. ප්‍රේමලාල් පමණක් නොව අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විශාල පිරිසක් මන්ත්‍රීවරුන් වශයෙන් දිවුරුම් දීමට සුදුස්සන් නො වේ. ඒ මගේ සදාචාරය අනුව. සදාචාරය සාපේක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මා එකී සියල්ලන් ම දිවුරුම් දීමට විරුද්ධයි. මේ පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට නුසුදුසු අයගෙන් සමන්විත වනු ඇති බව මා කියා ඇත්තේ ජනාධිපතිවරණයටත් පෙර. 

එහෙත් මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සදාචාරයේ ප්‍රශ්නයක් නො වෙයි. එය විසඳෙන්නේ නීතියෙන්. එයින් කියන්නේ වාස්තවික නීතිය කියා දෙයක් තියෙන බව නො වෙයි. ප්‍රශ්නය විසඳෙන්නේ අද රටේ බලපවත්වන රෝම ලන්දේසි නීතිය මත පදනම් වූ නීතිය මතයි. මේ නීතියටත් මා විරුද්ධයි. එහෙත් නීතිය අනුව ජීවත් වෙනවා. නීතිය වෙනස් කිරීමට උත්සාහ දරනවා. ඒකෙ පරස්පරයක් නැහැ.  නීතිය අනුව ප්‍රේමලාල්ට දිවුරුම් දෙන්න පුළුවන්. දැන් කළ යුත්තේ දිවුරුම් දීමට විරුද්ධ ව කෑ කෝ ගැසීම නොව නීතිය වෙනස් කිරීමට කටයුතු කිරීමයි. 

මස් පිණිස ගව ඝාතනය තහනම් කිරීම දේශපාලන වැඩක්. තහනම ක්‍රියාත්මක කිරීම කල් ගියා ද නැද්ද යන්න වැදගත් නැහැ. එය ක්‍රියාත්මක වන්නේ ද නැද්ද යන්න  දේශපාලනයෙන් තීරණය වේවි. මස් පිණිස නැතිව වෙනත් දේකට ගව ඝාතනය කරන්න පුළුවන් ද කියා පඬියකුට අහන්න පුළුවන්. සිංහල බෞද්ධ රාජ්‍යයක නම් එකල මාඝාතයත් පමුණුවල තියෙනවා. එහෙත් අද මෙරටත් ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. විවිධ ක්‍රිස්තියානි රටවල විවිධ සතුන් ඝාතනය කිරීම තහනම් කරලා. ගව ඝාතනය තහනම් කිරීම වඩා වැදගත් වන්නේ හින්දු සංස්කෘතියට. මහින්ද සමහර විට හින්දු සංස්කෘතිය වෙනුවෙන් ගව ඝාතනය තහනම් කළා ද කියන්න අප දන්නේ නැහැ. කෙසේ වෙතත් භික්‍ෂූන් වහන්සේත් ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා තිබුණා. මහින්ද ඒ සියල්ලන් ම වෙනුවෙන් ගව ඝාතනය තහනම් කළා වෙන්නත් පුළුවන්.

සිංහල බෞද්ධයන් මදුරුවන් මරණවා. මාළු මරණවා. මදුරුවන් මරන්නේ නම් මස් පිණිස නො වෙයි. සමහර විට පත්තෑයන් ආදී සතුනුත් මරනවා. ඒත් මස් පිණිස නො වෙයි. කලකට පෙර නම් පත්තෑයකුවත් මැරුවේ නැහැ. ප්‍රණඝාතය අකුසලයක්. එහෙත් මෙහි සංස්කෘතික ව්‍යවහාරයෙහි පරස්පර තියෙනවා. 

මා දැක තියෙනවා තායි බෞද්ධයන් ගෙම්බන් අල්ලා ගලේ ගසා මරා පිස අනුභව කරනවා. කාම්බෝජ බෞද්ධයන්, මියන්මාර බෞද්ධයන් හා පොදුවේ අග්නිදිග ආසියාවේ ඉන්න ථෙරවාද බෞද්ධයන් කෘමීන් පණුවන් ආහාරයට ගන්නවා. සිංහල බෞද්ධයන් කරවල කනවා. ඉස්සන් කනවා. මේ එකක්වත් ආගමික ප්‍රශ්න නො වෙයි. ඒ ඒ සංස්කෘතිය විසින් තීරණය කෙරෙන දේ. සංස්කෘතියක් ආගමක් මත පදනම් වන නමුත් එහි බාහිර අංග ද තියෙනවා. සිංහල බෞද්ධයන් බෝධි වන්දනාව කරන නමුත් මියන්මාර බෞද්ධයන් කරන්නේ නැහැ. අප එකිනෙකාගේ වත්පිළිවෙත්වල වෙනස්කම් තියෙනවා. 

සිංහල බෞද්ධයන් බොහෝ දෙනකුට දැන් කුකල් මස් නැතිව ම බැහැ. බොහෝ දෙනා විශේෂයෙන් මුහුදුබඩ පළාත්වල අය මාළු කෑමට රුචියක් දක්වනවා. සිංහල බෞද්ධයන්ට දැන් කන විධියට කුකුල් මස් කන්න පුරුදු වුණෙ කොහොමද කියන්න මට හරියට ම බැහැ. එය බටහිරයන්ගෙන් ලැබුණු එකක් වෙන්න ඕන. විසිවැනි සියවසේ මුල සිංහලයන් මේ තරමට චිකන් තියා කුකුල් මස්වත් කන්නෙ නැතිව ඇති. හරක් මස් කෑම ආගමික ප්‍රශ්නයක් නොවෙයි. එය සංස්කෘතික ප්‍රශ්නයක්. එය දේශපාලන ප්‍රශ්නයකුත් වෙලා.  

සංස්කෘතීන්වල පරස්පර තියෙනවා. පරස්පර නැත්තෙ ස්ථිතික පද්ධතිවල. ඕනෑම ගතික පද්ධතියක (සමාජය ද ඇතුළුව)  පරස්පර තියෙනවා. ගතිකය කියන්නෙ ම පරස්පරයක්. පරස්පර නැතිව වෙනස්වීම කියන එක තේරුම් ගන්න බැහැ. ගණිතයෙහි අවකලනය පරස්පරයක්. ඔය පරස්පර කතාව කියන්න තමයි බටහිර නම් ඇතැම් ග්‍රීකයන් උත්සාහ කෙළෙ. හෙගල් තම Logic කෘතියෙන් කළෙත් පරස්පර න්‍යායයක් ගැන කීම. හෙගල් දෙපයින් හිටවන්න ගිය මාක්ස් ඔළුවෙන් හිට ගත්තා. හොඳ වෙලාවට මාක්ස් සරමක් ඇඳන් හිටියෙ නැත්තෙ. 

පරස්පර ඇත්තේ ද්විකෝටික න්‍යායෙහි. එහි A හා නොම A එකවිට ඊනියා සත්‍ය වන්නේ නැහැ. ඒකෙන් ගතිකය විස්තර කරන්න බැහැ. ක්වොන්ටම් භෞතිකය විස්තර කරන්න බැහැ. නිවුටන් එක විධියකට කෙළෙ ගතිකය ස්ථිතිකයක් කිරීම. ඒක තේරුම් ගියෙ පස්සෙ. P=mf කියල කිවුවට නිවුටන් ලියල තිබුණෙ P-mf=0  කියල. මා දාර්ශනිකයකු තබා විද්‍යාඥයකුවත් නො වෙයි. ඔය මට හිතෙන හැටි.  

මගෙන් එක් අයකු අහල තිබුණ ගර්ඩ්ල් ප්‍රමේය ගැන. එය පදනම් වෙලා තියෙන්නෙ රේඛීය චින්තනයෙ හා ද්විකෝටික න්‍යායෙ. ඒකෙ ගණිතය අසම්පූර්ණ පද්ධතියක් වෙන්නෙ ද්විකෝටිකය අනුව. එහි සාධනය පරස්පර නැත්නම් විසංවාද මත පදනම් වෙනවා. 

සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන සත්වහිතවාදීන් පෙරහැරේ අලි ගෙනයනවාට විරුද්ධයි. ඒ වගේම ගව ඝාතනය නැවැත්වීමටත් විරුද්ධයි. ඒ කුහකකමේ පරස්පරය. ඒකත් පරස්පර විශේෂයක්. මා සම්බන්ධයෙන් කියන්න ඕන මා පන්සිල් රකිනවා පමණක් නොව මස් මාළු අනුභවයෙන් ද වැළකී ඉන්නෙ. මා මදුරුවකුවත් මරන්නේ නැහැ. එය පෞද්ගලික දෙයක්. එහෙත් සිංහල බෞද්ධයකු ලෙස මා රටේ ස්වෛරිභාවය රාජ්‍යාරක්‍ෂාව ආදිය වෙනුවෙන් අවි ගැනීමට විරුද්ධ නැහැ. ඒකෙන් බුද්ධාගම පාවාදීමක් වෙන්නෙ නැහැ. බුදුහාමුදුරුවන් රජවරුන්ට හමුදා විසුරුවා හැරීමට අනුශාසනා කෙළේ නැහැ. 

මා මුසා බස් කියන්නෙ නැහැ. ඒත් බොරු කියනවා. ඒ බොරු නොකිය ඉන්න බැරි නිසා. මේ ලිපියෙ තියෙන්නෙත් බොරු. පට්ටම පට්ටපල් බොරුවක් වූ ගණිතය ගැනත් බොරු ලියල තියෙනවා. මා ලියන දේ තේරෙන්නෙ නැත්නම් ඒ නොකියවා ඉන්න. ප්‍රශ්නයක් නැහැ. 

මට අද ලියන්න ඕන වුණෙ මෙය නොවෙයි. ලිපිය දිග් ගැහුණා. සරත් වීරසේකරට ඉන්දියාවට එන්න කියලා. ඒ චපාති කන්න වෙන්න බැහැ. දයාසිරි කියල ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්නෙ නැතිව පළාත් සභා අහෝසි කරන්න බැහැ කියල. ඒ අතර අනුර කුමාර කියල පළාත් සභා අහෝසි  කරන්න කියල. ඒත් ඉන්දියාව අනුරට ආරාධනා කරල නැහැ දිල්ලියට එන්න. ඉන්දියාව අනුර ගණන් ගන්නෙ නැත් ද? 

මට කියන්න ඕන වුණු කරුණ තමයි පළාත් සභා ගැන තීරණයක් ගන්න ඉන්දියාවෙන් අහන්න ඕන නැහැ කියන එක. මා දන්නෙ නැහැ ඉන්දියාව එක්ක රහස් ගිවිසුම් තියෙනවා ද කියල. කාට හරි කියන්න පුළුවන් ද අප පළාත් සභා සම්බන්ධ තීරණයක් ගන්න ඉස්සෙල්ල  ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන ඇයි කියල.