History

Tuesday, 15 September 2020

මාරාන්තික උපවාසවල මරණය

 මාරාන්තික උපවාසවල මරණය  


සුමේධ වීරවර්ධන කාත්තන්කුඩියෙ උත්සවයකට ගිහින් ඉතා හොඳ කතාවක් කරල. උත්සවය පවත්වල තියෙන්නෙ වහාබ්වාදයට විරුද්ධ පොතක් එළිදැක්වීමේ දි. වහාබ්වාදයට විරුද්ධ, වහාබ්වාදයට පෙර වූ මුස්ලිම් සංස්කෘතියෙ ජීවත්වන  මුස්ලිම් ජනයා කාත්තන්කුඩියෙත් ඉන්නවා. අප ඒ බව අමතක නොකළ යුතුයි. සියලු ආගම් එක සමාන යැයි හෝ හැම ආගමක ම උගන්වන්නේ එකම යැයි මා කියන්නේ නැහැ. ඒත් සිංහල බෞද්ධයන්ට අනෙක් බෞද්ධ විරෝධී නොවන ආගමිකයන් සමග සහජීවනයෙන් ඉන්න පුළුවන්. ඒ ගැන විස්තර පසුවට. 

බූස්සෙ උපවාසය නතර කරලා. උපවාස ගැන මෙතෙක් මා දන්නා හොඳ ම කතාව කෙළෙ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න. ඔහු කීවා උපවාසවලින් මිනිසුන් මිය යන්නෙ නැත. තිලීපන් මිය ගියෙත් රෝගයකින් කියල. උපවාසයක් කියන්නෙ පරස්පරයක්. ජීවත්වෙන මිනිහෙක් තමාගෙ හරි අනෙක් අයගෙ හරි ජීවත්වීම වෙනුවෙන් මැරෙන්න හදනවා. මිනිසුන් ජීවත්වෙන්නෙ පරස්පරවල. සිංහල බෞද්ධයන්ට පරස්පර ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. පරස්පර ප්‍රශ්නයක් වෙන්නෙ රේඛීය චින්තනයෙ ද්විකෝටික න්‍යායෙ සෑම දෙයක් ම වෙන්න ඕන කියල හිතන බටහිරයන්ට, විශේෂයෙන් බටහිර දාර්ශනිකයන්ට විද්‍යාඥයන්ට සමාජයීය විද්‍යාඥයන්ට ආදීන්ට පමණයි. පරස්පර  ටිකක් හරි නැතිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම තිබුණෙ භෞතික විද්‍යාවෙ. දැන් ඒකත් බැහැ. ගණිතයෙ පරස්පර බැහැර කරනවා. පරස්පර නැතිව නොවෙයි. ගණිතය එක්තරා විධියකට ඒකාධිපතියි. එහි ස්වසිද්ධි ප්‍රශ්න කෙරෙන්නෙ නැහැ. 

අපේ අම්මල කියන කතාවක් තියෙනවා. ඕකට මැරෙන්න හදන්න එපා කියල. ඕක කියන එකට විවිධ කරුණු ඇතුළත් වෙන්න පුළුවන්. උපවාස කාරයන්ටත් කියන්න තියෙන්නෙ ඕකට මැරෙන්න හදන්න එපා කියල. උපවාස කාරයන් මැරෙන්න හදනවා මිසක් මැරෙන්නෙ නැහැ. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න කියන්නෙ ඒකයි. 

අප දන්න උපවාස කාරයන් කවුරුන්වත් මැරිල නැහැ. තවත් උපවාසයක් දෙකක් කරන්න ඔවුන් ජීවත් වෙනවා. අන්තිමට මැරෙන්න මාරාන්තික උපවාසය. ඒ උපවාසවලට මාරාන්තික උපවාස කියන්නෙ ඒක නිසා වෙන්න ඇති. උපවාසයෙ අරමුණ යමක් දිනාගන්න වෙන්න පුළුවන්. එයට අමතරව නමකුත් දිනාගන්න පුළුවන්. සමහරු ඉන්නවා, හිටියා උපවාසකරු මැරෙනකන්. ඒ තම ව්‍යාපාරයට උත්තේජනයක් ලබා ගන්න. ප්‍රභාකරන් එවැන්නෙක්. උපවාසයක දි කෙරෙන්නෙ මැරෙන්න හැදීමක්. එහෙත් එයට ටිකක් කල් යනවා. ක්‍ෂණික මරණයක් තබා දින දෙක තුනකින්වත් සිදුවන මරණයක් නැහැ. උපවාසය පටන් ගත් දිනයෙ ඉඳන් මැරෙන්න ටික දවසක් යනවා. ඒ කාලය අතරෙ තැඹිලි දොඩම් ගේන්නත් පුළුවන්. ජනමාධ්‍යටත් වැඩ ගොඩයි. අවශ්‍ය නම් පැයෙන් පැය විස්තර ප්‍රචාරත් කරන්නත් පුළුවන්. 

අප වැඩියෙන් ම දන්නා උපවාස කරුවන් දෙදෙනා තමයි මහත්මා ගාන්ධි හා දිලීපන්. දිලීපන් උපවාස කෙළෙ ඉන්දියාවට විරුද්ධ ව. බොහෝ දෙනකුට ඒක මතක නැහැ. කොටි සංවිධානය යම් ඉල්ලීම් වගයක් ඉන්දියාවට ඉදිරිපත් කළා. මා හිතන්නෙ ඊනියා සාම සාධක හමුදාව ගැන.  ඉන්දියාව සතපහකට ඉල්ලීම් ගණන් ගත්තෙ නැහැ. දිලීපන් උපවාස කෙළෙ ඒ ඉල්ලීම් ගැන ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට. ටික දිනකට පස්සෙ ඩික්සිත් පලාලෙ ගියා. එහි දී ප්‍රභාකරන් මුණ ගැසුනා. ප්‍රභාකරන් ඩික්සිත්ට කිවුවා ගිහින් දිලීපන් හමුවෙන්න කියා. ඩික්සිත් කිවුවා තමා දිලීපන් මුණ ගැසුණොත් ඔහු උපවාසය නතර කරන බවට ප්‍රභාකරන් ලිඛිත පොරොන්දුවක් දිය යුතුයි කියල. ප්‍රභාකරන් ඒක දුන්නෙ නැහැ. ප්‍රභාකරන්ට ඒ පොරොන්දුව දීල දිලිපන්ගෙ උපවාසෙ නතර කරන්න පුළුවන්කම තිබුණා. ඔහුගෙ අණක් කඩ කරන එක උපවාසයකට වඩා භයානක බව දිලීපන් දැන ඉන්න ඇති. මැරෙන්න හදන එකට වඩා මැරෙන එක අමාරු බව දිලීපන් නොදැන හිටියා වෙන්න බැහැ. 

දිලීපන්ට සමහරවිට ලෙඩක් තියෙන්නත් ඇති. ඔහු මළේ ලෙඩෙන් වෙන්නත් ඇති. එහෙත් ඔහු මරා ගත්තෙ ප්‍රභාකරන්. එහෙම නැත්නම් ප්‍රභාකරන් තමයි දිලීපන්ට මැරෙන්න ඉඩ ඇරලා ඔහු මරා දැම්මෙ. ඒකෙන් ප්‍රභාකරන් බලාපොරොත්තු වු දේ සිදුවුණා. දිලීපන්ගෙ මරණයත් එක්ක දැඩි ඉන්දු විරෝධයකුත් ආණ්ඩු විරෝධයකුත් ඇති වුණා. ඔය හෙට අනිද්ද (සැප් 26, ප්‍රභාකරන් දිලීපන් ඝාතනය කෙළෙ බණ්ඩාරනායක ඝාතනය සිදු වුණ දවසෙමයි) දිලීපන් සමරන්න වලිකන හදන අය දන්නෙ නැහැ ප්‍රභාකරන් දිලීපන්ගෙ මාරයා බව. 

දැන් මා කියන කතාවට බොහෝ දෙනා විරුද්ධ වේවි. මා ගාන්ධිගෙ අනුගාමිකයකුවත් ගෝලයකුවත් නොවෙයි. මා අනුගමනය කරන්නෙ බුදුහාමුදුරුවන් පමණයි. උන්වහන්සේ පමණයි වදාළෙ සියල්ල බොරු කියල. අවිජ්ජා පච්චයා සංඛාරා. ගාන්ධි උපවාස දාහතක් කරල තියෙනවා. එකකින්වත් මළේ නැහැ. ඉංගිරිසින් දන්නවා දේශපාලන උපවාසවලින් මිය යන අය දේශපාලන වශයෙන් වඩා ශක්තිමත් ව ජීවත්වන බව. ඉංගිරිසින් තරම් ශූර පාලකයන් ලෝකයේ ඉඳලා නැහැ. ඔවුන් තාමත් ලෝකය පාලනය කරනවා. ඉංගිරිසින් තමන්ට විරුද්ධව කළ උපවාසවලින් ගාන්ධිට මිය යන්න දුන්නෙ නැහැ. ගාන්ධි හින්දු මුස්ලිම් සාමය වෙනුවෙන් කළ උපවාස අත්හැරල තියෙන්නෙ මහා ළාමක විධියට. භගවද්ගීතයේ පාඨ හා කෝරානයේ පාඨ එකට කියවීම වගේ දේ.

අවසාන වශයෙන් ඔහුගෙ උපවාසය දිල්ලියෙ මුස්ලිමුන්ට නිදහසෙ ඉන්න ඉඩ සැලැස්වීමට. දේශපාලනඥයන් දිල්ලියෙ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට පොරොන්දුවක් දීල. ගාන්ධි උපාවසය අත්හැරල. ඊට සති දෙකකට විතර පස්සෙ ගෝද්සෙ ගාන්ධි ඝාතනය කළා. ඊට අවුරුදු හැත්තැවකට විතර පස්සෙ මෝදි බලයට පත්වුණා. 

උපවාස ඔහොමයි. තැඹිලි තියෙන්නෙ ලංකාවෙ විතරයි කියනවා. අපි කොහොමත් කිං නෙ. කොකනට් වුණත් කිං කොකනට් තියෙන්නෙ ලංකාවෙ.  මා හරියට ම දන්නෙ නැහැ එහි ඇත්ත නැත්ත. අර තැඹිලි බෝතල් කරල යවන අයට බැරි ද ඒක වැඩිදුරටත් ව්‍යාප්ත කරන්න.