History

Monday, 28 September 2020

සෞම්‍යගේ ප්‍රශ්නය

 සෞම්‍යගේ ප්‍රශ්නය


සෞම්‍ය ලියනගේගේ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා කතා කරනවා. මෙයින් යම් යම් දේ පැහැදිලි වෙනවා. ප්‍රශ්නය ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නැති බව. එමෙන් ම ලිපියක් කියවන ක්‍රමය. ලිපියක් තබා ඕනෑම දෙයක් අප කියවන්නේ අහන්නේ අපට සාපේක්‍ෂව. ලිපිය ලියන්නා ලියන්නේ එකක්. කියවන්නා කියවන්නේ තවත් එකක්. ඒ අතර තමන් දරණ අදහස් මත මේ මේ දේ විය යුතු යැයි කියන අයත් ඉන්නවා. එක් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයක වැඩ කර ඇති අයකු දන්නේ නැහැ ආචාර්ය සංගමයක හා ආචාර්ය සමිති සම්මේලනයෙහි ඇති වෙනස. එක් විප්ලවවාදියකුට අනුව 1992- 93 කාලයේ රාවය පළ කරල තියෙන්නෙ කොළඹ විශ්වවිිද්‍යාලයෙ හිටපු වාමාංශිකයන් පිරිසක්. මා කියන දේ ඔහුට තේරෙයි ද කියන එක ප්‍රශ්නයක්.

සෞම්‍යගේ ප්‍රශ්නය අද හිරවී ඇත්තේ කොතැනක ද යන්න කීමට අදහස් කරනවා. මුහුණු පොතේ අදහස් දක්වන අයට තරම් මට විශ්වවිද්‍යාල පද්ධතිය ගැන අත්දැකීම් නැති වෙන්න පුළුවන්. අත්දැකීම් තිබුණත් මා ඒ ලබාගත් විධිය වැරදි වෙන්නත් පුළුවන්. කොහොමත් මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නො වෙයි. විශ්වවවිද්‍යාල පද්ධතියේ කී දෙනකුට ආචාර්ය උපාධි තියෙනවා ද, අවුරුදු දෙකකවත් පර්යේෂණ සංරචකයක් සහිත උපාධි ගත් අය කී දෙනකු ඉන්නවා ද ආදී වශයෙන් ප්‍රශ්න නැගීමෙන් අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැහැ. 

සෞම්‍ය ආචාර්ය උපාධි නිබන්ධනය භාර දී ආපසු පැමිණ අවුරුදු අටේ පරිවාස කාලය සම්පූර්ණ කිරීමෙන් පසු උසස්වීම හා ස්ථිර කිරීම කෙරෙන තෙක් (ඒ දින වකවානූ පිළිබඳ ප්‍රශ්න තිබුණත්) ඔහු තාවකාලික කථිකාචාර්ය වරයකු ලෙස පත් කෙළේ ද ඒ පත් කිරීම ක්‍රියාත්මක කෙළේ ද යන්නයි මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය. මට ඊයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ වාර්තාවක් එවා තිබුණා. එය එවා තිබුණේ විශ්වවිද්‍යාලයෙන් නොවෙයි. එවූ තැනැත්තා කවුදැයි කීම අවශ්‍ය නැහැ. 

මෙය සෞම්‍ය ස්ථිර කිරීම හා උසස් කිරීම සම්බන්ධයෙන් පාලක සභාවට ඉදිරිපත් කෙරී ඇති වාර්තාවක්. එය ඉතා වැදගත්. එහි ඇතැම් කරුණු මහා බරපතළයි. එහෙත් නූගත් මට විශ්වවිද්‍යාල පමණක් නොව රාජ්‍ය සේවය ද වැඩ කරන හැටි ගෝචර වන ආකාරයක් තියෙනවා. මා බරපතළයි කියන්නේ ඒ තේරුමෙන්. වාර්තාවේ දිනය ලෙස ගන්න පුළුවන් 2020 අගෝස්තු 26.  ඒ වාර්තාවේ දෙවැනි පිටුවෙහි කියැවෙනවා සෞම්‍ය ලියනගේ උසස් කිරීම හා ස්ථිර කිරීම සඳහා පත් කරන ලද සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ තීරණයක් ගැන. ඒ මෙසේයි.

"එස් පී ඩී ලියනගේ මහතා 2015 02 02 දිනට කථිකාචාර්ය (ආධුනික) තනතුරෙහි වසර අටක පරිවාස කාලය සම්පූර්ණ කර ඇත.    නමුත් එදිනට ඔහු කථිකාචාර්ය (ආධුනික)  තනතුරෙහි තහවුරු කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් එදින සිට තාවකාලික කථිකාචාර්ය ධුරයට පත් කර ඇත."

පරීක්‍ෂණ මණ්ඩලය ඒ කරුණ සහ තවත් දේ සලකා බලා සෞම්‍යගේ උසස් කිරීම හා ස්ථිර (තහවුරු) කිරීම නිර්දේෂ කර තියෙනවා. ඒ සලකා බැලූ පාලක සභාව 2015 දෙසැම්බර් 14 වැනි දා පවත්වන ලද රැස්වීමේ දී  දින (ඊයේ ලිපියේ සඳහන් මාස 6 දින 10 කතාව) වෙනස් කර සෞම්‍ය ස්ථිර කර හා උසස් කර තියෙනවා. 

එහෙත් මා සඳහන් කළ 2020 අගෝස්තු 26 වාර්තාවෙහි තව ටිකක් යන විට තුන්වැනි පිටුවෙහි වෙනත් දෙයක් කියනවා. ඒ 2015 දෙසැම්බර් 14 වැනි දා පැවති පාලක සභා තීරණය හා සම්බන්ධ කරමින්. එහි කියැවෙන්නේ මෙසේයි. 

"ඉහත තීරණය අනුව ආචාර්ය එස් පී ඩී ලියනගේ මහතා කථිකාචාර්ය (ආධුනික) තනතුරෙහි නැවත පිහිටුවීමකින් තොරව ව සේවයේ ස්ථිර කර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ( II  ශ්‍රේණිය) තනතුරට උසස් කර ඇති බව නිරීක්‍ෂණය වේ. "

මෙයින් කියන්නේ කුමක් දැයි පැහැදිලි නැහැ. මේ කියන්නේ මාස කිහිපයක් තාවකාලික කථිකාචාර්ය තනතුරක සිටි සෞම්‍ය නැවත කථිකාචාරය (ආධුනික) ධුරයකට පත් නොකර ස්ථිර කර උසස්වීමක් දී ඇති බව ද? එසේ නම් එය නොසැලකිය යුතු තරමේ දෙයක්. තාවකාලික කථිකාචාර්යවරයකුට උසස් වීමක් දීමට හෝ ඔහු ස්ථිර කිරීමට හෝ බැහැ. අප එය පිළිගන්න ඕන. එහෙත් ප්‍රශ්නය එය නම් පාලක සභාවට  එය දැන් වුවත් නිවැරදි කරන්න පුළුවන්. ඒ කුමක් වුවත් එය පාලක සභාවේ අතපසුවීමක් ලෙස පමණයි සලකන්න පුළුවන්. එයට සෞම්‍යට දඬුවම් දෙන්න බැහැ.

එහෙත් මෙයින් කියන්නේ සෞම්‍ය 2015 පෙබරවරි 02 වැනි දා සිට තාවකාලික කථිකාචාර්ය ධුරයකට පත් කෙරී නොමැති බව ද?  මා දන්නේ නැහැ. එසේ පත්කර නොමැති නම් එයත් පාලක සභාවේ පරිපාලනයේ අතපසු වීමක් මිස සෞම්‍යගේ ප්‍රශ්නයක් නො වෙයි. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කිනම් පාර්ශ්වයකින් හරි කෙරෙනවා නම් හොඳයි.

අවසාන වශයෙන් අර සඵල දිනය ගැනත් කියන්න ඕන. උපාධියක සඵල දිනය කියන්නේ මොකක් ද කියන එක සංදර්භය අනුව වෙනස් වෙනවා. බාහිර පුද්ගලයකුට /ආයතනයකට උපාධියේ සඵල දිනය ලෙස සලකන්න වෙන්නෙ උපාධි සහතිකයෙහි ඒ පිළිබඳ සඳහන් වෙන දිනයක්. එය උපාධිය ප්‍රදානය කළ දිනය (අර ජයට ඇඳගෙන ගිහින් සම්භාවනීය පුද්ගලයකු අතින් සහතිකය ලබා ගන්නා දිනය. සමහර විශ්වවිද්‍යාලවල ඒ දෙන දෙය හිස්. ඒ ඇතුළෙ සහතිකයක් නැහැ. සහතිකය පස්සෙ ලබා ගන්න ඕන) ලෙස ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සනාතන සභාව නිර්දේෂ කිරීමෙන් පසු අවසානයේ දි පාලක සභාව ප්‍රතිඵල අනුමත කරන දිනය වෙන්න පුළුවන්. 

විශ්වවිද්‍යාලයට පළමු වරට බඳවා ගැනීමේ දී එවැනි සඵල දිනයක් අවශ්‍ය වෙනවා. එහෙත් මෙහි දී කතා කරන්නේ උසස් කිරීමක් ගැන. විශ්වවිද්‍යාලයේ සේවය කරන්නකු නිවාඩු ලබා/නොලබා ඒ විශ්වවිද්‍යාලයෙන් ම හරි වෙනත් විශ්වවිද්‍යාලයකින්  ලබා ගන්නා උපාධියක් ගැන. උපාධිය තවදා ප්‍රදානය කළත් සනාතන සභාව කවදා නිර්දේශෙ කළත් පාලක සභාව කවදා අනුමත කළත්, එසේ අනුමත කිරීමෙන් පසුව වැදගත් වන්නේ නිබන්ධය භාර දුන් දවසයි. අනුමත නොකළොත් කිසිවක් වැදගත් වන්නේ නැහැ.

විශ්වවිද්‍යාලයට බලන්න තියෙන්නෙ අදාළ කථිකාචාර්යවරයා තම කටයුත්ත අවුරුදු අටක් ඇතුළත කරල තියෙනවා ද මිසක් පරික්‍ෂකවරු පරිපාලනය තම කටයුතු ඉටු කරල තියෙන්නෙ කවදා ද කියල දැන ගන්න නො වෙයි.  මට උසස් වීමේ දි ඔය සඵල දිනය අදාළ වුණේ නැහැ. එහෙත් පසුව විශ්වවිද්‍යාලවලට  නැවත ඉල්ලුම් කරද්දි නම් සඵල දිනය අදාළ වුණා. සඵල දිනය තීරණය වන්නේ සංදර්භය අනුව. උසස් කිරීමක දී සඵල දිනය වන්නේ නිබන්ධය භාර දෙන දිනය.