History

Wednesday, 30 September 2020

ප්‍රශ්න කිහිපයක්

 

ප්‍රශ්න කිහිපයක්

 

මෙල්බන් නුවර ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මා සමග වැඩ කළ (මා අවුරුදු එකහමාරක් පමණ එහි වැඩ කළා) නික් ගාන්හම් පසුගිය දා මගෙන් විමසා සිටියා ගණිතයෙන් විදේශ සේවයට මාරු වුණේ කොහොම ද කියා. මා කිවුවේ බොහෝ කලක සිට මා දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බවයි. එහෙත් ඔහුට එය ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලේබර් හිතවතෙක්. ඒ දිනවල ඔහු විට්ලම්ට ආධාර කළා. මා ඔහුට කියන්න ගියේ නැහැ ලංකාවේ  එහෙම තමයි කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, විනිසුරුවන්, රාජ්‍ය නිලධාරීන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශඥපාලනඥයන්ට ආදී එකී නොකී ඕනැම අයකුට තානාපති කමක් කරන්න පුළුවන් කියලා.

 

ඉන්දියාව ආරක්‍ෂක කටයුතු සඳහා ඩොලර් කෝටි පහක ණයක් දීමට කටයුතු කරන බව ඊයේ (සැප්තැම්බර් 29) දි අයිලන්ඩ් පත්‍රයේ පළ වී තිබුණා, ඒ වාර්තාව ලියා තිබුණේ පත්‍රයේ විශේෂ වාර්තාකරුවකු යැයි කියන වෙන්කත්නාරයන් දිල්ලියේ සිට. එ ණය බෙංගාල බොක්ක හා ඉන්දීය සාගර කලාපය ස්ථාවර කිරීම සඳහා දෙරටේ ආරක්‍ෂික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා යැයි කියවෙනවා. 

එකී වාර්තාවට අනුව මෙය මෝදි මහින්ද විද්‍යුත් හමුවේ ප්‍රතිඵලයක්. එ මෙන් ම එය මේ කලාපවල වර්ධනය වන චීන අභිලාෂ පසුබිමේ කෙරෙන්නක්. එය ඇත්තක් ද නැත් ද කියා දන්නේ නැහැ. ලංකාණ්ඩුව ඒ ප්‍රවාෘත්තිය ප්‍රතික්‍ෂෙප කරලත් නැහැ. මෙය තමා අප මුහණ දෙන ප්‍රශ්නය. අප විතරක් නොවෙයි මාලදිවයින, බංග්ලාදේශය, භූතානය, නේපාලය මුහුණ දෙන ප්‍රශ්නය. ඔය සාකච්ඡාවල දී  දහතුන ගැනත් කියා තිබෙනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැනත් කියා තිබෙනවා. 

අපට චීනය හා ඉන්දියාව සමග පවතින්න සිදුවෙලා. මියන්මාරය වැනි අග්නිදිග ආසියාවේ රටවලට ඇත්තේ චීනය හා එක්සත් රාජ්‍ය සමග පැවතීම පිළිබඳ ප්‍රශ්නය. අපටත් එක්සත් රාජ්‍ය බල පානවා. එක්සත් රාජ්‍ය සමග පැවතීම පිළිබඳ ප්‍රශ්නය. එය සෘජුව ම මෙන් ම වක්‍රවත් කෙරෙනවා. එහෙත් අපේ මූලික ප්‍රශ්නය ඉන්දියාව හා චීනය අතර තුලනය යහපත් අයුරින් කර ගෙන යෑම. ඒ අතර අපේ පැරණි මව්රට එංගලන්තයේ බලපෑමත් තියෙනවා. ඉන්දියාව එක්සත් රාජ්‍ය හා එක්සත් රාජධානිය ඇතැම් අවස්ථාවල එකට ඉන්නවා. 

ඉන්දියාව එංගලන්තයට වඩා අපේ මව්රටක්. අප ඇතැමුන් ඉන්දියාවෙන් (භාරතයෙන්) පැමිණි අයගෙන් පැවත එන්නන්. එංගලන්තය සම්බන්ධයෙන් එහෙම දෙයක් කියන්න බැහැ. එහෙත් ඉංගිරිසි උගත් ප්‍රභූන්ට එංගලන්තයත් මව්රටක්. අපට මේ රටවල් හතරෙන් නිදහස් විය හැකි ද? අප සංස්කෘතික වශයෙන් නම් සමීප වන්නේ මියන්මාරයට තායිලන්තයට ලාඕසයට හා කාම්බෝජයට. එහෙත් අපට ඒ රටවල් සමග ඇති සම්බන්ධය වර්තමානයේ දී නම් ඉතා අඩුයි. අපට ලාඕසය හා කාම්බෝජය සමග සෘජු තානාපති සම්බන්ධකම්වත් නැහැ.  

ථෙරවාද කලාපය දැනට නම් බිහි වන්නේ නැහැ. එහි චීනයේ කොටසක් ඇතුළත් වීම එක් එක් අය දකින්නේ එක් එක් ආකාරයට. චීන කොටස නැතිව වුවත් ථෙරවාද කලාපයක් බිහිවන්නේ නැහැ. කවුරුන් හරි කියනවා නම් මට ඒ වැඩේ කරන්න බැහැ කියල ඒ කරන්න පුළුවන් සුදුසු අයකු පත්කර එවනවාට මගේ විරුද්ධත්වයක් නැහැ. දකුණු චීන මුහුද මියන්මාරයට කෙලින් ම නැති වුවත් වියට්නාමයට හා තවත් රටවලට බලපානවා. චීනය දරදඬු මතයක ඉන්නවා කියන එක සමහරුන්ගෙ මතය. ඉදිරියට මේ ප්‍රශ්නය තවත් වර්ධනය වේවි. එය එක්සත් රාජ්‍ය හා චීනය අතර මතභේදයේ කොටසක්. 

සිංගප්පූරුව නම් තරමක් බලවත්. ඔවුන්ට ආර්ථික හයියක් තියෙනවා. ආර්ථික ශක්තිය ඉතා වැදගත්. අපට ආර්ථික ශක්තියක් නැහැ. 1953 පමණ වන විටත් අපට ආර්ථික ශක්තියක් තිබුණා. එහෙත් දැන් අපට නැහැ. ඒ ශක්තිය අඩුවුණේ (නැතිව ගියේ) කෙසේ ද යන්න ප්‍රශ්නයක්. මා ඊයේ සඳහන් කළ දෙලොවක් අතර ප්‍රශ්නයත් තියෙනවා. සිංගප්පූරුව ආර්ථික ශක්තිය ලබාගත්තේ නිෂ්පාදනයෙන්, වෙළෙඳ පහසුකම් සැලසීමෙන්. එහෙත් ඒ නිෂ්පාදනය ඇති කිරීමට එක ලොවක පමණක් ඔවුන් ජීවත් වුණා. එමෙන් ම බොහෝ දෙනා කතා නොකළත් සිංගප්පූරුව ප්‍රජාතන්ත්‍රවාදය අමතක කළා. දැන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න පුළුවන්. ඒ ආර්ථික ශක්තිය ඇති කර ගැනීමෙන් පසු. තායිලන්තය ආර්ථික ශක්තිය ලබා ගන්නේ වෙන ම ක්‍රමයකින්. 

මියන්මාරයේ අපේ නිෂ්පාදන අලෙවි කිරීම පහසු නැහැ. චීනයෙන් ඉතා අඩු මිළකට භාණ්ඩ ලැබෙනවා. තායිලන්තයෙන් ද ගොඩබිමෙන් භාණ්ඩ ආනයනය කරනවා. අපේ නිෂ්පාදනවලට ඉහළ මිළක් ගෙවීමට සිදු වී ඇත්තේ ඇයි? ඒ කොහොම වෙතත් අපේ ආනයන අපනයනවලට වඩා වැඩියි. එහෙත් සෑම රටක ම අපනයන ආනයනවලට වඩා වැඩි වෙන්න බැහැ. සමහර රටවල අඩුවෙන්න ඕන.

අපේ ගෘහස්ථ නිෂ්පාදන අඩුයි. අපට තවදුරටත් විශාල කර්මාන්තශාලාවල වතුවල තේ නිෂ්පාදනය කර අර ලෝක වෙළෙඳ පොළේ අලෙවි කරන්න බැහැ. කෙන්යාව අපට වඩා අඩු මිළකට තේ නිෂ්පාදනය කරනවා.  අප රටට විදේශ ආයෝජන ලැබෙනවා අඩුයි.  ආයෝජන මණ්ඩලය ලබා ගත් ආයෝජන කොපමණ ද?  මේ ප්‍රශ්නවලටත් වඩා වැඩි ප්‍රශ්නයක් අපට තියෙනවා. අප ආදායමට වඩා වියදම් කරනවා. රටක් හැටියට පමණක් නොවෙයි පුද්ගලයන් හැටියටත් අප ආදායමට වඩා වියදම් කරනවා. එය නතර කරන්නේ කොහොම ද කියන්න මට තේරෙන්නේ නැහැ. අපි අල්ලපු ගෙදර ඉන්න අයට වඩා හොඳින් ජීවත් වෙන්න හදනවා. ඒ සඳහා අපට ණය ගන්න වෙනවා. 

රටක් හැටියට ණය ගන්න විට අපට කොන්දේසිවලට යටත් වෙන්න සිදුවෙනවා. කිසිම රටක් අපට කරුණාවට ණය දෙනනේ නැහැ. පින් පිණිස ණය දෙන්නෙත් නැහැ. අපට හම්බන්තොට වරාය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කාට හරි දෙන්න වෙලා. ඊනියා දෙමළ ප්‍රශ්නය, පළාත් සභා ආධාර ණය හරහා කරළියට එනවා. අප වැඩිය කරන්නේ කතා කරන එක. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ කාට ද? ආර්ථික විද්‍යාඥයන්ට නම් නො වෙයි. ඔවුන් භූදේශපාලනය වගේ වචන ටිකක් කියවල මාරුවේවි. ප්‍රශ්න එතැනමයි.

ඊයේ එක් ව්‍යාපාරිකයකු කියා තිබුණා මෙරටට කෙරෙන ආනයන නවත්වන්න වෙයි කියල. මූඩි ආයතනය ලංකාව එක්තරා වර්ගීකරණයකට අනුව පහතට දාලා. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙන්න වෙයිලු. නැත්නම් විදේශීය ආයෝජකයන් එන එකක් නැතිලු. වර්ගීකරණය පැත්තකට දාන්න. ආයෝජකයො කවද ද කලින් ඇවිත් තියෙන්නෙ. ඔවුන් එන්නෙ නැත්තෙ ඇයි කියල ඔවුන්ගෙන් ම අහන්න. 

මේ සියල්ල ධනවාදයෙ ප්‍රශ්න කියා පඬි කතා කියන්න ඕන නෑහැ. තමන්ට කිසිම විකල්පයක් නැති වමාලා ලිබරල් දෙවැනි ඉනිම ගැන කියවාවි. කතාකරන්න ඊට වඩා දෙවැනි ඉනිම තියෙනවා. මෙරට වමාලා දන්නෙ සිංහල බෞද්ධ කතාවට තදින් විරුද්ධ වෙන්න පමණයි. ඒකත් හොඳ ඉනිමක් තමයි.   

අවසානයට  පොඩි කාරණයක්. ව්‍යාපාරිකයන්ට ආධාර කරන්න බැංකු පොලිය අඩු කරල. ඒ අතර ස්ථිර තැන්පතු සඳහා ගෙවන පොලියත් 35%කින් පමණ අඩුවෙලා. අර්ථසාධක අරමුදලෙන් ලැබුණු කීය හරි ස්ථිර තැන්පතු කරල එකෙන් ලැබෙන පොලියෙන් ජීවිතේ ගැටගසා ගත්ත අයගෙ ආදායමත් 35%කින් පමණ අඩු වෙලා. ඔවුන් වෙනුවෙන් කතා කරන්නවත් කවුරුන්වත් නැහැ. ඔවුන් නමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පමණයි. ඒත් ප්‍රායෝගික ව මැන්ටල්.