History

Friday, 4 September 2020

ගෝඨාභයට ශක්තිය ලබා දීම

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9


ගෝඨාභයට ශක්තිය ලබා දීම


විසිවැනි සංශෝධනය නීීිතිපති දෙපාර්තමේන්තුවෙන් අවසාන වශයෙන් කෙටුම්පත් කරන්න ඇති. එහෙත් එය කාගෙවත් නොව ගෝඨාභය රාජපක්‍ෂගෙ සංශෝධනයක්. මේ සංශෝධනයෙන් රාජපක්‍ෂ පවුලේ බලය වැඩිවෙනවා කියල සමහරු කියනවා. මට නම් එහෙම දෙයක් පේන්නෙ නැහැ. අගමැති බලතල කප්පාදු වෙලා. එය මහින්ද රාජපක්‍ෂගෙ බලතල කප්පාදුවක් නො වෙයි. දහනවවැනි සංශෝධනයෙ අරමුණ වුණෙ රාජපක්‍ෂලාගේ බලය නැති කිරීම වගේ ම සිරිසේනගෙ බලයත් නැති කිරීම හා රනිල්ගෙ බලය වැඩි කර ගැනීම. සම්මජාතියේ ඡන්දයෙන් ජනාධිපති වීමට නොහැකි බව දැන සිටි රනිල් අගමැතිගෙ බලය වැඩි කෙළෙ එමගින් තමන්ට බලය ලබා ගැනීමට. 

විසිවැනි සංශෝධනයෙන් අගමැතිගෙ ඒ බලතල නැති කරලා. මහින්ද රාජපක්‍ෂට මේ රටේ තියෙන්නෙ අගමැති වීම නිසා තියෙන බලතල (ශක්තිය) නො වෙයි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කරපු නිසා තියෙන බලතල. ඔහු එතැනට තල්ලු වුණේ කෙසේ ද කියන එක වැදගත් ප්‍රශ්නයක් නො වෙයි. රතන හිමියන් හා චම්පක කියන්නෙ මහින්ද එතැනට තල්ලු කෙළේ ජාතික හෙළ උරුමය කියා. එහෙත් අප තේරුම් ගත යුත්තක් තියෙනවා. මිනිසුන් හිතන පතන විධියක් තියෙනවා. මා 1983න් පමණ පසු හැමදාමත් කෙළෙ සිංහල මිනිසුන් හිතන පතන විධිය තේරුම් ගෙන එය තහවුරු කිරීම පමණයි. මහින්ද මුලින් කොහේ හිටියත් 2008න් පමණ පසු කළේ සිංහල මිනිසුන්ට ඕන දේ. සිංහල මිනිසුන් 2010දි ඔහුට ඉතා විශාල බලයක් (ශක්තියක්) ලබා දුන්නෙ ඒ නිසා මිස වෙන කවුරුන්වත් කී නිසා නො වෙයි. 

සිංහල මිනිසුන්ට 2009 නන්දිකඩාල් ජයග්‍රහණය අමතක වෙන්නෙ නැහැ. එය එක්තරා අර්ථයකින් නූතන විජිතපුර සටන. ඒ සටනේ දී පැරදුණෙ දෙමළ ත්‍රස්තවාදය හා ජාතිවාදය පිටුපස සිටි විජාතික බලවේගත්. නැහැ මා කියන්නෙ පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගෙන නො වෙයි. සාමාන්‍ය සිංහල ජනයාට ඔවුන් සතපහක් වටින්නෙ නැහැ. ඔවුන් ලකාන්ට හරි ශිෂැක්ට හරි මෙයිසුට හරි හෙගල්ට හරි මාක්ස්ට හරි කාන්ට හරි හයිඩැගර්ට හරි වෙන කාටවත් හරිත් වැඩක් නැහැ. ඔවුන්ගෙන් අලුත් දෙයක් නිර්මාණය වෙන්නෙ නැහැ. ගුණදාස අමරසේකර ඒ දවස්වල යොදා ගත් වචන වූයේ වඳ අනුකාරක උගත්තු යන්න. 

ඒත් 2010න් පස්සෙ මහින්ද සාමාන්‍ය මිනිසුන් අමතක කළා. අප කියනවා ජාතිකත්වය අමතක කළා කියලා. කෙසේ වෙතත් ඒ තත්වය යටතේ බටහිරයන් සාමාන්‍ය මිනිසුන්ට ආකර්ෂණීය වුණු සිරිසේන යොදා ගෙන මහින්ද පරාජය කළා. ඒ වෙලාවෙ බැසිල් රාජපක්‍ෂට පුළුවන් කමක් තිබුණෙ නැහැ මහින්ද දිනවන්න. මා නම් ඔය මැතිවරණවල දි බලපානවයි කියන සංවිධානාත්මක පුද්ගල සාධකය ගණන් ගන්නෙ නැහැ. එහෙම සාධකයක් නැහැ. පැරදුණු මහින්ද ගැන ජනතාව අනුකම්පා කළා, දුක් වුණා. ඔවුන් පැරදිලා රට ගියේ නැහැ. ඔවුන් මැදමූලන ගියා. යන්න ම යන්න ගෙදර ගිය මහින්ද ආපසු ගෙනාවෙ අර සාමාන්‍ය ජනයාමයි. 

නුගේගොඩ රැස්වීමට කලින් අපත් රැස්වීමක් තිබ්බා. මහින්ද ආපසු ගෙනාවෙ අපය කියා එහි ගෞරවය ලබා ගන්න අපට අවශ්‍ය නැහැ. අවශ්‍ය වුණත් කරන්න බැහැ. මහින්ද සුළඟ නිර්මාණය කෙරුණෙ සාමාන්‍ය මිනිසුන් විසින්. නුගේගොඩ රැස්වීමෙන් එය ජනතාවට ම ආපසු දැනෙන්න සැලැස්සුවා. හේතුව ඵලය බවටත් ඵලය හේතුව බවටත් පත්වෙනවා. මේ තමයි චක්‍රීය කතාව. අර බටහිරයන් කඩා ගත්ත සිිරිසේනත් දැන් ආපහු ඇවිල්ල. මිනිසුන්ට ඒකත් අවශ්‍යයි. අප පොළොන්නරුවෙ දි ඒ බව දැක්කා. 2017 වන විටත් මිනිසුන්ට ඒ අවශ්‍යතාව තිබුණා. මා කෙළේ එය ලිවීම පමණයි. එහෙත් අප අතර ඉන්නා සමහරුන්ට සිරිසේන කෙරෙහි තිබුණෙ හා තාමත් තියෙන්නෙ වෛරයක්. 

නන්දිකඩාල් පිටුපස තවත් දැවැන්තයෙක් හිටියා. ඒ ගෝඨාභය රාජපක්‍ෂ. මහින්දගෙන් පසු ගෝඨාභයට තැන ලැබෙන්නෙ මල්ලි නිසා නොවෙයි. ඔහුගේ දැඩි අධිෂ්ඨානය වැනි ලක්‍ෂණ මිනිසුන්ට අවශ්‍ය වූ නිසා. මිනිසුන්ට අවශ්‍ය යි ගෝඨාභයට විශාල බලයක් (ශක්තියක්) දීමට. දහනවය අහෝසි කිරීමට මිනිසුන්ට ඕන ඒ බලය ගෝඨාභයට ලබා දෙන්න. මිනිසුන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය වගේ කතා ගණන් ගන්නෙ නැහැ. මාත් ගණන් ගන්නෙ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ කොළඹ කසිකබල් දේශපාලන විද්‍යා ආයතනවල ඊනියා සාකච්ඡා මණ්ඩපවල හා පරියේෂණ ආයතනවල  හා ජනමාධ්‍ය ආයතනවල. ගෝඨාභය කරන සමහර පත්වීම් ගැන මට ප්‍රශ්නයක් තිබුණත් මේ වෙලාවෙ මා එය ප්‍රශ්නයක් කර ගන්නෙ නැහැ. 

ඔහු මා මියන්මාරයෙ තානාපති ලෙස පත් කරද්දි ඇහුවෙ මගෙන් විතරයි. සමහරු කියන්නෙ මියන්මාරය කියන්නෙ කැඳ රටක් කියල. කැඳවලට පරිභව කරන්න ඉගැන්නුවෙ ඉංගිරිසින්. එත් මා දන්න කාරණය තමයි ආසියාවට ම කැඳ දෙන්න වුණත් මියන්මාරයට පුළුවන් කියන එක. සම්බාධක පමුණුවලා මියන්මාරයට රිදවන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂට වුවමනා වුණෙ මට රට ඇතුළෙම තනතුරක් ලබා දෙන්න. මා එය සුහද ව ප්‍රතික්‍ෂෙප කළා. පසුව තානාපතිකමක් බාරගෙන රටට සේවයක් කරන්න කී විට මා කීවේ මියන්මාරයට හරි තායිලන්තයට හරි යන්නම් කියා. ඒ ථෙරවාදී පදනමකින්. එය කැඳ පදනමක් වන්නෙ පඬි නැට්ටන්ට. 

මා මියන්මාරයේ ජනාධිපතිතුමා සමගත් ඇමතිවරුන් සමගත් නිලධාරීන් සමගත් සාකච්ඡා කරන්නෙ ථෙරවාද පදනමකින්. ජනාධිපතිතුමා ඉතා ඕනෑකමින් මා කී දේ අසාගෙන සිටියා. ඒ සාකච්ඡාවෙ සිටියේ එතුමාත් විදේශ ඇමතිතුමාත් විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛ මූලපත්‍ර පිළිබඳ ප්‍රධාන නිලධාරිතුමාත් (chief of protocol) මාත් පරිවර්තකයකුත් පමණයි. ඔවුන් සියල්ලන්ට ම ඉංගිරිසි පුළුවන් වුණත් ඔවුනොවුන් සමග කතා කෙළෙත් මට කතා කෙළෙත් මියන්මාර භාෂාවෙන්. ජනාධිපතිතුමා කී දේ මට පරිවර්තනය කිරීමටත් මා කී දේ ජනාධිපතිතුමාට පරිවර්තනය කිරීමටත් පරිවර්තක නිලධාරියකු සිටියා. 



මා මියන්මාරයේ අධ්‍යාපන ඇමතිතුමා සමග කළ සාකච්ඡාවේ දී අවධාරණය කෙළෙ අධ්‍යාපනය බෞද්ධ සාරධර්ම මත පදනම් විය යුතු ය කියා. එතැන අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථිර ලේකම්තුමා ඇතුළු උසස් නිලධාරීන් කිහිප දෙනකු හිටියා. ඔවුන් සියල්ලන් ම මා සමග එකඟ වූයේ ආචාරශීලී වීමට පමණක් නොවන බව පැහැදිලි වුණා. ලංකාවේ නම් එවැනි තත්වයක් ඇති වන එකක් නැහැ. ජාතික චින්තනය උගන්නන්නෙ මොකට ද කියල අහාවි.

විස්සෙන් කෙරෙන්නෙ රාජපක්‍ෂලා ශක්තිමත් කිරීමක් නොවෙයි. මහින්ද අමුතුවෙන් ශක්තිමත් කරන්න අවශ්‍ය නැහැ. ඔහුට ජනතා ශක්තිය තියෙනවා. අප 2017 - 18 කාලයෙ කිව්වෙ ඒ ශක්තිය යොදා සිරිසේන රනිල්ගෙන් ගලවා ගන්න. ඒක මට තේරෙන විධියට මිනිසුන්ගෙ ඉල්ලීම. විස්සෙන් ජනාධිපතිට විශාල ශක්තියක් ලැබෙනවා. බලයක් කියනවාට වඩා ශක්තිය කියන වචනය යොදන්න මා කැමතියි. 

විස්සට මුල් වුණෙ 2019 නොවැම්බර් ජයග්‍රහණය. එහි දී සිංහල ජනතාව එකහෙළා කියා සිටියෙ දෙමළ ජාතිවාදී පක්‍ෂවල මුස්ලිම් අන්තවාදී පක්‍ෂවල සහාය නැතිව ආණ්ඩුවක් පිහිටුවීමට සිංහල ජනතාවගේ ඡන්දයෙන් පමණක් ජනාධිපති කෙනකු පත් කර ගන්න බවයි. ඒ ජනාධිපතිට අවශ්‍ය ශක්තිය ලබා දීමට තුනෙන් දෙකේ බලයක් ලැබී තිබෙනවා. එය ලබුණු එකක් බව තරයේ සිහි තබා ගන්න ඕන. එය කිසිවකුගේ දක්‍ෂතාව මත ලබා ගත් එකක් නොවෙයි. නන්දිකඩාල් හි දෙමළ ත්‍රස්තවාදය පැරදුවා නම් 2019 ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතිවාදය පරාජය කළා. එයත් සිංහල සාමාන්‍ය මිනිසුන්ගෙ වැඩක්. අප කරන්නෙ හොද්දට ලුණු ඇඹුල් එකතු කරනව වගේ දෙයක්.

විස්සෙන් ජනාධිපතිතුමාට ලැබෙන ශක්තිය ජනතාවට විරුද්ධ ව යොදා ගතහොත් ඊළඟ ජනාධිපතිවරණයේ දී විපාක ලැබේවි. සුවාදීන කොමිසම් පැත්ත පළාතක තියන්න ඕන නැහැ. රධීකාලා හූල්ලා සුවාදීනයන් තමයි. මට විස්සේ ඇති එක ම ප්‍රශ්නය ද්විත්ව රටවැසියන්ට තනතුරු දැරීමට හැකි වීම. යම්කිසි නිලයක් දරණ ද්විත්ව රටවැසියකුට අනෙක් රට බලපෑමක් කළොත් කුමක් කරාවි ද යන ප්‍රශ්නය පමණයි මට ඇත්තෙ. මේ වන තුරු වෙනත් රටක් එවැනි බලපෑමක් කර නැහැ. එයින්  කියන්නේ නැහැ ඉදිරියේ දී ඔවුන් බලපෑම් නොකරාවි කියාවත් දැනට වෙනත් අයට බලපෑම් නොකරන බවවත්. බටහිර අධ්‍යාපනය දැනුම ජනමාධ්‍ය ආදිය හරහා කොහොමටත් ඒ බලපෑම කෙරෙනවා. මා දැක්කා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නෙදර්ලන්ත චාරිකාවක් සූදානම් කරන බව. ඒවත් වක්‍ර බලපෑම් තමයි. 

ද්විත්ව රටවැසියන් සමහර දෙනකුට විශේෂ දක්‍ෂතා ඇති බව සැබැයි. පඬි නැට්ටන්ට නොතේරුණාට මට අවශ්‍ය ඔවුන්ගේ සේවය රටට අහිමි කිරීම නො වෙයි. ද්විත්ව රටවැසියන්ට රටවල් දෙකකට පක්‍ෂපාති වීමට සිදුවෙනවා. අනෙක් රට ඔවුන්ට යම් බලපෑමක් කළොත් එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි ප්‍රශ්නය.