History

Tuesday, 8 September 2020

විස්සෙන් විසි විය යුතු දේ

සිංහල ලිත් ඉලක්කම්

                        

0  1    2     3      4    5   6   7    8    9



විස්සෙන් විසි විය යුතු දේ


මට අද ලියන්න ඕන විස්ස ගැන. ඒත් ඊට ඉස්සෙල්ල පොඩිකාරණයක් කියන්න ඕන. මා අහගෙන හිටියා චතුර අල්විස් කියනවා කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ ආරක්‍ෂිත ම රටවල් සීයෙන් ලංකාව අනූදෙවැනි ස්ථානයේ පසුවෙනව කියල. මා නම් මේ ඊනියා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සතපහකට ගණන් ගන්නෙ නැහැ. ඕවා යම්කිසි නිර්ණායක මත පදනම් වෙලා කරන ඊනියා සමීක්‍ෂණවල ප්‍රතිඵල. ඉන්දියාව අපට වඩා ආරක්‍ෂක යැයි කියනවා නම් අපට අහන්න තියෙන්නෙ ආරක්‍ෂාව කියන එකෙන් අදහස් කරන්නෙ කුමක් ද, ඒ දැන ගැනීම සඳහා යොදා ගන්න නිර්ණායක මොනවද වගේ ප්‍රශ්න. ඒ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරු අනුව ලකුණු දීමේ ක්‍රමයක් ඇති. 

මා ඇතැම් විට දක්වා ඇති උදාහරණයක් තමයි ක්‍රිකට් තරගයක දී හතරේ පහරක් කියන එකකට හා හයේ පාරක් කියන එකකට දෙන ලකුණු ප්‍රමාණ වෙනස් කළහොත් තරගවල තීරණත් වෙනස් වෙන්න පුළුවන් කියන එක. මේ කිසිවක් වාස්තවික නැහැ. සෑම දෙයක් ම යම් යම් උපකල්පන, නිර්ණායක ආදිය මත වෙනස් වෙනවා. ඒ සියල්ල පුද්ගල බද්ධයි. අප අර ලැයිස්තුවේ අනූදෙවැනි තැන ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නො වෙයි. ඒ වගේ ම බැරිවෙලාවත් කිව්ව නම් අප පළමු රටවල් දහය අතර ඉන්නව කියල ඒකත් ගණන් ගන්න දෙයක් නොවෙයි. අපි පරෙස්සමෙන් ජීවත් වෙමු. කවුද කියල තිබුණ වගේ මුඛ ආවරණ පැළඳීම, අත් සේදීම , වෙන් කිරීම නැත්නම් සමාජ දුරස්ථභාවය ආදිය තව කලක් අනිවාර්ය දේ බවට පත් කර ගනිමු. හමුදාවේ ක්‍රියාකාරීත්වය අගය කරමු.  

මා දන්න හාමුදුරුනමක් මට කිව්ව උන්වහන්සේ මුහුණුපොතේ ලියන ලිපිවලට දක්වන කැමැත්ත (ලයික් දැමිල්ල) උන්වහන්සේ මගේ ලිපියක් බෙදාහදා ගත්තොත්  ලැබෙන්නෙ නැති බව. ඒක එහෙම තමයි. පාඨකයන් උන්වහන්සේගේ ගිණුමට එන්නේ මගේ ලිපි බැලීමට නො වෙයි. මුහුණු පොතේ අයගේ රුචිකත්ව, දේශපාලන මත ආදිය විවිධයි. ලිපිවලට කැමැත්ත දැක්වෙන්නේ විවිධ නිර්ණායක මත පදනම් ව. මුහුණු පොතේ මගේ පිටුවේ ලියන ලිපියකටත් සාමාන්‍යයෙන් කැමති අනූවක් පමණ ලැබෙන්නේ. අර ගෝඨාභය ශක්තිමත් කරමු කියා ලියූ ලිපියට කැමති දෙසීයයක් හිටියා. ඒත් වැඩියෙන් ම කැමති වූයේ අක්තපත්‍ර පිළිගැන්වීම මැයෙන් වූ ලිපියට. එයට කැමති පන්සිය ගණනක් තිබුණා.  සමහර විට මියන්මාර ජනාධිපතිතුමාගේ ඡායාරූපයට කැමත්ත පළ කරන්න ඇති. 

සමහර ජාතිකවදීන් මගේ ලිපිවලට කැමති නැහැ. ඔවුන් හිතන්නේ මා කිසිවක් නොදැන ලියන බවයි. පසුගිය දා  ප්‍රධාන ජාතිකවාදියකු මට කියා සිටියේ විස්ස ගැන දැන ගන්න මනෝහර සිල්වාගේ හා ගුණරුවන්ගේ ලිපි කියවන ලෙසයි. විස්සෙන් හතරවැනි උපලේඛනයේ දිවුරුම ඉවත් කර ඇති බව ඔහු කිව්වා. මොනවා කරන්නද මගේ නොදැනුමට. කෙසේ වෙතත් මා විස්ස කියවා තියෙනවා. ඒ ගැන මගේ අදහස් කියන්නේ මා තව තවත් නිරවුල් වීම සඳහා පමණයි. 

විස්ස ගැන බොහෝ දේ කියන්න තියෙනවා. එහෙත් පළමුව කිව යුත්තේ ජනාධිපතිවරණයටත් කලින් මේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සුදුසු පුද්ගලයන් පත් නොවන බව මා  ප්‍රකාශ කර තිබූ බවයි. මා මේ පාර්ලිමේන්තුවෙන් නව ව්‍යවස්ථාවක් අපේක්‍ෂා කළේ නැහැ. එහෙත් මැතිවරණය ආසන්නයේ දී මා කියා සිටියේ පොදුජන පෙරමුණු සංධානයට තුනෙන් දෙකක් ලබා නොදුන්නොත් ඔවුන්ගේ ජයග්‍රහණයෙන් (ඒ පිළිබඳ සැකයක් තිබුණේ නැහැ) පසු එහි ඩීල් කරුවන් දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් අන්තවාදීන් සමග එක් වී තුනෙන් දෙක ලබා ගෙන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන බවයි. මගේ ගණන් බැලීම්වලට අනුව තුනෙන් දෙක ලබා ගැනීමට ඉඩක් නොතිබූ බැවින් මට ගණුදෙනු (ඩීල්) දේශපාලනය ගැන යම් බියක් තිබුණා.

එහෙත් සංධානයට තුනෙන් දෙකක් ලැබුණා. එය ලබා දීමක් නොවන බව අප මතක තබා ගත යුතුයි. එ ජා ප හිතවතුන් විශාල පිරිසක් පක්‍ෂ අවුල් සහ තවත් හේතු නිසා ඡන්දපොළට නොයෑම හේතුවෙන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබුණා. ඒ ලැබුණු බලයෙන් අද ප්‍රයෝජන ගන්න සූදානමක් තියෙනවා. එය ප්‍රධාන වශයෙන් ම දහනවය වටා ගෙතී තියෙනවා. විස්සක් ගෙන ඒමට මහා තදියමක් තියෙනවා. ඒ තදියම කුමක් සඳහා ද? 

දහනවය ගෙනාවේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් නොව රාජපක්‍ෂ පවුලට හා බොහෝ දෙනා අමතක කළත් සිරිසේනට පහර දීමට. ඔවුන්ට බලයක් නොදීමටත් රනිල්ට බලය ලබා ගැනීමටත්. සම්මජාතියේ ඡන්දයකින් ජනාධිපතිවීමට නොහැකි බව දත් රනිල් ව්‍යවස්ථාවෙන් බලතල ලබා ගැනීමට අදහස් කළා. ඔහුට තුනෙන් දෙකක් තිබුණේ නැහැ. ඔහු සිරිසේන මෙන් ම මහින්ද රාජපක්‍ෂත් රැවටුවා. ඔවුන්ගේ ඡන්ද ගෙන දහනවය සම්මත කර ගත්තා. සරත් වීරසේකර පමණයි එයට විරුද්ධ ව ඡන්දය දුන්නෙ. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකිලා ගෙදර ගියා. 

විස්ස ගෙන එන්නේ රාජපක්‍ෂ පවුලට බලය ලබා ගැනීමට නො වෙයි. විස්සෙන් අගමැති මහින්දට බලතල නැති වෙනවා. නාමල් රාජපක්‍ෂට මා හිතන්නේ ඊළඟ ජනාධිපතිවරණය වෙන කොට කොහොමත් තිස්පහට වැඩි වේවි. අනිත් එක බාප්ප තරග කළොත් ඔහුට ලබන වතාවෙ අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. විස්සෙන් ප්‍රධාන වශයෙන් වෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ ශක්තිමත් කිරීම. මූලික වශයෙන් මගේ එයට විරුද්ධත්වයක් නැහැ. වැඩක් කරන්න නම් බලතල ඕන. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නම් මා ගණන් ගන්නේ නැහැ. බටහිර ප්‍රධාන රටවල්, සිංගප්පූරුව, ජපානය ඊනියා දියුණුවක් අත්කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයකින් නොවෙයි. එ දියුණුව අපේක්‍ෂා කරන්නවුන් දෙබිඩ්ඩන්. ඔවුන්ට ඒ ඊනියා දියුණුවත් ඕන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් ඕන. 

දියුණුවේ කැත


එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. නව ව්‍යවස්ථාවේ කිනම් වගන්ති තිබේවි දැයි අප දනනේ නැහැ. සමහර විට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන එකකුත් නැහැ. ප්‍රශ්නය විස්සෙන් ජනාධිපතිට ලැබෙන බලතල වෙනත් ව්‍යවස්ථාවකින් වෙනස් නොකළොත් වෙනත් ජනාධිපති කෙනකුට ඒ යොදා ගන්න පුළුවන් වීම. නව ව්‍යවස්ථාවක් ගේන බවට සහතිකයක් දුන්නත් ඒ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. 

අපි මේ වගන්ති සමහරක් එකින් එක ගෙන විග්‍රහ කරන්න ඕන. පළමුව  නැවතත් ද්විත්ව රටවැසි බාධකය.  ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳුදා තුන්සිය හැටේ තර්කයක් ගෙනැල්ල. සෑම රටවැසියකුට ම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන කියල ව්‍යවස්ථාවෙ තියනවා. එ නිසා ද්විත්ව රටවැසියන්ට සීමා පනවන්න බැහැ කියලා. 

සමාන අයිතිවාසිකම් කතාව ඇත්ත. ඒත් මේ සමාන අයිතිවාසිකම් හැම තැන ම නැහැ. ඔය ව්‍යස්ථාවෙ ම තියෙනව ජනාධිපති අපේක්‍ෂකයකු වීම මන්ත්‍රීධුරාපේක්‍ෂකයකු වීම සඳහා සපුරාලන්න ඕන සුදුසුකම්. එහෙම සුදුසකම් පනවන්නෙ මොකට ද? එහෙමත් නැත්නම් නුසුදුසුකම්. ඒ සුදුසුකම් නුසදුසුකම් නැතිව ඕනෑම රටවැසියකුට ජනාධිපති ධුරයට මන්ත්‍රිකමකට තරග කරන්න පුළුවන කියල කිව්ව ම ඉවරයි නෙ. දහනවයෙන් කළෙ ඒ සුදුසකම්වලට නැත්නම් නුසුදුසුකම්වලට තවත් දෙයක් එකතු කිරීම. ඒ ද්විත්ව රටවැසි බාධාව. එය තියා ගන්න ඕන පමණක් නොව රජයේ වගකිවයුතු තනතුරුවලට පත් කිරීමේදීත් ඒ බාධකය විස්තීරණය (දික්) කරන්න ඕන. 

ඕනෑම රටවැසියකුට ඕනෑම තනතුරකට පත් වීමක් ලබා ගන්න බැහැ රටවැසියකු වූ පමණින් ම. ජනාධිපතිතුමා ඕනෑම රටවැසියකු ජනාධිපති නීතිඥයකු ලෙස පත් කරන්නේ නැහැ. තනතුරුවලට සුදුසුකම් නුසුදුසුකම් තියෙනවා. එ සමහර සුදුසුකම් නුසුදුසුකම් ව්‍යවස්ථාවෙන් ම පනවනවා. තවත් සමහර සුදුසුකම් නුසුුදුසකම්  ඒ ඒ ආයතන පනවනවා. ඕනෑම රටවැසියකුට ඕනෑම තනතුරක් දැරීමට බැහැ. 


අපි තවත් වගන්ති කිහිපයක් ගැන පසුව කතා කරමු.