History

Tuesday, 20 October 2020

 


විස්ස බලතල හා යොන් මැරිල්ල 


විස්ස, විසි එක හා විසි දෙක දිනවල පාර්ලිමේන්තුවේ විවාද කෙරෙනවා. ආණ්ඩු පක්‍ෂයෙ නම් ඒ තුනෙන් දෙකකින් සම්මත කිරීම සඳහා මන්ත්‍රීවරුන් එකිසිය පනස් දෙනකු නැහැ. එහෙත් විස්ස මේ කඩිමුඩියේ ගේන්න ඇත්තේ ඒ බව නොදැන වෙන්න බැහැ. විසි දෙවැනිදා රාත්‍රියෙහි අපට සියල්ල දැන ගන්න පුළුවන් වේවි. ලිහන්න තියෙන මල්ල ඔබල බලන්න මට ඕන නැහැ. 


වත්මන් ජනාධිපතිට බලතල දෙනවට මගේ විරුද්ධත්වයක් නැහැ. මට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නීතිය ගැන ලොකු විශ්වාසෙකුත් නැහැ. ඒ එකක්වත් අපේ නිර්මාණ නොවෙයි. අපි හදාගත්ත දේ නොවෙයි. ඒවා අධ්‍යාපනය වගේ ම අපට ඉංගිරිසින්ගෙන් හා ලන්දේසින්ගෙන් ලැබුණු දේ. ඒත් ඒ එකක්වත් බටහිරයන් කරන අන්දමට කරන්න අප දන්නෙ නැහැ. මා එයින් කියන්නෙ බටහිරයන් අනුකරණය කරන්න නො වෙයි. 


බටහිර හොඳ උගතුන් බුද්ධිමතුන් ඉන්නවා. හොඳ කියල කිව්වෙ ඔවුන්ගෙ ක්‍රමය වෙනුවෙන්. ඔවුන් ඒ ක්‍රමයෙහි නිර්මාණශීලියි. ඔවුන්ට ඒ ක්‍රමයෙහි දැනුම සංස්කරණය කරන්න පුළුවන්. ඔවුන් ඒ චින්තනයෙ ඉන්නවා. මෙරට උගතුන් ඉන්නවා. ඒත් බුද්ධිමතුන් නැහැ. මා බුද්ධිමතකු කියන්නෙ දැනුමක් සංස්කරණය කරන්න පුළුවන් අයකුට. මා දන්නවා ලංකාවෙ උගතුන් ඔය එක් එක් සම්මන්ත්‍රණවල දී ඉදිරිපත් කරන පත්‍රිකාවල තත්වය. මා ඒ සෑම පත්‍රිකාවක් ම කියවල නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. කිසිම පත්‍රිකාවක් එවැනි සම්මන්ත්‍රණයකදිවත් ඉදිරිපත් නොකරන අයත් උගතුන් අතර ඉන්නවා. මෙරට උගතුන්ට බටහිර චින්තනය නැහැ. ඉතින් ඔවුන් බටහිර දැනුම සංස්කරණය කරන්නෙ කොහොම ද?


අර යොන් මැරිල්ල කතාවෙ නාවිකයන් හිටවන්න ඕන කොහොමද කියල හිතල බැලුව ද? මා අහල තියෙනවා ඒ ගැන කවියක් තියෙනවා කියල. දන්න කෙනකු ඒ කවිය මට එවනවා ද? සාම පරෙවියන් බලන ගමන් කවිය කියන්න පුළුවන්. උනුත් එක එක රටාවලට වහල පණුවන් කනවා. යොන් මැරිල්ල අපට කාගෙන්වත් ලැබුණු එකක් ද? අපේ ම සංස්කරණයක් ද? මා ඒකත් දැන ගන්න කැමතියි. ලංකාවෙ බුද්ධිමතුන් බිහිවීම නැති වුණෙ කවද ඉඳන් ද?


බටහිර බුද්ධිමතුන්ට ප්‍රශ්නයක මුලට යන්න තේරෙනවා. ඔවුන්ගෙ ක්‍රමයෙහි තමයි ඒක කරන්නෙ. ඒත් අපේ උගතුන්ට එහෙම හැකියාවක් තියෙනවා ද? මෙහෙම එකක් වුණොත් කොහොම ද කරන්නෙ කියල එහෙම එකේ තියෙනවා ද? ඒක තමයි අපේ ක්‍රමය. විශ්වවිද්‍යාලවල කියල වෙනසක් නැහැ. නීති දාන්නෙ මොකට ද කියල හිතන්නෙ නැහැ. මා නම් නීති නවල තියෙනවා අවශ්‍යතාව අනුව. 


අපට අවශ්‍ය අවශ්‍යතාව අනුව නිර්මාණශීලීව වැඩ කරන අය මිසක් ගිය පාර කෙළෙ මෙහෙමයි මේ පාර කරන්නෙ එහෙමයි කියන අය නො වෙයි. මා හිතන්නෙ ජනාධිපතිතුමාටත් අවශ්‍ය ඒක කියල.  කොළඹ විශ්වවිද්‍යාලයෙහි අර කඩිනම් පාඨමාලාව වෙලාවෙ මා එහෙම වුණ නිසා මෙහෙම කරන්න කිවුවෙ නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයෙ ශිෂ්‍යයෙක් විභාගෙට පරක්කු වෙලා ආවම එහෙම එන්න බැහැ කියල මා කිවුවෙ නැහැ.


බටහිර ගණිතය පට්ටම පට්ටපල් බොරුවක් වුණත් ඒකෙ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. ගණනක් දුන්න ම ඒ වගේ ගණනක් කලින් හදල තියෙන්නෙ කොහොම ද කියල හොයල එහෙම නම් මෙහෙම හදමු කියල කියන එකක් නො වෙයි බටහිර ගණිතය. ඒත් මගේ එතරම්ම දීර්ඝ නොවන විශ්වවිද්‍යාල ඉගැන්වීමේ දී මා දැක ඇති දේ තමයි එහෙම නම් මෙහෙම හදමු ක්‍රමය තමයි භාවිතා වෙන්නෙ කියන එක. මූල ධර්ම ටික පමණක් උගන්වනවාට සිසුන් කැමති නැහැ. එක එක විධියෙ ගණන් හදන හැටි කියල දෙනවට තමයි කැමති. එහෙම ආවොත් මෙහෙම කරන්න තමයි දන්නෙ. ඒ කොහාමවත් නාවොත් එදාට හාන්සියි. උපකාරක පංතිත් හාන්සියි.


යොන් මැරිල්ල බටහිර ගණිතය අනුවත් හදන්න පුළුවන්. ඒත් ඒ වගේ එකක් උගන්නල නැති නිසා ප්‍රශ්නයක් වෙනවා. මා පොඩි හෝඩුවාවක් දෙන්නම්. අපි වෙලාව බලන විට පැය ගාන හරි හෝරා ගාන හරි දිගින් දිගට ම ගෙනියන්නෙ නැහැ. පැය කියන්නෙ අපේ ක්‍රමය බවත් හෝරා කියන්නෙ ඉංගිරිසි ක්‍රමය බවත් කියන්න ඕන. අපිට තිබුණෙ පෑතැටිය. අපි ව්‍යවහාර කළෙ තුන්තිස් පැය වගේ යෙදුම්. දවසකට පැය හැටක් තිබුණ. තුන්තිස්පැය කිව්වෙ දවස් එකහමාරකට. දවසකට හෝරා නම් විසිහතරයි. 


සුපුරුදු පරිදි අප දැන් මෙලෝ හසරක් නැතිව හෝරාවට පැය කියල කියනවා. පැයට පැය දෙකහාමාරක් තියෙනව කියනවා. පඬි නැට්ටකු කියයි මට සංගත ව යමක් කියන්න බැහැ කියල. පැයකට පැය දෙකහමාරක් තියෙන්නෙ කොහොම ද කියල අහාවි. ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් අපි දැන් තියෙන විධියට පැය දොළහෙන් නවත්තනවා. ඊළඟට ආයෙත් එකෙන් පටන් ගන්නවා. අර විසිහතර පැයේ ඔරලෝසුවක් නැත්නම් අප දහතුනට කියන්නෙ එක කියල. මේ චක්‍රීය ක්‍රමයක්. යොන් මැරිල්ලත් චක්‍රිය වැඩක්. රවුමක නෙ නාවිකයන් හිටවන්නෙ. ඉන් පස්සෙ නවයෙන් නවය නෙ ගණන් කරන්නෙ. කාට ද චක්‍රීය චින්තනය තේරෙන්නෙ නැත්තෙ. 


දැන් විස්සත් එක විධියක චක්‍රයක යැමක්. මේක පොඩි චක්‍රයක්. ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙ පොඩි රවුමක් යෑමක්. පොඩි චක්‍රීය චලිතයක්. දහඅට ගෙනාවා. ඒක නැති කරන්න දහනවය ගෙනාවා. ඒක නැති කරන්න විස්ස ගේනවා. දැන් විසිදෙවැනිදාට පස්සෙ අපි ඉන්නෙ දහහතේ ද? එහෙමත් නැහැ. තරුණ කාලෙ මා අර නිෂේධයේ නිෂේධය කියල මාක්ස්වාදයෙ උගන්වන කාරණෙ කියවල තියෙනවා. ඒ දැන් මගේ වයසෙන් තුනෙන් එකකටත් අඩු කාලෙ. නිෂේධයෙන් නිෂේධ වුණාට පස්සෙ අර හිටපු තැනට ම යන්නෙ නැහැ. එහෙම වෙන්නෙ මොකද කියල හෙගල්ගෙන් අහන්න වෙයි. හෙගල් නැති නිසා පේරාදෙණියෙ දර්ශන අංශයේ පුෂ්පකුමාරගෙන් අහන්න. පරණ ට්‍රොට්ස්කිවාදියො එක්ක තමයි ඕව කතා කරන්න හොඳ. ට්‍රොට්ස්කි තම පළමු පෙම්වතිය නොවන්න ගණිතඥයෙක් වෙන්න තිබුණ. පළමු පෙම්වතිය තමයි ඔහුට විප්ලව තෙල බෙදල තියෙන්නෙ. 


විස්සෙන් පස්සෙ අපි දහහතට ම යන්නෙ නැහැ. විස්ස කාගෙ ජයග්‍රහණයක් ද කියල මා කියන්නෙ නැහැ. මුල් විස්සත් කිහිප වතාවක් ම සංශෝධනය වුණා නෙ. මට තිබුණු මූලික ප්‍රශ්නෙ වත්මන් ජනාධිපතිට බලතල දීල ඔහුගෙන් පස්සෙ වෙන අයට ඒ බලතල නොදෙන්නෙ කොහොම ද කියන එක. ඒක නම් හරියට ම විසඳිලා නැහැ. ඒක හරියට යොන් මැරිල්ලෙ යෝනයකු (ග්‍රීකයකු) ඉන්න ඕන තැන සිංහලයකු හිටිය වගේ. එමෙත් නැත්නම් සිංහලයකු ඉන්න ඕන තැන යෝනයකු හිටිය වගේ.