History

Thursday, 22 October 2020

ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක්

 ජාතික ව්‍යාපාරයට තීරණාත්මක දවසක්


අද රටේ තීරණාත්මක ම දවසක්. කාට හරි කියන්න පුළුවන් හැම දවසක් ම තීරණාත්මකයි කියල. එහෙම නොවෙයි. අද විස්සට ඡන්දය විමසන දවස. කිසිවකු නොසිතූ ආකාරයට ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට ඇති බාධාව තවත් පළල් කර වෙනත් තනතුරු සඳහා ද එය බලපාන අන්දමට විස්ස සකස් කළ යුතු බවට රටේ පමණක් නොව පිටරට සිටින සිංහලයන් අතර ද මතයක් ඇති වෙලා තියෙනවා.

මා ඊයේ කළ යෝජනාවට ඇතැමුන් කිපිලා. හතරවැනි උපලේඛනය සංශෝධනය කරන්න ඕන කියන එක සටන දියාරු කිරීමක් හැටියට ඇතැමුන් සලකලා. ඉතාලියෙ ජීවත්වන අයකු කියනවා එයා මුලින් හිතුවෙ මා විහිළුවක් කරනව කියල. පස්සෙ තමයි තේරුණෙ මා සටන පාවා දීල කියල. කාන්තාවක් සටන දියාරු කිරීම ගැන මට දොස් පවරල. කොළඹ විශ්වවිද්‍යාලයෙ ශිය්‍යයකු හැටියට හිටිය ඕස්ත්‍රේලියාවෙ ඉන්න ප්‍රබුද්ධයෙක්, ඕස්ත්‍රේලියාවෙ ද්විත්ව රටවැසියන්ට ඇමති තනතුරු දරන්න බැරි බවට කරුණු ඉදිරිපත් කරල. ඔහු මෙච්චර කල් කොහෙද හිටියෙ කියන එක ප්‍රශ්නයක්. මා පසුගිය වසර කිහිපයෙහි දෙවතාවක් ම ඕස්ත්‍රේලියාවට ගිය නමුත් ඔහු එක වතාවක්වත් හමුවන්න නොහැකි වුණා. මහා සංඝ රත්නය මගේ ඊයේ යෝජනාව විසි කරල. උන්වහන්සේ බොහොම ඉදිරියෙන්.

ඉතා පැහැදිලිව ජාතික ව්‍යාපාරයෙ මට වඩා ඉදිරියෙන් ඉන්න සටන්කාමීන් ඉන්නවා. ඔවුන්ට ඉඩ දීල අයින් වෙන්න ඕන ද කියල මා කල්පනා කරමින් ඉන්නෙ. කොහොමටත් දියාරු වැහැරුණු මහල්ලන් තරුණ තරුණියන්ට ඉඩ දීල අයින් වෙන්න ඕන. ඒත් ගුණදාස අමරසේකර නම් එහෙම කරන්නෙ නැහැ. ඔහු ප්‍රකාශ කියවීම අතින් දිනෙන් දින ඉදිරියට යනවා. රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්නෙ මොකට ද කියලත් හිතෙනවා. කොහොමටත් ජාතික ව්‍යාපාරයෙ බොහෝ දෙනකුට මා ප්‍රිය නැහැ.

අද රටේ තීරණාත්මක දවස වෙන්නෙ ඒ හින්ද ම නොවෙයි. අද ජාතික ව්‍යාපාරයෙ ඉදිරි ගමන්මග තීරණය වෙන දවස. ඒ කියන්නෙ හෙට ඉඳලා ජාතික ව්‍යාපාරය අලුත් මගක යනව කියන එක නො වෙයි. මේක තුං මං හන්දියකට ඇවිල්ල එක පාරක් තෝර ගන්නව වගේ වැඩක් නො වෙයි. ඒක පේන්න කල් යනවා. දැන් බලන්න එ ජා පක්‍ෂය දිහා. ඒ පක්‍ෂයෙ නායකත්වය හතළිස් ගණන්වල ඉඳල කුරුඳුවත්තෙ. අද එය කෙසෙල්වත්තට මාරු වෙලා. කුරුඳුවත්ත කිවුව ම වෝඩ් පෙදෙස ඉඳන් කේම්බ්‍රිජ් පෙදෙස දක්වා ම අයිති කියල කියන්න පුළුවන්. ඒ කොළඹ හත ම වෙන්න ඕන නැහැ. ජෝන් කොතලාවල හිටියෙ රත්මලානෙ කඳවල. ඒක රත්මලානෙ වුණාට කුරුඳුවත්තට එහා. ජෝන් කොතලාවල අන්තිමට ගිහිල්ල නැවතුණෙ එංගලන්තයේ. ඒත් කඳවල හමුදාවට දුන්න එක නම් හොඳයි.

එ ජා ප පරිවර්තනයට තරමක් කල් ගියා. ආර් ප්‍රේමදාස එය තාවකාලිකව කෙහෙල්වත්තට ගෙනිච්ච. ඒත් රනිල් නායකත්වය ආපහු කුරුඳුවත්තට ම ගෙනාව. ඒත් දැන් වෙන කොට ඩී එස්ගෙ එ ජා ප නමට පමණක් සීමා වෙලා. අද තියෙන්නෙ සජිත්ගෙ එ ජා පක්‍ෂයක්. එයට කියන නම මොකක් ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. යම් විධියකින් එ ජා ප හා සජිත් එකතු වුණොත් ඒ එකතු වෙන්නෙ සජිත්ගෙ එ ජා පක්‍ෂය හැටියට. කුරුඳුවත්තෙන් කෙහෙල්වත්තට මාරු වීම දැන් සම්පූර්ණ වෙලා. රුවන් විජේවර්ධනලාට රවි කරුණානායකලාට තැනක් ලැබෙන්න නම් හැව අරින්න ඕන වේවි.

ශ්‍රී ල නි පක්‍ෂය එයට වඩා ටිකක් වෙනස්. එය ලිබරල් පක්‍ෂයකින් ජාතිකවාදී පක්‍ෂයකට මාරුවෙලා 2010 මැතිවරණයෙන් ලොකු ජයග්‍රහණයකුත් ලැබුවා. ජනාධිපතිවරණයත් උඩින් ම දිනුව. ඒත් ජාතිකත්වය පසුව අමතක කළා. ඒ උඩ පක්‍ෂය කැඩුණා. විජාතික බලවේගවලට සිරිසේන යොදා ගන්න පුළුවන් වුණා. 2015න් පස්සෙ ශ්‍රී ල නි ප දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ සමග මහින්ද හුළඟ හමන්න පටන් ගත්තා. ඒක කවුරුන්වත් ඇති කළ හුළඟක් නො වෙයි. එය ජනතාව ම ඇති කළ හුළඟක්. හුළඟත් හුළඟේ නිර්මාතෘවරුත් ජනතාව. ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂවරයකු ළඟ දි කියල තිබුණලු මනස මනසේ ම නිර්මාණයක් කියල.

මහින්ද හුළඟත් එක්ක ජාතික ව්‍යාපාරයත් හිටිය. ජාතික ව්‍යාපාරය කිවුවට මාධ්‍ය ජාතික ව්‍යාපාරයෙ කොටස් රාශියක් තියෙනවා. බොහෝ වෙලාවට එකාට එකා නැහැ. ඒ වුණත් ජනතාව අතරෙ ජාතිකත්වයක් තියෙනවා. ජාතික ව්‍යාපාරය තියෙන්නෙ ජනතාව අතර මිසක් මාධ්‍ය සාකච්ඡාවල හරි නිවේදනවල හරි නොවෙයි. ජනතාවගෙ ජාතිකත්වය අද වර්ධනය වෙලා. අද ඒ ජනතාවට නායකත්වය දෙන්න හරිහමන් පුද්ගලයකු නැහැ. පේන්න ඉන්න හුඟ දෙනෙක් මයික් ටයිසන්ල විතරයි. ඒක තව තවත් පෙනේවි.

මහින්ද හුළඟ ඇති වුණාට ඒකට දේශපාලන නමක් තිබුණෙ නැහැ. ඒ හුළඟ උඩින් නම් කරපුු පක්‍ෂය තමයි පොදු ජන පෙරමුණ. ඒ පක්‍ෂයට මන්ත්‍රීවරු ඉන්නවා. ජනයා ඡන්දෙ දෙනවා. පක්‍ෂ සංවිධායකයා මන්ත්‍රීවරුන් රැක බලාගන්නවා. ජනයා ඉන්නෙ හුළඟෙ. ඒ කියන්නෙ ජනයාට හුළං කියන එක නොවෙයි. මහින්ද රාජපක්‍ෂ එක්ක හිටිය ජනයා අද ගෝඨාභය රාජපක්‍ෂ එක්ක ඉන්නවා. හුළඟ දිගට ම හමනවා.

මුළු ලොව ම ඊනියා ජාත්‍යන්තරය වගේ ම වාස්විකත්වය, යථාර්ථය වගේ බහුබූත සංකල්පත් කඩා වැටිලා. ජාතිකවාද ඇති වන්නේ ඒ ඒ ජාතියට සාපේක්‍ෂව මිස නිරපේක්‍ෂව නොවෙයි. මෙරට නිරපේක්‍ෂය ගැන කතා කළ වම අද කොහේ ද? මෙරට තියා වෙන රටකවත් වමක් නැහැ. වමාලා ඉන්නවා. ඒත් ඉතා සුළු වශයෙන්. සාපේක්‍ෂතාව කියන්නෙ අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාවකට නොවෙයි. අයින්ස්ටයින් කතා කෙළෙ නිරපේක්‍ෂකත්වයක් එක් එක් නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන්නෙ කොහොම ද කියන එක. අප කියන සාපේක්‍ෂකත්වය එහෙම බහුබූතයක් නො වෙයි. අප කියන්නේ බහුබූත ගැනවත් නොවෙයි. බහු තමයි ඒත් බූත නැහැ.

අපි බලමු ලංකාවෙ ජාතිකත්වයෙ ඉදිරි මග කෙසේ සකස් වෙනව ද කියා.