History

Saturday, 3 October 2020

මැනලයි ක්‍ෂීර කිරි දෙන්නේ මා ඔබට

 මැනලයි ක්‍ෂීර කිරි දෙන්නේ මා ඔබට  





මා මැනල ද පුතේ කිරි (පොල්) දුන්නේ මා උඹට ලිපිය ලියල අත ගන්නත් කලින් ජ වි පෙරමුණේ (මොන බලය වුණත්, වමාලා ටිකක් සහාය දුන්නත් ඒක ජ වි පෙ) මන්ත්‍රිණී හරිනි කියල කාන්තාවන්ට ගෙදර දොර වැඩ කරනවාට වැටුපක් ගෙවන්න ඕන කියල. ඒකට තරමක දිග උත්තරයක් දෙන්න ඕන. මේක ආරම්භයක් පමණයි. මා කලක සිට කියන දෙයක් තමයි කාන්තාවන් රැකියාවකට නොගොස් ගෙදර ඉන්දවීම සඳහා දීමනාවක් ලබා දිය යුතු බව. එයට වැටුපක් ද නැද්ද කියන එක වෙන ම කතාවක්. අප ජීවත් වන්නේ බටහිර නූතනත්ව ක්‍රිස්තියානි සමාජයක නිසා වැටුප කීවත් දීමනාව කීවත් කමක් නැහැ.

මා යෝජනා කෙළේ කාන්තාවන් රැකියා නොකර ගෙදර තබා ගැනීම සඳහා දීමනාවක් ලබා දිය යුතු ය යන්න. එහි තේරුම ළමයි බලාගන්න වැටුපක් දීම නොවෙයි. මව්වරුන් ළමයින් බලා ගැනීම සඳහා ගෙදර ඉන්දවීමට දිරි දීමනාවක් දීම. එහි අරමුණ කාන්තාවන් විශේෂයෙන් මව්වරුන් රැකියාවට යැම වැළැක්වීම. ළමයි බලාගන්නවාට අම්මලාට වැටුප් ගෙවන්න ඕන කියල මා කිසි දා කියා නැහැ. 

ළමයි බලාගැනීමවත් ගෙදර වැඩ කිරීමවත් නූතනත්වයේවත් ඊනියා වැඩක් නොවෙයි. ලංකාවෙත් පිටරටත් මේ නූතනත්වය යටතෙ වැඩට යනව කියන්නෙ ඊනියා රැකියාවක් සඳහා යෑම. ගෙදර වැඩ තියෙන්නෙ නූතනත්ව පාසල් ක්‍රමයෙ යටතෙ පාසල් ළමයින්ට. අනෙක් වැඩ ඊනියා වැඩ නොවෙයි. කොටින් ම ඒවා වැටුප් ගෙවන වැඩ නොවෙයි. කාන්තාවන් ගෙදර වැඩ කරනවාට වැටුපක් ගෙවන්න ඕන නම් පිරිමින් කරන වැඩටත් වැටුපක් ගෙවන්න ඕන ද? කොහොමටත් මා කැමතියි ජ වි පෙ හරිනිගෙ යෝජනාව ගැන කියන්නෙ මොකක් ද කියල දැනගන්න. දැනට මා උපකල්පනය කරනවා හරිනි ජ වි පෙ මතය ප්‍රකාශ කරනවා කියා. 

පිරිමින් හා ගැහැණුන් කියන්නෙ දෙවර්ගයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් ඔය කාන්තා විමුක්ති අම්මණ්ඩිලට, ලිංගිකත්ව අධ්‍යයන කරල තියෙන පඬි නැට්ටියන්ට ඒක මතක් කරල දෙන්න වෙනවා. පිරිමි හිතන විධියත් ගැහුණු හිතන විධියත් සාධාරණ වශයෙන් වෙනස්. මෙහි ව්‍යතිරේක නැහැ කියල මා කියන්නෙ නැහැ. පිරිමි ගැහැණුන්ට වඩා අලසයි ආත්මාර්ථකාමියි. මා නම් අන්තිම අලසයෙක්. කථිකාචාර්යකම මට හොඳට ගැලපුනා. තානාපතිකමත් හොඳ පාටයි. පිරිමින්ට සාමාන්‍යයෙන් ගැහැණුන්ට වඩා වියුක්ත ව හිතන්න පුළුවන්. ගැහැණුන් ගණිතයට එතරම් ලැදියාවක් දක්වන්නෙ නැත්තෙ ඒකයි. ලංකාවෙ පිරිමින්ටත් ඒ තරම් වියුක්ත ව හිතන්න බැරි නිසා අපේ රටෙන් ගණිතඥයන් ප්‍රවාදාත්මක විද්‍යාඥයන් බිහිවන්නෙ නැහැ. 

පවුල ගැන වැඩිය හොයන්නෙ ගැහැණු. ඔවුන් දේශපාලනය ගැන පිරිමි තරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන පිරිමි එසේ කරන්නේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ආදිය කියන්න පුළුවන්. එහෙත් එසේ කරන්නේ වැඩි පුර ම තමන් වෙනුවෙන්. ඒක පිරිමි ආශාවක්. තමන්ට ලැබෙන බලය කීර්තිය ආදියත් එයට බලපානවා. පාර්ලිමේන්තුවෙ සහ වෙනත් සභාවල පිරිමින්ට සමාන ගැහැණු සංඛ්‍යාවක් ඉන්න ඕන කියන එක ඔය ගැහැණු පිරිමි සමානත්වය වැරදි කොණෙන් අල්ල ගත්ත නූතනත්ව කතාවක්. 

පවුල් එකට බැඳ තියන්නෙ ගැහැණු. පවුල කිවුවම අද නූතනත්ව ඊනියා පුංචි පවුල ගැන පමණක් නොවෙයි මා කියන්නෙ. අර පඬියන් විස්තෘත පවුල කියල හඳුන්වන එක. නූතනත්වය විසින් ඒ පවුල කඩා දැමිලා. අර පුංචි පවුලත් කඩා දැමෙමින් ඉන්නෙ. ලංකාවෙ පිරිමිත් ගැහැණුත් අනවශ්‍ය ප්‍රමාණයකට නූතනත්වය පස්සෙ යනවා. අපට දැන් අර විස්තෘත පවුල ටිකක් හරි මතක් වෙන්නෙ අවුරුදු කාලෙට. 

අපි වැටුප් ලබන රැකියාව ගැන ඕනවට වඩා හිතනවා. මියන්මාරයෙ තවමත් පවුල් සම්බන්ධතා අපට වඩා බෙහෙවින් තියෙනවා. අම්මට තාත්තාට සාත්තු කරන්න සමහරු රැකියාව අත්හැරල යනවා. ඔවුන්ට එය ප්‍රශ්නයක් නො වෙයි. කාට හරි බැංකු ණයක් ගෙවාගන්න බැරි වුණොත් පවුලෙ සියල්ලන් ම හැකි පමණින් ණය ගත් අයට ආධාර කරනවා. ඒකකය පවුල මිසක් පුද්ගලයා නොවෙයි. පුද්ගලයා ඒකකය වන්නෙ ප්‍රමුඛත්වය ලබන්නෙ නූතනත්වයෙ. 

මියන්මාරයෙ වසන සිංහලයකු මට කී දෙයක් තමයි මියන්මාර වැසියන් බිරිඳගේ හරි ස්වාමියාගෙ හරි නෑයන්වත් (ඊනියා ඉන් ලෝස්) තමන්ගෙ වගේ සලකනව කියල. අපෙත් තවමත් සමහර පළාත්වල එහෙමයි. අපේ කතාවක් තියෙනවා ලිඳට  බහින කොට කඹේ දෙන්නෙ මස්සිනාට කියල. ඒත් මේ ඉන් ලෝස් සංකල්පය ආවට පස්සෙ ඉංගිරිසියෙන් හරි සිංහලෙන් හරි ඉන් ලෝස්ල ලොස් එකක් වෙලා, පාඩුවක් වෙලා. ඒ ගොල්ල නෑයන් වෙන්නෙ නීතියෙන් මිසක් බැඳීමෙන් නො වෙයි.  නීතියෙන් සහෝදරයා මිසක් බැඳීමෙන් සහෝදරයා නො වෙයි. 

ගැහැණුන් දේශපාලනඥයනන් වුණා ම හොඳට හිටින අවස්ථා තියෙනවා. ඒ ගැහැණුන් පවුල කියන සංකල්පය පළල් කර ගත්ත ම. බණ්ඩාරනායක මැතිණිය එයට හොඳ ම උදාහරණය. ඇගේ පවුලට ඇය සලකන්න ඇති (රත්වත්තෙල නෑකම ප්‍රයෝජනයට ගත්ත කියල නම් මා හිතන්නෙ නැහැ). එහෙත් ඇයට ජාතිය ම පවුලක් හැටියට සලකන්න පුළුවන්කම තිබුණා. 

අප කරන වැඩ මනින්න බැහැ. වැඩක් මනින්නෙ කොහොම ද කියන එක මට තේරෙන්නෙ නැහැ. යම්කිසි නිර්ණායක යොදා ගෙන අපි වැඩ මනිනවා. උගතුන් කරන වැඩ මානසික වැඩ ශාරීරික ව කරන වැඩවලට වඩා වටිනවා කියල අපි හිතනවා. උගතුන්ට වැඩියෙන් වැටුප් ඉල්ලනවා. සමහරු කියනව මා අහල තියෙනවා අපි මෙච්චර මහන්සියෙන් පාඩම් කෙරුව ඒවට ගෙවන්න ඕන කියල. ඒ ආයෝජන කතාවක්. නූතනත්වයේ ධනවාදී ක්‍රමයෙ කතාවක්.  ඒ අනුව නම් මට සතපහක් ගෙවන්න ඕන නැහැ. මා මහන්සිලාවෙලා පාඩම් කරලත් නැහැ වෙන කිසිම දෙයක් කරලත් නැහැ. මා කැමති දේ පමණක් කරනවා. මා අංක එකේ අත්මාර්ථකාමියෙක් වෙන්න ඇති. අද නම් පරෙයියන් ආවෙ නැහැ. උන්ට වැඩ ඇති. 

අර පරණ සමාජවාදී කතාවක් තිබුණ තමන්ට හැකි ප්‍රමාණයට සමාජයට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සමාජයෙන් කියල. ඒක හොඳ කියමනක් ඒත් අවශ්‍ය ප්‍රමාණය තීරණය කරන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.මට අග්ගඤඤ සුත්‍රය මතක් වෙනවා. වැටුප් තීරණය වෙලා තියෙන්නෙ සාධාරණ වශයෙන්  නූතනත්ව ඕනකම් අනුව. නූතනත්වයට අවශ්‍ය දේ අනුව තමයි සාමාන්‍යයෙන් වැටුප තීරණය වෙන්නෙ. 

ගැහැණුන් ගෙවල්වල කරන වැඩට කීයක් විතර ගෙවන්න ඕනෙ කියල ද ජ වි පෙ කියන්නෙ. ඇතැම් ගෙවල්වල මෙහෙකාර ස්ත්‍රීන්ට ගෙවන වැටුප ගෙවුවොත් ඇති ද? නවීන ආම්පන්න තියෙනවා නම් වැටුප අඩු කරන්න ඕන ද වැඩි කරන්න ඕන ද? කොහොමත් ගෙවන්න ඕන වැටුප තීරණය කරල එය මෙහෙකාර ස්ත්‍රීන්ට ගෙවල වැඩේ පටන් ගමු ද? ලාල්කාන්තට මෙහෙකාර ස්ත්‍රීන්ගෙ වෘත්තීය සමිතියක් හදාගන්නත් බැරි වෙන එකක් නැහැ. 

අපිට නූතනත්ව සංකල්පවලින් පහසුවෙන් ඉවත් වෙන්න බැහැ. ඒත් අපි ඒ සඳහා උත්සාහ ගන්න ඕන. මා අදහස් කරන්නෙ ගැහැණුන් පුළුවන් තරම් ගෙදර ඉන්න ඕනෙ කියල. ඒ දරුවන් හදා ගන්න. පවුල වෙනුවෙන්. අද ගැහැණුන් ඊනියා රැකියාවලට යන්නෙ ආශාවට නොවෙයි. පවුලේ අවශ්‍යතා සඳහා වියදම් කිරීමට කීයක් හරි හොයා ගන්න. මේ අවශ්‍යතාත් ප්‍රශ්නයක්. මියන්මාරයේ වැසියන්ට අපට තරම් අවශ්‍යතා නැහැ. මා කියන්නේ වැඩවසම් කතා කියා කාට හරි කියන්න පුළුවන්. 

අම්මලා ගෙදර තියා ගන්න තමයි මා ඔවුන්ට යම් දීමනාවක් දිය යුතු ය කිවුවෙ. නැතුව ළමයි බලාගන්නවාට වැටුපක් නො වෙයි. ළමයි බලාගන්න එක හදාගන්න එක තමයි අම්මලාගෙ පළමු කාර්යය ඒක වැඩක් නො වෙයි. නූතනත්වය විසින් ඒ කාර්යය වළක්වනවා. මා කියන්නෙ හැම ගැහැණියක් ම ගෙදරට වෙලා ඉන්න කියන එක නොවෙයි. ගැහැණු කිහිප දෙනකු ඇති සමාජයට පොදුවේ අවශ්‍ය දේ කරන්න පුළුවන්. ඒ ගැන වෙන ම සලකන්න ඕන. සාධාරණ වශයෙන් කතා හැදීම යෝජනා කිරීමත් නූතනත්වයේ අංගයක්.

ඉස්සර අපි සහේට ගත්ත එක්ක නෙ කෙරුවෙ. සහේට ගත්තෙ කන්තෝරුවෙ වැඩ කරන්න නො වෙයි. එකට පවුලෙ වැඩ කටයුතු කරන්න. සහේට ගත්ත ම ගෙවුව වැටුපක් නැහැ. අපි එකට කාල බීල ළමයි හදාගෙන ඉන්න බැරි සමාජයක ජීවත් වෙනවා. හැම දෙයක් ම මනින්න බැහැ. මනින්න ඒකක තියෙන්න ඕන. දුර බර ආදිය නම් මනිනවා. මනින්න උපකරණ තියෙනවා. නූතනත්වය මනිනවා, මනින්න ඒකක හා උපකරණ හදනවා. ඔය ඊනියා වැඩ මනින්නෙ මොකෙන් ද?   

මා මේ ලිපියෙ මාතෘකාව නූතනත්වයට ඕන විධියට සකස් කළා. පුතා සහ උඹ කියන වැඩවසම් වචන අස් කළා.