History

Saturday, 31 October 2020

චන්න ජයසුමනගෙ සුදුසුකම

 චන්න ජයසුමනගෙ සුදුසුකම 


අපේ රටේ තරම් දේශීය දැනුමට ගරහන්න සූදානම් වෙච්ච ඊනියා උගත් පිරිසක් ලෝකෙ වෙන කිසිම රටක ඉන්නවා කියා හිතන්න බැහැ. ඒ මෙරට ලන්දේසීන් හඳුන්වා දී පසුව ඉංගිරිසින් දිවයින පුරා පැතිර වූ අධ්‍යාපන ක්‍රමයෙත් ප්‍රතිඵලයක්. එහෙත් එය බටහිර අධ්‍යාපනයට පමණක් ම සීමා කරන්නත් බැහැ. දේවනාගරි අක්‍ෂරවලින් තම මුහුණුපොතේ ගිණුමේ නම ලියන ආයුර්වේද වෙදමහතකු යැයි සැලකිය හැකි අයකුට අනුව අප පාරම්පරික ප්‍රතිකාර ගැන කියන්නේ එවැනි පාරම්පරික වෙදමහතුන් දැන් නැති බව දැන දැන ව්‍යාජ පාරම්පරික ප්‍රතිකාර පෙන්වා ඉන්පසු ඒ අසාර්ථක බව පෙන්වීමට. ඔහුට කේන්ති ගිහින් ඇත්තේ මා පාරම්පරික වෙදකම ගැන කියන දේට වෙන්න බැහැ. දේවනාගරී අක්‍ෂරවලින් නම ලියන පාරම්පරික වෙදමහතුන් ගැන මා දන්නේ නැහැ. බටහිර දැනුම ඉදිරියේ දණ්ඩ නමස්කාර කරන තාර්කික බෞද්ධයකු යැයි සිතිය හැකි පඬි නැට්ටකුට ද ඊයේ අර වෙද සංගමය ගැන කී දේ විස වෙලා. ඔහුට අනුව වෙද සංගමය නීති රීති වෙනස් කිරීම පාරේ වමෙන් යනව ද දකුණෙන් යනව ද කියන එක වෙනස් කරනව වගේ භයානක වැඩක්. තාර්කික බෞද්ධයන් කාළාම සූත්‍රය පළමුව හදාරනවා නම් හොඳයි. ඒත් කාලෝගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයට නොවෙයි. 


මේ සියල්ල මතුවන්නේ චන්න ජයසුමන අර පැණියක් ගැන කීම සමග. ඒ පැණිය ගැන නම් මා දන්නේ නැහැ. එහෙත් පාරම්පරික වෙදමහතුන්ගේ බේත් හේත් ගැන මා අසා තියෙනවා. මා ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙනත් තියෙනවා. ඒ අතර දේශපාලන නිඝන්ටයින් චන්නගේ ආචාර්ය උපාධිය ප්‍රශ්න කරනවා. අර පඬි නැට්ටන්ගේ කතාවලට අපි වෙන දවසක ඉඩක් තිබුණොත් එමු. මා හිතුවා චන්නගේ ආචාර්ය උපාධිය ගැන යමක් කියන්න ඕන කියල. චන්න එයට අකමැති වෙන්නත් පුළුවන්. එහෙත් චන්නගේ ආචාර්ය උපාධියට එල්ල වූ බාධක ගැන මට මුල ඉඳන් කියන්න පුළුවන්.





පළමුවෙන් කියන්න ඕන ඉතා වැදගත් කාරණයක් තියෙනවා. චන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලැබුණු එම්බීබීඑස් උපාධියක් තියෙනවා. එය දෙවැනි පන්තියේ උපාධියක්. මෙරට විශ්වවිද්‍යාලවල උපාධි පිරිනැමීමේ දී පළමු පන්තියේ දෙවැනි පංතියේ යනුවෙන් වර්ග කෙරෙනවා. බොහෝ දෙනාට ලැබෙන්නේ පන්ති රහිත උපාධි සාමාර්ථ. ඇතැම් විශ්වවිද්‍යාලවල ඇතැම් පීඨවල දෙවැනි පංතියේ උපාධිය ඉහළ ශ්‍රේණිය පහළ ශ්‍රේණිය යනුවෙන් කොටස් දෙකකට කඩනවා. පේරාදෙණියේ වෛද්‍ය පිඨයේ එහෙම කැඩීමක් එකල තිබුණේ නැහැ. දැන් තියෙනවා ද දන්නේ නැහැ. චන්නට පේරාදෙණියෙන් දෙවැනි පන්තියේ උපාධියක් ලැබුණා කියා කියන්නේ එහි ඉහළ පහළ ශේ්‍රණියක් දක්වන්න බැරි නිසා. 


චන්නගේ උපාධි ප්‍රතිඵල අනුව ඔහු රජරට විශ්වවිද්‍යාලයේ භිෂජ්වේදය අධ්‍යනංශයේ කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගනු ලැබුවා. එහි දී ඔවුන් චන්නගේ අවසාන උපාධිය පමණක් නොව උපාධියේ වෙන කොටස් ද සලකා බලන්න ඇති. විශේෂයෙන් ම භිෂජ්වේදය පිළිබඳ ව අදාළ කොටසේ දී (වසරේ දී) මට මතක හැටියට ඔහු ලබාගත්  විශිෂ්ට සාමාර්ථය සලකන්න ඇති. 


චන්න රජරට කථිකාචාර්යවරයකු ව සිටි කාලයේ තමයි අර වකුගඩු රෝග කතාව ප්‍රසිද්ධ වුණෙ. ප්‍රියන්තා සේනානායක මහත්මියගේ අභාවය ගැන මා ලියූ ලිපියේ ඒ ගැන ලියා ඇති. ප්‍රියන්තා සේනානායක කී දේ බටහිර විද්‍යාව අනුුව ඊනියා පරීක්‍ෂණවලට ලක් කිරීමේ අවශ්‍යතාව තිබුණා. චන්නට සේවයේ ස්ථිරවීම සඳහා ආචාර්ය උපාධියක් හරි වෘත්තීය සුදුසුකමක් හරි ලබා ගන්න අවශ්‍ය වුණා. 


ඒ සියල්ල අනුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ආචාර්ය උපාධියකට ලියා පදිංචිය සඳහා ඉල්ලුම් කළා. මේ වන විට ඔහු ගැනත් ඔහු කරන්න යන පර්යේෂණ ගැනත්, නාථ දෙවියන් ගැනත් ප්‍රසි්ද්ධියක් තිබුණා. රටේ බොහෝ බටහිර විද්‍යාඥයන්ගේ බටහිර වෙදමහතුන්ගේ දැඩි විරෝධයක් නාථ දේව මණ්ඩලයටත් මටත් තිබුණා. මොවුන්ට බය නම් මා නාථ දෙවියන් ගැන ප්‍රසිද්ධියේ කියන්නෙත් නැහැ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන්නෙත් නැහැ. අර කතාවක් තියෙන්නෙ යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැ කියල. යකාට බයවෙන්නෙ මොකට ද? අපි යක්කු බොලවු.    

 

හොඳට හරි නරකට හරි මා ඒ දිනවල කැලණියේ විද්‍යා පීඨයේ පීඨාධිපති. දැන් අහන්න පුළුවන් අර සුපුරුදු ප්‍රශ්න. විද්‍යාව පට්ටපල් බොරු කියනව නම් විද්‍යා පීඨාධිපති වෙන්නෙ කොහොම ද? විද්‍යාව පට්ටපල් බොරු නම් ප්‍රියන්ත සේනානායක කී දේ ගැන බටහිර විද්‍යා පරීක්‍ෂණ කරන්නෙ මොකට ද? මේ ප්‍රශ්නවලට කිහිප වතාවක් ම උත්තර දීල තියෙනවා. සාම පරෙවියන් බලන්නෙ නැති වෙලාවට මට නිවාඩුවක් තිබුණොත් මම ආකාශ් බටහිර විද්‍යාවෙ වැඩට යොදා ගන්නවා. 


ඊයෙ නිවාඩු දවසෙ මා ඒ වැඩේ කළේ නැහැ. ඒ වෙනුවට අපි මියන්මාරයෙ ලංකා තානාපති කාර්යාලයෙ සේවය කරන මියන්මාර අය සමග එකතුවෙලා ලංකාවෙ මහජනයගෙ මුදල් වියදම් කරල වස් පවාරන පෝදා උත්සවය පැවැත්තුව. එය මියන්මාරයෙ වැදගත් පෝයක්. ලංකාවෙ මහජන මුදලින් අපි තානාපති නිල නිවස ඒකාලෝක කළා. පින්තුර ටිකක් පස්සෙ පළ කරන්නම්. ලංකාවෙ මහජනයගෙ මුදල් නාස්තිය ගැන ප්‍රශ්න තියෙනවා නම් පැමිණිළි කරන්න. 


චන්නගෙ ආචාර්ය උපාධි ලියා පදිංචි ඉල්ලුම් පත්‍රය විද්‍යා පීඨ මණ්ඩලයෙ උසස් උපාධි කමිටුවට ඉදිරිපත් වුණා ම අහස කඩා වැටුණා. කැලණිය විශ්වවිද්‍යාලයෙ නීති රීති අනුව ආචාර්ය උපාධියකට ලියා පදිංචි වෙන්න නම් එක් පටිපාටියකට අනුව පළමු උපාධියෙන් අවම වශයෙන් දෙවැනි පංතියේ ඉහළ ශ්‍රේණියේ උපාධියක් අවශ්‍යයයි. කැලණියේ මහා විද්‍යාඥයන් ප්‍රශ්න කළා චන්නට දෙවැනි පංතියේ ඉහළ ශ්‍රේණියේ උපාධියක් තියෙනව ද කියල. මා කිවුව නැහැ කියල. එහෙනම් ඒ විද්‍යාඥයන් තීරණය කරන්න සූදානම් වුණා ලියා පදිංචිය දෙන්න බැහැ කියල. මා ඇහුව චන්න දෙන්නෙ නැති උපාධියක් ලබාගන්නෙ කොහොම ද කියල. ඒක අර හාවාගෙ අඟේ පාට අහනව වගේ වැඩක්. හාවාට අං නැහැ. මෙරට ඇතැම් විද්‍යාඥයන්ට තියෙනවා ද දන්නෙ නැහැ. පේරාදෙණියේ වෛද්‍ය පීඨයෙන් දෙවැනි පන්තියේ ඉහළ ශ්‍රේණියේ උපාධි දෙන්නෙ නැති විට මේ විද්‍යාඥයන් චන්නගෙන් එවැනි උපාධියක් ඉල්ලුවා. මා කිවුව පේරාදෙණියෙන් අහන්න කියා එවැනි උපාධි දෙනව ද කියල. අවසානයේ දී ඔවුන්ට සිද්ධ වුණා චන්න ආචාර්ය උපාධියකට ලියා පදිංචි කරන්න. ඔහු තම පර්යේෂණ කටයුතු කරගෙන ගියා. 


එහෙත් මා ටික කලකින් පීඨාධිපති ධුරයෙන් ඉවත් වුණා. ඒ අර මහින්ද මට නාථ දෙවියන්ගෙ ඉල්ලීම අනුව දුන් සේවා දිගුව ඉවර වෙන්න කලින්. කොහොම වුණත් මා ඉවත් වුණාට පස්සෙ අර මහා විද්‍යාඥයන් අනෙක් පීඨවල විශිෂ්ට ශාස්ත්‍රඥයන් ද සමග එකතු වී චන්නගේ ලියා පදිංචිය අවලංගු කළා. දැන් චන්නට යන එන මං නැහැ. ඔහුට නැවතත් වෙනත් මාතෘකාවක් යටතේ වෙනත් විශ්වවිද්‍යලයක ලියා පදිංචි වෙලා පරයේෂණ කරනව කියන එක තමන් කළ පර්යේෂණ ප්‍රතිඵල විසිකරනව කියන එක හා තවත් අමතර කාලයක් වැය කිරීම.  ඔහු කළ හැකි ව තිබූ එක ම දෙය කළා. රජරට විශ්වවිිද්‍යාලයේ ආචාර්ය උපාධියකට ලියා පදිංචි වුණා. 


ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ක්‍රම කිහිපයක් තියෙනවා. යම් අවම කාලයක් උපදේශකයකු යටතේ පර්යේෂණ කර නිබන්ධනයක් ඉදිරිපත් කිරීම එකක්. එහි දී උපදේශකවරයා ඒ විශ්වවිද්‍යාලයේ ම අයකු වන්න හරි ඒ අධ්‍යනංශයේ අයකු හරි වෙන්න ඕන නැහැ. එසේ නැති අවස්ථාවල අදාළ පීඨයේ අදාළ අංශයෙ අයකු දෙවැනිි උපදේශකවරයකු ලෙස පත් කරනවා. නිල වශයෙන් විය යුතු දේ වෙනව ද කියල බලන එක තමයි ඔහුගෙ මූලික රාජකාරිය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙ භෞතික විද්‍යා අංශයෙ පශ්චාත් උපාධි අපේක්‍ෂකයන් දෙදෙනකුගෙ උපදේශක ලෙස, කැලණියේ දර්ශන අංශයේ අයකුගේ ආචාර්ය උපාධි උපදේශකවරයකු ලෙස (දාර්ශනිකයන් ඔළුවෙ අත ගහ ගනීවි), ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ ගණිත අංශයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකගෙ උපදේශක ලෙස කටයුතු කර තිබෙනවා. ඒත් මා වැඩ කෙළෙ කැලණියෙ ගණිත අංශයෙ. කැලණියෙ ගණිත අංශයෙත් කිහිප දෙනකුගෙ උපදේශක ලෙසත් කටයුතු කර ඇති බව ඌන පූරණයක් ලෙසවත් කියන්න ඕන.  


ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ තවත් ක්‍රම තියෙනවා. තමන් කළ පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු පත්‍රිකා විශ්වවිද්‍යාලයකට ඉදිරිපත් කිරීම එක් ක්‍රමයක්.  එහි දී අදාළ විශ්වවිද්‍යාලයේ එකී විෂය උගන්වනවා ද ඒ පත්‍රිකා ඇගයීමට සුදුස්සන් සිටිනවා ද ආදිය වැදගත් නැහැ. නිබන්ධනයක් ඉදිරිපත් කළත් පත්‍රිකා ඉදිරිපත් කළත් අදාළ විශ්වවිද්‍යාලයෙන් ඒ පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂක මණ්ඩලයක් පත් කරනවා. එහි ඒ විෂය ගැන දන්න අය ඉන්නවා. පරීක්‍ෂක මණ්ඩලය ඉදිරියේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයා තම නිබන්ධය හරි පත්‍රිකා හරි ගැන වගඋත්තර කියන්න ඕන. තේ එකකුත් ලැබෙනවා තමයි. එහෙත් තේ බීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අර විෂය ගැන දන්න නිබන්ධනය හරි පත්‍රිකා හරි කියවල එන අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ඕන.


චන්න රජරට දි තෝරා ගෙන තියෙන්නෙ ආචාර්ය උපාධිය සඳහා තමන් කළ පර්යේෂණවල පත්‍රිකා ඉදිරිපත් කරන්න. ඔහු අදාළ වාචික පරීක්‍ෂණයට සාර්ථක ව මුහුණ දීල තියෙනවා. රජරට විශ්වවිද්‍යාලය ඔහුට ආචාර්ය උපාධියක් ප්‍රදානය කරල තියෙනවා. එය නාථ දෙවියන්ගෙන් ලැබුණු එකක් වුණා නම් මා වඩාත් සතුටු වෙනවා. ඒත් මා හිතන්නෙ නාථ දේව මණ්ඩලයෙ විපස්සක දෙවියන් අපේක්‍ෂා කරන මට්ටම ඉතා ඉහළ බවයි.


චන්නගෙ වෘත්තීය සුදුසුකම් ගැනත් වචනයක් කියන්න ඕන. බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රය ගැන මට නිශ්චිතව ම යමක් කියන්න බැහැ. එහෙත් වෘත්තීය ආයතනයක සාමාජිකත්වය හරි අධිසාමාජිකත්වය හරි ලබා ගැනීම එකක්. එය පවත්වාගෙන යන එක තවත් එකක්. සාමාජිකත්වය හරි අධිසාමාජිකත්වය හරි ලබා ගන්න වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕන. පරීක්‍ෂණවලින් සමත්වෙන්න ඕන. බොහෝ වෙලාවට සාමාජිකයන් හරි අධිසාමාජිකයන් හරි දෙදෙනකු අදාළ පුද්ගලයාගේ නම යෝජනා කර ස්ථිර කරන්න ඕන. ඉන්පසු ආයතනයෙ මණ්ඩලයක් රැස්වෙලා නාම යෝජනාව පිළිගන්න ඕන. 


ඇතැම් අවස්ථාවල සාමාජිකත්වය හරි අධිසාමාජිකත්වය පවත්වාගෙන යෑම සඳහා වාර්ෂික ව මුදලක් ගෙවන්න ඕන. මුදල ගෙවන්න බැරි නම් සාමාජිකත්වය හරි අධිසාමාජිකත්වය හරි අහෝසි වෙනවා. මට ආචාර්ය උපාධිය ලැබීමත් සමග ලන්ඩනයේ රාජකීය තාරකා විද්‍යා සංගමයෙ අධිසාමාජිකත්වය ලැබුණා. එහෙත් පසුව එකල පේරාදෙණියෙන් ලැබ වැටුප අනුව ඒ අධිසාමාජික මුදල් ගෙවන්න බැරි වුණා. අධිසාමාජිකත්වය එතැනින් ඉවරයි. එහෙත් මා තවමත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයෙක්. එයට මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. 


චන්න සම්බන්ධයෙන් ගුණදාස අමරසේකරට තවත් යමක් එකතු කරන්න තියෙනව ද කියා මා දන්නෙ නැහැ. මා දන්න තරමින් ඔහුගෙ පියා පාරම්පරික විෂ වෙදමහතෙකු වුණා.