History

Saturday, 14 November 2020

භූමදාන කරන්න ම ඕන ද?

 භූමදාන කරන්න ම ඕන ද?


බටහිර වෙදමහතුන් චන්න ජයසුමන සමග ඇති වෛරය ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා. එයට බටහිර වෙදමහතකු වශයෙන් සම්බන්ධ වුණේ නොදත් දොස්තර කෙනෙක්. ප්‍රතිදෙහ පරික්‍ෂාව ගැන චන්න දුන් සවිස්තරාත්මක පිළිතුරෙන් පසු කටඋත්තර නැති වූ විපක්‍ෂය පැණියක් ගැන ඇහුවා. ඔවුන් හරියට ප්‍රතිජීවක  මිටින් ගෙන උපන් අය වගේ. බටහිර වෙදකම හා දැනුම අද වැල් වටාරන් කියවනවා. බටහිර වෙදමහත්තුරුන්ට කරන්න පුළුවන් රාජකාරිය තමයි කොවිඩ් අලුත්ගේ කරන්නේ. අතන මෙච්චර ලෙඩ්ඩු ඉන්නවා මෙතන මෙච්චර ඉන්නවා අත් හෝදන්න, හුදකලා කරන්න, පරීක්‍ෂා කරන්න. ඒත් අඩු තරමෙන් රෝගයට ලක්විය හැකි අය හඹා යෑම ආදිය ඔවුන්ට කරන්න පුළුවන් ද? එවැනි කාර්යයන් ත්‍රිවිධ හමුදා, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හොඳින් කරනවා. ඒ වැඩේ බටහිර වෙදමහත්තුරුන්ට දෙමු ද? ඔවුන් පළමුවෙන් ඒ සඳහා ප්‍රවේසම් දීමනාවක් ඉල්ලාවි. 


බටහිර වෙදමහතුන් පැණියට විරුද්ධ වන්නේ සියල්ල ඔවුන්ගේ ක්‍රමයට සිදු විය යුතු යැයි විශ්වාස කරන නිසා. ඒ නිසා තමයි ඔවුන් චන්නටත් විරුද්ධ වන්නේ. අද රටටත් ලෝකයටත් තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය බටහිර දැනුම් ආධිපත්‍යය.  


මට අද නැවතත් ලියන්න ඕන භූමදාන පිළිබඳ ව. මුස්ලිමුන් පමණක් නොව කතෝලිකයන් ද භූමදාන කරනවා. ඇතැම් බෞද්ධයන් හා හින්දුන් ද භූමදාන කරනවා. ඒ ඒ අයගේ විශ්වාස, වත්කම් ආදිය එහි දී බලපානවා. ඇතැමුන්ගේ අදහස පසෙන් උපන් අප ආපසු පසට ම යන්න ඕන කියන එක. ඒ දෙවියන් වහන්සේගේ මැවීම හා සම්බන්ධයි. අප ඒ විශ්වාසය ප්‍රශ්න කරන්නේ නැහැ. විශ්වාස ප්‍රශ්න කරන්නේ පඬියන්. 


බෞද්ධයන්ට, විශේෂයෙන් ම ථෙරවාදීනට තමන්ගේ විශ්වාස අනුන් මත ආයුධවලින් හෝ වෙනත් ක්‍රමවලින් පතුරවන්න ඕන නැහැ. බෞද්ධයන් ආක්‍රමණශීලී ව තම ආගමික මතය පතුරවපු අවස්ථාවක් ගැන ඉතිහාසයේ සඳහන් වන්නේ නැහැ. අප හොඳින් දන්නා පරිදි බුදුහාමුදුරුවන් රහතන් වහන්සේ හැට එක් නමකට අනුශාසනා කෙළේ ලෝකයාගේ හිත සුව පිණිස චාරිකා කරන්න කියා. අද සංචරණය කියා වචනයක් යොදා ගැනෙනවා. අප හැසිරෙන්න ඕන. ඒ ධර්මයෙහි. අද ප්‍රශ්නය බෞද්ධයන් ධර්මයෙහි හැසිරෙන්නෙ නැති ව වෙන වෙන හැසිරීම්වලට ප්‍රිය කිරීම. 


මිහිඳු හිමියන් මෙරටට වැඩම කෙළේ අශෝක රජුගේ හමුදාවක් සමග නො වෙයි. අශෝක රජු ඒ ඒ ප්‍රදේශවලට ධර්මදූතයන් වහන්සේ පිටත් කෙළේ ලෝකය බෙදල දීල අල්ලා ගැනීමට නො වෙයි. මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස රජුට ප්‍රකාශ කෙළේ රජු කෙරෙහි අනුකම්පාවෙන් මෙරටට වැඩම කළ බවයි. මෙරටට වෙන කිසිවකු අනුකම්පාවෙන් ආ බවක් මා අසා නැහැ. කඩු තුවක්කු බයිනෙත්තු අරගෙනයි ඔවුන් ඇවිත් අප කම්පා කෙළේ. 


මුස්ලිම් සංස්කෘතියේ පැත්තක් ආක්‍රමණශීලීයි. එහෙත් ඔවුන්ට බටහිරයන්ට වගේ ක්‍රියා කරන්න බැහැ. බටහිරයන්ගේ සටකපටවල මට්ටමට මුස්ලිමුන්ට එන්න බැහැ. අද බටහිරයන් අප වැනි රටවල මුස්ලිමුන් ද යොදා ගන්නවා. අද නම් එය කරෙන්නේ මූලික ව චීනයට විරුද්ධ ව. ඊළඟට බෞද්ධයන්ට විරුද්ධ ව. 


බටහිරයන්ගේ ආක්‍රමණශීලීත්වය අද බයිනෙත්තුවෙන් කෙරෙන්නේ නැහැ. එය කෙරෙන්නේ දැනුමෙන්. එය ඉතා සියුම් ව ලෝකය පුරා ක්‍රියාත්මක කෙරෙනවා. පාසල් විශ්වවිද්‍යාල ඊනියා පර්යේෂණ ආයතන හා ජනමාධ්‍ය එහි දී යොදා ගැනෙනවා. අද ලෝකයට ම එකම දැනුම් පද්ධතියක් දී තිබෙනවා. අද අප ම ඒ දැනුම් කඩුව අපට ම විරුද්ධ ව යොදා ගන්නවා. විශ්වවිද්‍යාල සිසුන් ඉංගිරිසියට කඩුව කියා කියනවා. එය කෙසේ ව්‍යවහාරයට පැමිණියත් කඩුවෙන් කෙරෙන්නේ අපේ දැනුම කපා දැමීම.  දැන් පඬියකු කියාවි මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධ ය කියා.


මුස්ලිමුන්ගේ ආක්‍රමණශීලී සංස්කෘතිය නිසා (ලංකවේ දී එය යොදා ගැණුනේ හා ගැනෙන්නේ බටහිරයන් විශේෂයෙන් ම ඉංගිරිසින් විසින්) , සියවස් දෙකක පමණ සිට සිංහලයන් අතර මුස්ලිම් විරෝධතාවක් තියෙනවා. මුස්ලිමුන් අද භූමදාන ඉල්ලන්නේත් ආක්‍රමණශීලී ව. ඔවුන්ගේ නායකයන්ගේ ඩීල් දේශපාලනයට සිංහලයන් කැමති නැහැ. මේ සියල්ල මැද භූමදානයට එරෙහිව ජනමතයක් ගොඩ නැගී තියෙනවා. 


මුස්ලිමුන්ගේ සහායට බටහිරයන් පැමිණෙනවා. එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධිකාරකවරිය භූමදානය සඳහා මැදිහත් වෙනවා. අද භූමදාන කළ යුත්තේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයයි. මුස්ලිම් භූමදාන ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ ඔවුන්ගේ ආක්‍රමණශීලී සංස්කෘතිය පසුබිම් කරගෙන නොවෙයි. හැකි නම් අප ඔවුන්ගේ ආගමික විශ්වාසවලට ඉඩ දිය යුතුයි. එහෙත් අද අවිශ්වාසයක් තියෙනවා. වතුරෙන් රෝගය පැතිරෙන්න පුළුවන් ද? අප එය දැන ගන්නේ කෙසේ ද? 


බටහිර වෙදකමට අනුව වයිරසයක් නිසා තමයි කොවිඩ් 19 පැතිරෙන්නේ. එය කතන්දරයක් පමණයි. අප වයිරසය තියා අංශුවක් කියන්නේ මොකක් ද කියාවත් දන්නේ නැහැ. අංශුව කියන්නේ බටහිර සංකල්පයක්. අංශු භෞතික විද්‍යාව (Particle Physics) කියල ම විෂයක් තියෙනවා. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙන් අංශුවක් කියන්නේ මොකක් ද කියා දැන ගන්න බැහැ. අංශුවක් යනු කුමක් ද යන ලිපිය කියවන්න. එය කඩුවෙන් ලියැවුණු එකක්.  මෙය කඩුව කඩුවට ම විරුද්ධව යොදා ගැණුනු තැනක්. 


තවත් ලිපියක් ඇති කොවිඩ් හා වතුර කියා. එය බටහිර විද්‍යා සඟරාවක පළ වූ පත්‍රිකාවක්. ඒ අනුව කොවිඩ් පැතිරීම හා වතුර යම් සම්බන්ධයක් තියෙනවා. මා එය ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාව හරි කියන්නවත් බටහිර විද්‍යාව මගේ තරකයක් වෙනුවෙන් යොදා ගැනීමටවත් නො වෙයි. බටහිර විද්‍යාවේ තවත් ලිපි පත්‍රිකා ඇති එහෙම සම්බන්ධයක් නැහැ කියන්න. මා කියන්නේ  බටහිර විද්‍යාවේ ඔය කියන නිශ්චය බවක් නැති බව. හයිසන්බර්ග් අනිශ්චය මුල ධර්මයෙන් කියැවෙන්නේ එය නොවන බවත් කියන්න ඕන. 


කුරානයේ කියා ඇත්තේ කොහොම ද කියන්න මා දන්නේ නැහැ. කොවිඩ් වැනි තත්වයක් යටතේ වුව ද භූමදාන කළ යුතු යැයි එහි කියා තියෙනවා ද? දැන් කියන්න එපා එකල කොවිඩ් තිබුණේ නැහැ කියා. මා කියා ඇත්තේ කොවිඩ් වැනි කියායි. භූමදාන කළත් ආදාහන කළත් අප පස් වී අළු වී යනවා. සමහරු අළු ගඟට දානවා. එවිට නම් රෝගය පැතිර යන එකක් නැහැ. පස් වුණත් අළු වුණත් සිරුර එකතු වන්නේ පසටයි. වැදගත් වන්නේ සිරුරට, මසට වන දෙය නො වෙයි කියා කාට හරි කියන්න පුළුවන්. වැදගත් වන්නේ මනසට ආත්මයට සිදුුවන දේ කියා තරක කරන්න පුළුවන්. බෞද්ධයන්ට නම් ඒ ප්‍රශ්නයත් නැහැ. එහෙත් සසරක් තියෙනවා. මා කියන්නේ ඊනියා තාර්කික වාස්තවික බෞද්ධයන් ගැන නොවෙයි. 


ආගමික විශ්වාස කඩුවෙන් ලැබුණත් බයිනෙත්තුවෙන් ලැබුණත් පාසලෙන් ලැබුණත් (බටහිර දැනුමත් ආගමක්) තබා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. එහෙත් එ අනෙක් අයට පටවන්න හදන එක ප්‍රශ්නයක්. සමාජයට මොකක් වුණත් භූමදාන කරන්න ඕන කියන ආකල්පයට රටේ ඉඩක් නැහැ. වතුරෙන් කොවිඩ් පැතිරෙනවා ද කියන එක ගැන අවිශ්වාසයක් තියෙනවා. මා කලිනුත් කියා ඇත්තේ මුස්ලිමුන් ආගමික විශ්වාස තබා ගන්නා අතර අවිශ්වාසයට ද ඉඩක් දිය යුතු බවයි. මුස්ලිම් නායකයන්ගේ ඡන්දය ගැනීමට භූමදානයට ඉඩක් දිය යුතු ද යන තැනට ප්‍රශ්නය පත් කරන්න එපා.