History

Thursday, 19 November 2020

අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සුරම්‍ය සුබ

 අනිරුද්ධලාට ඉන්න හදන රම්‍ය සුරම්‍ය සුබ

 

මේ මියන්මාරයේ හේමන්තයේ ආරම්භයයි. වස්සානය ඉවර වෙලා. අප මෙහි ආවේ මැයි මස මැද. මාස හයකට පෙර. පනුවන් කන සාම පරෙවියන් බලනවා. රියැදුරා පදවන බී එම් ඩබ්ලිව් රථයේ ගමන් බිමන් යනවා. සුවිසල් මන්දිරයක ජීවත් වෙනවා. ඒත් හැම තැන ම කොවිඩ්. එන්නත ආවත් එච්චර ම වැඩක් වෙන එකක් නැහැ. යම් පිරිසකට හරි යයි. කොවිඩ් 19 සරම්ප පැපොල් වගේ නො වෙයි. තරමක් හෙම්බිරිස්සාව වගේ. සාමාන්‍යයෙන් සරම්ප වගේ දෙයියන්නෙ ලෙස නැවත හැදෙන්නෙ නැහැ. ඒත් හෙම්බිරිස්සාව නැවත නැවත හැදෙනවා. අර පීසිආර් ධන වන අය සෘණ වෙනවා ධන වෙනවා නැවත සෘණ වෙනවා. පීසිආර් පරීක්‍ෂණයෙහි ද ප්‍රශ්න තියෙනවා. ඒත් කොවිඩ් 19 හොඳ වෙලා (ඉන් කුමක් අදහස් වුණත්) නැවත හැදෙන්න පුළුවන්. කොවිඩ් හැදිල මිනිස්සු මැරෙනවා කියා මා හිතන්නෙ නැහැ. කොවිඩ් හැදුනම  වෙනත් තියෙන රෝග වැඩි වෙන්න පුළුවන්. ඉන් මරණයට පත් වෙන්න පුළුවන්. මේ වා පිත් සෙම් තුලනයේ ප්‍රශ්නයක්. කොවිඩ් 19ට බය වෙන්න ඕන නැහැ. ඒත් පරෙස්සම් වෙන්න ඕන. හෙම්බිරිස්සාවෙනුත් පරෙස්සම් වෙන්න තමයි අපට කියා දී තියෙන්නෙ. හෙම්බිරිස්සාවත් නරක් වෙන්න පුළුවන් කියනවා. කොවිඩ් 19න් ඊටත් වඩා පරෙස්සම් වෙන්න ඕන.  කොවිඩ් 19 වඩාත් නරක් වෙන්න පුළුවන්.

 

මා බටහිරවත් පෙරදිගවත් වෙදකම දන්නෙ නැහැ. මට හිතෙන හැටි මා ලියනවා. කවුරුත් කරන්නෙ තමන්ට හිතෙන දේ ලිවීම පමණයි. ඔය ශාස්ත්‍රීය සඟරා, පුවත්පත් හා මුහුණු පොත අතර එතරම් වෙනසක් නැහැ. කවුරු කවුරුත් හිතෙන දේ ලියනවා. ශාස්ත්‍රීය සඟරාවල ලිපි පළ කරගන්න වෙනත් කවුරු හරි ඒ ලිපිය අනුමත කරන්න ඕන. තමන් විධියට හිතන අයකුට ලිපිය යැවුනොත් පළ වේවි. නැත්නම් පළ නොවේවි. සමහර සඟරාවලින් ප්‍රතික්‍ෂෙප වෙන ලිපි වෙනත් සඟරාවල පළ කෙරෙන අවසථා තියෙනවා. එහෙත් යමක් කියන්න ඕන. හරි හමන් ශාස්තී්‍රය සඟරාවක පළ කරන්න අබමල් රේණුවක හරි අලුත් අදහසක් තියෙන්න ඕන. එහෙම නැති අයට බඩ පිනුම් ගහන්න සකර්බර්ග් පොතක් හදල දීල. ඒකත් පොතක් තමයි. සකර්බර්ග් ලෝකයට ම පොදු දැනුමක් හදන එක ඉස්සරහට ගෙනි යන්න හදනවා.

 

බටහිර දැනුම සෘතු සම්බන්ධයෙන්වත් ලෝකයට ම පොදු නැහැ. අපි දැන් බටහිරයන් අනුව යමින් සෘතු හතරක් ගැන කතා කරනවා. වසන්ත, ගිම්හාන, සරත්, හේමන්ත කියල හදාගෙන. ඒත් ලංකාවෙ සෘතු හතරක් නැහැ. වැහි කාල තියෙනවා පායන කාල තියෙනවා. දුරුත්තේ පොඩි සීතලක් තියෙනවා. ඒත් මියන්මාරයෙ සෘතු තුනක් තියෙනවා. අප ඇවිත් ටික දිනකින් වස්සානය පටන් ගත්තා. ඉල් පෝයත් සමග වස්සානය  අවසන් වුණා. දැන් හේමන්තය ඇරඹිලා. ගිම්හානයකුත් ඒවි.

 

ඉන්දියාවෙ මධ්‍ය ප්‍රදේශයේ කපිලවස්තුව වගේ ප්‍රදේශවලත් සෘතු තුනයි ඇත්තෙ. බුදුහාමුදූරුවන් වස්සාන කාලෙ හාමුදුරුවරුන්ට චාරිකා එපා කිව්වෙ ජෛන ආගමිකයන්ගෙ බලපෑම හින්ද. වස්සානයෙන් පස්සෙ හේමන්තය ලැබුවා. ගිම්හානයෙන්  අවරුද්ද සම්පූර්ණ වුණා. සෘතු හතරක් තිබුණෙ නැහැ. පඬි නැට්ටකුට බැරි ද සෘතු හතරක් හදල දෙන්න.

 

කොහොමත් ශුද්ධෝදන රජ්ජුරුවො සිද්ධාර්ථ කුමාරයට ගෙවල් තුනයි හදල දුන්නෙ. ඒ සෘතු තුනට හරියන්න. රම්‍ය සුරම්‍ය සුබ. සෘතු හතරක් තිබුණ නම් ගෙවල් හතරක් හදල දෙයි. මහජන මුදලින් මියන්මාර තානාපති කාර්යාල තුනක් හැදුවොත් නරක ද කියල හිතෙනවා.  මා මේ දේ කියන්නෙ බටහිර දැනුම් ආධිපත්‍යයට නැත්නම් දෑනුම් යටත්විජිතවාදයට යට වූවන්ගේ සංවේගය සඳහා.

 

අපත් සමහරවිට වරද්දා ගන්නවා. අපේ දැනුමක් තියෙනවා. අප ඒ දැනුම අනුව ලෝකය සකස් කර ගන්නවා. මියන්මාරයේ රජ කෙනකු ඉඳලා තියෙනවා අනවරත කියල. ඒ අපේ විජයබාහු රජුගෙ කාලෙ. මේ රජවරු දෙන්න නොහිටින්න ලෝකයේ ථෙරවාදයක් නැහැ. ඒ දෙදෙනා නොවන්නට අප හින්දූන් වෙන්න තිබුණා. විජයබාහු රජු හා අනවරත රජු අතර ශාසනික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් තිබිල තියෙනවා.

 

අනවරත රජුගෙ නම මියන්මාර පොතපතේ සඳහන් වන්නෙ අනිරුද්ධ කියල. මා හිතුවෙ එය අනුරුද්ධ කියන එකේ වැරදි උච්චාරණයක් කියල. අපට හුරුවෙලා තියෙන්නෙ අනුරුද්ධ කියන්න. මා ලියූ ලිපිවලත් අනවරත රජු අනුරුද්ධ රජු කියල ලියල ඇති. එහෙත් පස්සෙ තමයි මට කල්පනා වුණෙ මුල් වචනය අනිරුද්ධ වෙන්න ඕන කියල. මා සිංහල භාෂාවෙ විශේෂඥයකු නො වෙයි. මා කිසිම දේක විශේෂඥයකුවත් ප්‍රාමාණික උගතකුවත් නො වෙයි. අනුරුද්ධ කියන නමට නිරුක්ති කියන්න පුළුවන් ද? එය අනුර සමග සම්බන්ධයක් තියෙනවා ද? මා දන්නේ නැහැ.

 

එහෙත් අනිරුද්ධ කියන නමට නම් තේරුමක් තියෙනවා. ඒ නිරුද්ධ නොවූ කියන එක. මෙහි නිරුද්ධ කියන්නෙ බුදුදහමෙහි කියැවෙන නිරෝධය. නිවන හා සම්බන්ධ නිරෝධය. නිරෝධසමාපත්තියට සමවැදීම හා සම්බන්ධ නිරෝධය. අපි නිරුද්ධ වෙලා නැහැ. අනිරුද්ධ කියන්නෙ නිවන් සම්මාබෝධය නැති පෘථග්ජනයන්ට. පෘථග්ජනයන් කියන්නෙ වෙන් කරන්නන්ට. අප බටහිරයන් තරමට වෙන් නොකළත් යම් ප්‍රමාණයකට වෙන් කරනවා. පෘථග්ජන යන්න අප බෞද්ධ සංස්කෘතියෙහි යොදා ගත්තත් එහි වෙනත් සම්භවයක් තියෙන බව පේනවා. ආසවක්ඛයා යන්න වුණත් එහෙමයි. බුදුුහාමුදුරුවන් එකල සංස්කෘතියෙහි තිබූ වචන තමන්වහන්සේගේ ධර්මය දේශනා කිරීමට යෙදාගෙන ඇති ආකාරය ගැන කාට හරි අධ්‍යයනයක් කරන්න පුළුවන්.

 

අනවරත රජතුමා අනිරුද්ධ බව පැහැදිලියි. එතුමා නිරුද්ධ වෙලා නැහැ. පෘථග්ජන අප සැවො ම අනිරුද්ධලා. එහෙත් ටික දෙනකුට පමණක් අනුරුද්ධ කියා නම තබලා. එය අනිරුද්ධ කියන එක උච්චාරණයෙහි වෙනසකට භාජනය වීමෙන් ලැබුණු එකක් වෙන්න පුළුවන්.

 

ශුද්ධෝදන රජු සිද්ධාර්ථ කුමාරයාට ගෙවල් හතරක් හදල දුන්න නම් හතරවැනි ගෙදරට තියන නම මොකක් ද? පඬි නැට්ටකු කියනවා ද? කොහොමත් ගෙවල් හදන්නෙ අනිරුද්ධලාට. සිද්ථාර්ථ කුමරු අනිරුද්ධයි. ධර්මපාලතුමා අනිරුද්ධ නොවීත් අනගාරික වුණා. අපි ගෙවල් හදනවා.