History

Tuesday, 3 November 2020

ඇඳිරි නීති අස්සෙත් යන වස්තු

 ඇඳිරි නීති අස්සෙත් යන වස්තු


ඇතැමුන් අහනව කාලය කියන්නෙ මොකක් ද කියල. මගේ උපාධි නිබන්ධය පරීක්‍ෂා කළ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ මහාචාර්ය විට්රෝ පොතකුත් ලියල තිබුණ කාලය යනු කුමක් ද (What is Time) කියල. මාත් නිබන්ධය ලිව්වෙ කාලය හා අවකාශය සම්බන්ධ දේ ගැන නිසා ඒ පොත කියවල තිබුණ. ඒත් ඒකෙ කාලය කියන්නෙ මොකක් ද කියන එකට උත්තරයක් දීල තිබුණෙ නැහැ. මා ඒ බව ඔහුට කියන්න ගියේ නැහැ.

යම් පිරිසක් හරි කාලය කියන්නෙ මොකක් ද කියල අහන්නෙ ඇයි? ඔවුන් දාර්ශනිකයන් නිසා ද? එහෙමත් නැත්නම් භෞතික විද්‍යාඥයන් නිසා ද? ඇයි ඔවුන් මේසය කියන්නෙ මොකක් ද කියල අහන්නෙ නැත්තෙ. කවුරු හරි කියයි ඔවුන් මේසය කියන්නෙ මොකක් ද කියල දන්නව වුණාට කාලය කියන්නෙ මොකක් ද කියල දන්නෙ නැහැ කියල. ඒ අය මේසය කියන්නෙ මොකක් ද කියල දන්නවා ද? මා නම් දන්නෙ නැහැ. අපොයි මා දාර්ශනිකයෙක් නම් නො වෙයි. විද්‍යාඥයෙක්වත් නොවෙයි. මා ඔහෙ හිතනවා. ඒ හිතළුවලින් සමහරක් ලියනවා. එච්චරයි. දේශපාලනඥයන්වත් දාර්ශනිකයන්වත් විද්‍යාඥයන්වත් මා ලියන දේ ගැන කලබල වෙන්න ඕන නැහැ.

මිනිසුන් අවකාශය කියන්නෙ මොකක් ද කියලත් අහන්නෙ නැහැ. ඒ මොකද කියල අයින්ස්ටයින් කල්පනා කළා ද කියා දන්නෙ නැහැ. අවකාශය හා කාලය කියන්නෙ දෙකක්. ඒ දෙක එකතු කෙරුවෙ අයින්ස්ටයින් නෙවෙයි, ඔහුගේ ගණිත ගුරුවරයා වූ මින්කොව්ස්කි. ඔහු තමයි 1907 දි පෙන්නුවෙ අයින්ස්ටයින්ගෙ 1905 සාපේක්‍ෂතාවාදය, කාලය හා අවකාශය එකට ගත්ත ම ලෙහෙසියෙන් තේරුම් ගන්න පුළුවන් කියල. ඔහු තමයි අවකාශ-කාලය කියන සංකල්පය සංස්කරණය කෙළෙ. දැන් ඉතින් අපට ඒ සංකල්පයෙන් ගැලවෙන එක පහසු නැහැ. අපි අර අවකාශ-කාලය මේ අවකාශ-කාලය ආදී වශයෙන් කියවනවා. මා කියන්නෙ අර පඬියන් කියන කියවීම නොවෙයි. ඔවුන් සංගීතයත් කියවනවා. කියවනවා කියල මා කියන්නෙ දොඩමළු වීමට. නැත්නම් දෙඩීමට.

මේ දවස්වල අර පරෙවියන් බලන්නෙ නැති වෙලාවට මා එක් අවකාශ-කාලයක් වූ ෂ්වාර්ස්චයිල්ඩ් - ඩි සිටර් අවකාශ-කාලය එක්ක පොඩි සෙල්ලමක් කරනවා. ඒකත් ගේමක් තමයි. ගේම ඉල්ලීමක් ද වෙනවා. බටහිර විද්‍යාවෙ ආධිපත්‍යය පිළිගන්නෙ නැති නිසා ම තමයි මා මේ සෙල්ලමේ යෙදෙන්නෙ. ඒකෙ දි අවකාශ-කාලය හා ශක්තිය (ද්‍රව්‍යය) අතර මගේ සිසුවන් දෙනෙකු හා සිසුවියක ගොඩ නගා ඇති සම්බන්ධයක් තව දුරටත් වර්ධනය කරන්න බලනවා.

මිනිසුන් හිතනවා ඔවුන් අවකාශය කියන්නෙ මොකක් ද කියල දන්නව කියල. ඒත් අවකාශය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. දැන් මේසය නම් පංචෙන්ද්‍රිය ගෝචරයි. කාලය පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. මේසය අත ගාන්න පුළුවන්. ලෙව කන්න පුළුවන්. ඕන නම් ඉඹින්නත් පුළුවන්. ඒත් කාලය අත ගානවා තියා අල්ල ගන්නවත් බැහැ. කාලය ගෙවී යනවා කියනවා. ඒත් ඒක මේසය ගෙවිල යනවා වගේ නොවෙයි. අර කොහෙද මේසයක් ඇදයි කියල තිබුණෙ. ඒක ගෙවිච්ච මේසයක් ද?

අවකාශයත් අත ගාන්න බැහැ. ඉඹින්නත් බැහැ. එහෙනම් මිනිසුන් අවකාශය ගැන දන්නව කියල හිතන්නෙ මොක ද? අවකාශය ගැන අප දැන ගන්නෙ වක්‍ර ව. ඒ භාණ්ඩ දෙකක් අතර අවකාශය කියන තේරුමෙන්. මේස දෙකක් අතර අවකාශයක් ඉඩක් තියෙනවා. ඒ ඉඩ අත ගාන්න බැරි වුණාට මේස අත ගාන්න පුළුවන්. ඕන නම් අර මේස දෙක අතරට පුටුවක් වගේ දෙයක් තල්ලු කරන්නත් පුළුවන්. අවකාශයට පුටුවක් තල්ලු කළාට කවුරු හරි කාලයට පුටුවක් හරි වෙන මොකක් හරි තල්ලු කරල තියෙනවා ද?

මේසය, අවකාශය හා කාලය අතර ඔය වගේ වෙනසක් තියෙනවා. තියෙනවා කිව්වට එහෙම වෙනසක් අප සංස්කරණය කර ගෙන. මේසය, අවකාශය හා කාලය කියන්නෙත් අපේ සංස්කරණ මිසක් වෙන මොනවා ද? මා මේ කියන දේ බෞද්ධයන්ට තේරෙන්න ඕන. පඬි නැට්ටන්ට නම් සම්ම ජාතියෙ තේරෙන්නෙ නැහැ. මගේ ප්‍රශ්නය මේ රටේ බෞද්ධයන් ඉන්නව ද කියන එක. මේ දූෂිත ඒකාධිකාරි අධ්‍යාපනයෙන් බොහෝ අයගෙ බෞද්ධකම නැති වෙලා. දැන් ඉන්නෙ ඕල්කට් බෞද්ධයන් තාර්කික බෞද්ධයන්. ඔවුන් කාළාම සූත්‍රය කියවල නැහැ. කියවල තියෙන අයත් කියවල තියෙන්නෙ කාලෝගෙ කාළාම සූත්‍රය මිසක් බුදුහාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය නො වෙයි. බුදුහාමුදුරුවන්ගෙ ධර්මය අතක්කාවචර බවවත් ඔය තාර්කික බෞද්ධයන්ට මතක් වෙන්නෙ නැහැ.

පංචෙන්ද්‍රියට අමතර ව පංච මහා භූතයොත් ඉන්නවා. ඕන නම් තියෙනවා කියන්න. මේ භූත කතාව වැදගත්. භූත කියල කිවුවෙ පවතින (සම්මුති අර්ථයකින්) දේට. මේ පවතින දේ කියන්නෙ පංචෙන්ද්‍රිය ගෝචර දේ. ඒත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක පස්සෙ කියන්නම්. කාලය ගෙවී ගිහින් (අර ගෙවිම නැවතත්) අද භූතයො කියන්නෙ සොහොනෙ දි පාළු තැන්වල දි වගේ හම්බ වෙන පංචෙන්ද්‍රිය ගෝචර නොවන සත්ව විශේෂයකට. කෝට්ටෙ යුගයෙ සුඟ කියල කිවුවෙ ඉඟ සුඟ ගත හැකි මිටින කියන්න. අද සුඟ කියන්නෙ දැතින් ම අල්ල ගන්න ඕන දේ. භාෂාව කාලයත් සමග වෙනස් වෙනවා කියල වාග්විද්‍යාඥයන් කියාවි. කාලයත් සමග වෙනස් වෙනවා? ඒ මොකක් ද? වෙනස් වෙන්නෙ කාලයෙ ද? කාලය ඕන වෙනස් වීම ගැන කියන්න ද? භාෂාව ඒ වැඩෙත් උඩු යටිකුරු කරල. භාෂාව ද මිනිස්සු ද ඒක කරල තියෙන්නෙ.

පංච මහා භූත (ඇයි මහා කියන්නෙ පංච භූත කිවුව ම භූතයො තරහ වෙයි ද) කියන්නෙ ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ. මින්කොව්ස්කි මොනව කිව්වත් ඔතන කාල නැහැ. ඒ වගේ ම කියන දෙයක් තමයි ඔය ගුණ කියල. වැගිරෙන ගුණය, උණුසුම් ගුණය ආදී වශයෙන්. වස්තු නැත්නම් ද්‍රව්‍ය හැටියට පංච මහා භූතයන් ගැන කියන්නෙ නැහැ. දැන් ඔය ගුණ හතරක් පංචෙන්ද්‍රයන්ට ගෝචරයි. වැගිරෙන බව උණුසුම් බව වගේ. ඒත් ආකාශ ගුණයක් හැටියට ගත්තත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. අප දන්නෙ මේස අතර ඉඩ පමණයි. කිසිම වස්තුවක් (ද්‍රව්‍යයක්) තිබුණෙ නැත්නම් අවකාශයක් තියෙන්න පුළුවන් ද?
අවකාශයෙ වස්තු තියෙනවා ද? එහෙම නැත්නම් වස්තු නිසා අවකාශය හැදෙනවා ද? නිවුටන් නම් කිවුවෙ වස්තු මොකක්වත් නැතත් නිරපේක්‍ෂ අවකාශය කියල එකක් තියෙනව කියල. ඒක නිවුටන්ට බැර වුණාට නිවුටන්ගෙ ගෝලයො කියපු දෙයක්. අපි බුදුහාමුදුරුවන්ගෙ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කී දේ කොපමණ බුදුහාමුදුරුවන්ට බැර කරනවා ද? අර නිරපේක්‍ෂ අවකාශය කිසි දා කාටවත් නිරීක්‍ෂණය කරන්න බැහැ. කවුරු හරි නිරපේක්‍ෂ අවකාශයට ගියොත් ඒ යන්නෙ වස්තුවක් නිසා (පෙම්වතකු හරි පෙම්වතියක හරි වෙන්න ඕන නැහැ, ඕනම අයකුට වස්තුව කියන්න පුළුවන්) ඒ ගිය සැණින් (කාලය සම්බන්ධ කතාවක් සැණක් තියෙනවා ද) නිරපේක්‍ෂ අවකාශය නැති වෙනවා. මොනව වුණත් නිරපේක්‍ෂ අවකාශය හොඳ සංකල්පයක්. කිසි දා කාටවත් නිරීක්‍ෂණය කරන්න බැහැ. අන්න එහෙම තමයි සංකල්ප ගොඩ නගන්න ඕන.

නිවුටෝනීය විධියට හිතනව නම් (අපට එක එක විධියට හිතන්න පුළුවන්) වස්තු අවකාශයෙ අරෙහෙ මෙහෙ යනවා. ඇඳිරි නීති අස්සෙත් යනවා. අයින්ස්ටයින්ට අනුව වස්තු (ද්‍රව්‍ය හා විකිරණ) නිසා අවකාශ-කාලය හැදෙනවා. පහුගිය කාලෙ වීලර් කියල ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයෙක් කිවුව වස්තු අවකාශ කාලය වක්‍ර වෙන්න ඕන හැටි කියනවා. අවකාශ කාලය වස්තු ගමන් කරන්න (අවශ්‍ය නම් සංචරණය කියන්න තේරුම් ගන්න එක අඩු කරන්න) ඕන හැටි කියනව කියල.

මගේ කතාවෙ මට කියන්න ඕන එකක් තමයි පංච මහා භූතයො අතරට ආකාශ දාන එක හරි නැති බව. අනෙක් හතර භූත ගුණ පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙනවා. ඒ වුණත් ආකාශ පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. සාමාන්‍යයෙන් බෞද්ධ සාහිත්‍යයේ ආකාශ අයින් කරනවා. අපි බොහෝ වෙලාවට කතා කරන්නෙ හතර මහා භූතයන් ගැන. ආකාශ කියන්නෙ සෘජු (පංචෙන්ද්‍රිය ගෝචර කියන අරුතින්) ව හදා ගත්ත ගුණයක් නොවෙයි වක්‍ර ව හදා ගත්ත ගුණයක්.

අපි පුරුදු වෙලා තියෙනවා පංචෙන්ද්‍රිය ගෝචර නම් පවතිනවා කියන්න. පංචෙන්ද්‍රිය ගෝචර නැත්නම් පවතින්නෙ නැහැ කියන්න. මා දන්නවා පඬි නැට්ටකු කියන්න පුළුවන් පංචෙන්ද්‍රිය ගෝචර ද නැද්ද නොවෙයි ප්‍රශ්නය නිවැරදි ද නැද්ද කියන එකයි වැදගත් කියල. අපි ඒකට පස්සෙ එමු. ඒ අතර නිවැරදි කියන්නෙ මොකක් ද කියල හිතල බලනවා ද? කරුණාකරල ඒක තමන්ට තියා ගන්න මේකෙ ප්‍රතිචාර දක්වන්නෙ නැතිව.

දැන් කාලය කියන්නෙ මොකක් ද? ඒක අවකාශයටත් වඩා වක්‍ර සංකල්පයක්. අවකාශය කියල අපි සංකල්පයක් හදා ගෙන තියෙන්නෙ වස්තු අතර ඉඩ ගැන කියන්න. කාලය කියන සංකල්පය හදා ගෙන තියෙන්නෙ වස්තු වෙනස්වීම ගැන කියන්න. වස්තු වෙනස් වෙන්නෙ නැත්තන් කාලය ඕන නැහැ. ඒත් ඉතින් වස්තු වෙනස් වෙනවා. කාට සාපේක්‍ෂව ද? කාලය සාපේක්‍ෂ වෙන එක අහන්න දෙයක් ද? නිරපේක්‍ෂ කාලයක් තියෙනවා. ඒ නිවුටෝනිය ව හිතන අයට. පඬි නැට්ටන් හිතන්නෙ කොහොම ද? ඔවුන් හිතන්නෙ නැහැ වමාරනවා.

ඔය ටිකක් ට්‍රොට්ස්කි වගේ ඉන්නෙ මින්කොව්ස්කි. අනෙක් අය වීලර්.