History

Friday, 25 December 2020

පැණියෙන් හෙළ දැනුමට තල්ලුවක්

 පැණියෙන් හෙළ දැනුමට තල්ලුවක්

 


ධම්මික වෙද මහතා හැරෙන්න තවත් පාරම්පරික/හෙළ වෙද මහතුන් මෙරට ඉන්නවා. මා මූලික වශයෙන් දැනට හෙළ වෙදකම කියන්නේ මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන් හෝ ආධ්‍යාත්මික ව ප්‍රතිකාර දැන ගෙන කරන වෙදකමට. පාරම්පරික වෙදකමත් මට හිතෙන විධියට විශාල වශයෙන් මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන්  හෝ ආධ්‍යාත්මික ව හෝ ලබා ගත් දැනුම එකතු කර ගත් එකක්. ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීමට යම් ආකාරයකින් උසස් යැයි කියන මනසක් තියෙන්න ඕන. එය සමහර විට භාවනාවෙන් ළඟා කර ගන්නා තත්වයක් වෙන්න පුළුවන්. 


මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම සංස්කරණය කර ගැනීමට උසස් ය කියන මනසක් අවශ්‍ය වන්නේ නැහැ. තමන්ට සම්බන්ධ විය හැකි භූතයකු, දෙවියකු ආදි ප්‍රාණියකු සමග එහි දී සන්නිවේදනය කර ගන්නවා. සමහර විට ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියා මිය ගිය ඥාතියකු වෙන්න පුළුවන්. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ටත් උසස් යැයි කියන මනසක් තිබීම අනිවාර්ය නැහැ. දෙවියන් කියන්නේත් පෘථග්ජනයන්. ඔවුන්ටත් ඉසි කෝ මාන තියෙනවා. 


හෙළ වෙද කමේ හරයේ ඇත්තේ අනෙක් අයට නොපෙනෙන දෙයක් සංස්කරණය කර ගැනීමක්. සෑම නව දැනුමක් ම සංස්කරණය වන්නේ අනෙක් අයට නොපෙනෙන දේ යම් ආකාරයකට පෙනෙන තැනැත්තන් අතින්. මෙහි පෙනීම කියන්නේ මසැසට පෙනීම නොව මනසට පෙනීමක්. ඒ පෙනීම සිදු වන්නේ යම් චින්තනයක් පදනම් කර ගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂව. අද බටහිර දැනුමේ නව සංස්කරණ කෙරෙන්නේ ග්‍රීක  යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කෙරෙමින්. අයින්ස්ටයින්, ගර්ඩ්ල් වැන්නන් එහි දැවැන්තයන්. 


සිංහල බෞද්ධයන්ට ඒ තත්වයට තබා හෝකින් වැන්නකුගේ තත්වයටවත් එන්න බැහැ. එහෙත් සිංහල බෞද්ධයනට හෙළ ක්‍රමයෙන් නව දැනුම සංස්කරණය කරන්න පුළුවන්. අප්‍රසිද්ධියේ නමුත් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි එය දිගින් දිගට ම සිදු වුණා. එහි සාර්ථකත්වය නිසා ම එය පවතිනවා. අද එය ප්‍රසිද්ධත්වයට පත් වී තිබෙන්නේ ධම්මික වෙද මහතාගේ පැණිය නිසයි. පැණිය කොවිඩ් සඳහායි. එය ඒ මහතාගේ ඖෂධාගාරයක නිපදවෙනවා. ඒ ඖෂධාගාරයට ඒ පැණිය පමණක් නොව ආයුර්වේද සූත්‍ර කමිටුවේ  අනුමැතිය ලත් ඕනෑම ඖෂධයක් නිෂ්පාදනය කළ හැකියි.


අද ඒ පැණියට ඇති එකම ප්‍රශ්නය මහා පරිමාණයෙන් නිෂ්පාදනය හා බෙදා හැරීම පමණයි. ධම්මක වෙද මහතාගේ ඖෂධාගාරයට, එය කිනම් නමකින් හැඳින්වුව ද, පැණිය නිෂ්පාදනයට අවසර තිබෙනවා. පැණිය ලබා ගන්නවා ද නැද්ද යන්න හුදෙක් අද සමාජයේ කියන විධියට පාරිභෝගිකයාගේ තීරණය් මත පමණක් පදනම් වෙනවා. පැණිය විස රහිත බව එක් කමිටුවකින් තීරණය කෙරී ඇති අතර එය ආහාර පරිපූරකයක් ලෙසත් නියම වී තිබෙනවා. අද සමාජයේ කටයුතු කෙරෙන ආකාරය අනුව එය මිළ දී ලබා ගැනීමට ඕනෑම අයකුට අයිතියක් තියෙනවා. එය පාරිභෝගික අයිතියක් ලෙස නම් කරමු ද? 


අද පැණිය ලබා ගැනීමට අවශ්‍ය අයකුට එය ලබා දිය යුතුයි. පරික්‍ෂාවට ලක් කරන්න ඕන කියමින් තවදුරටත් එය වැළැක්වීමට කටයුතු නොකළ යුතුයි. පැණිය පරීක්‍ෂාවට ලක් කෙරී තියෙනවා. මාර්තු මාසයේ සිට අද දක්වා පැණිය දසදහසක් දෙනා පානය කර තිබෙනවා කියා මා හිතනවා. එයට වඩා පරීක්‍ෂාවක් මොකට ද? පරීක්‍ෂාවක් කියන්නේ බටහිර වෙදකමේ ඊනියා සායනික නැහැසුම් (පරීක්‍ෂා) පමණක් නො වෙයි. රජරට විශ්වවිද්‍යාලය විසින් පත් කෙරී ඇති ඊනියා ආචාර ධර්ම කමිටුවක් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා. ආචාර ධර්ම කමිටුවේ ආචාර ධර්ම ගැන ප්‍රශ්න කිරීමට සිදුවෙලා.  පැණිය බී අගුණයක් වූ අයකු ගැන වාර්තා වෙලා තියෙනවා ද? 


ආයුර්වේද වෙදකමේ පැණිය පරීක්‍ෂාවට ලක් කෙරෙන්නේ කෙසේ ද කියා මා දන්නේ නැහැ. එ සඳහා වූ ක්‍රමයක් තියෙනවා ද? එසේ නම් ඒ කුමක් ද? ආයුර්වේද වෛද්‍යවරයකු එය පැහැදිලි කරන්නේ නම් කාටත් හොඳයි. හෙළ වෙදකමේ නම් පැණිය දිනපතා පරීක්‍ෂාවට ලක් කෙරෙනවා. ඒ රෝගීන් පැණිය පානය කිරීමෙන්. හෙළ වෙදකමේ පරීක්‍ෂාව ආයුර්වේදයේ හරි බටහිර වෙදකමේ හරි පරීක්‍ෂාව නොවන්න පුළුවන්. එහෙත් එපමණකින් පැණිය පරීක්‍ෂාවට ලක් කෙරී නැහැයි කියන්න බැහැ. 


පැණියෙන් හෙළ දැනුමට තල්ලුවක් ලැබී තියෙනවා. අප හෙළ දැනුම හා බටහිර හරි භාරතීය හරි දැනුම් අතර ඇති වෙනස කතා කරන්න ඕන. හෙළ දැනුම හා පාරම්පරික දැනුම යන දෙක ම මින් ඉදිරියට හෙළ දැනුම ලෙස මා සලකනවා. හෙළ දැනුම වෙදකමට පමණක් සීමා වන්නේ නැහැ. එය ගොවිකම, ගොඩනැගිලි කර්මාන්තය, වැව් සෑදීම හා නඩත්තු කිරීම ආදී ශිල්පීය ක්‍ෂෙත්‍ර ගණනාවක ම විහිදෙනවා. රුවන්වැලි මහා සෑය හැදුවේ වත්මන් බටහිර ඉංජිනේරු ශිල්පය දැන ගෙන නො වෙයි. තිසා වැව හදන්න යොදා ගත් දැනුම කුමක් ද? 


අද වැවක් හදන්න නොවෙයි වැවක් නඩත්තු කරන්න වත්මන් දැනුමෙන් පුළුවන් ද? අද වැව් පොඩි වැස්සකට වුණත් පිටාර ගලනවා. පොඩි පෑවිල්ලකට වුණත් හිඳී යනවා. ජ වි පෙරමුණේ දහසක් වැව් ප්‍රතිසංස්කරණයට මොකද වුණේ? එය භාර ව හිටි ඇමති කවුද? වැව් ප්‍රතිසංස්කරණයත් හෙළ දැනුමට අයත්. ඒත් මා දන්නෙ නැහැ අද එය දන්නා අයකු ඉන්නවා ද කියා. පසුගිය දා මිය ගිය ප්‍රියන්තා සේනානායක ඒ පිළිබඳ යමක් කියා තිබෙනවා කියන එකයි මගේ හැඟීම. දන්නා කෙනකු ඉන්නවා නම් ඒ බව කියන්න. 


ප්‍රියන්තා සේනානායක ගොවිකම ගැනත් හෙළ දැනුමක් කිවුවා. ඒ අනුව අදත් ඇතැම් පළාත්වල ගොවිකම් කෙරෙන බව මා දන්නවා. මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති ව ඉන්න කාලයේ ඒ හෙළ ගොවිකම පිළිබඳ දැනුම යෙදා ගනිමින් විද්‍යා පීඨ සිසුන් කන්න තුනක් කුඹුරක් කෙරුවා. 


හෙළ දැනුම වෙදකමට පමණක් සීමා වී නැහැ. එය මූලික වශයෙන් ශිල්පීය දැනුමක් මිස ශාස්ත්‍රීය දැනුමක් නොවෙයි. සිප්සතර කිවුවට සතර එතරම් දියුණුවක් අත් කර ගෙන නැහැ. හෙළ දැනුමෙහි ප්‍රවාද එතරම් නැහැ. අපේ ප්‍රවාද අවශ්‍යයි. එහෙත් බටහිරයන් හා භාරතීයයන් මෙන් ප්‍රවාද පස්සෙ නැහෙන්න වුවමනාවක් නැහැ.  ප්‍රවාද අනවශ්‍ය බවක් මෙයින් කියැවෙන්නේ නැහැ.


හෙළ වෙදකමේ ආයුර්වේදයේ තරමට ශාස්ත්‍රීය පදනමක් නැත්නම් පුදුම වෙන්න දෙයක් නැහැ. මෙරට ශාස්ත්‍රීය සම්ප්‍රදායක් නැතිවා නොවෙයි. එහෙත් එහි නව සංස්කරණ එතරම් දකින්නට නැහැ. අපට ඇත්තේ එක්රැස් කිරීමේ සම්ප්‍රදායක්. බෞද්ධ ධර්මයෙහිත් අප සතු ශාස්ත්‍රීය සංස්කරණ බොහොමයක් භාරතයෙන් ලැබුණු දේ. 


පැණිය කිසි දා නොවූ අයුරින් දැනුම ගැන සාකච්ඡාව ඉදිරියට ගෙන ගියා. හෙළ දැනුමක් ගැන වෙනදාට වඩා ජනතාව කතා කරනවා. කොවිඩ් 19 ලෝකයට ආවෙ කොහොම ද? ඒක ගැන බටහිර විද්‍යාව කියන්නෙ කුමක් ද?  මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය පහළොස්වැනි සියවසෙන් පසු වැඩි වෙලා. යුරෝපයේ කතෝලික සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු වෙලා. අප අද  සාමූහිකත්වය නැති කර ගත් යුරෝපය පසු පස යනවා. පැණිය පානය කරන අතර හිතන්න දේ බොහොමයක් තියෙනවා.