History

Monday, 28 December 2020

රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන්

 රිච්මන්ඩ් විදුහලේ ආරම්භය ගැන කී මනුෂ්‍ය නොවන ප්‍රාණීන්


කොවිඩ් සමග තවත් දේ බැඳිල තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වන ප්‍රවෘත්තියකට අනුව කොවිඩ් ආධාර මුවාවෙන් මෙරට මුස්ලිම් අන්තවාදීන්ට ජාත්‍යන්තරයෙන් මුදල් ලැබෙනවා. ප්‍රවෘත්තියට අනුව ලංකාවේ රුසියනු තානාපති තමයි ඒ බව මෙරට පොලීසිය භාර ඇමති සරත් වීරසේකරට පවසා ඇත්තේ. මියගිය අයගේ සිරුරු භූමදානය ප්‍රශ්නයක් ලෙස මතු වුණේ තරමක් කල් ගිහින්. ඒ පිටුපසත් අන්තවාදී මුස්ලිම් ජාත්‍යන්තරයක් ඉන්නවා ද කියා අප දන්නේ නැහැ. කොහොමටත් මුස්ලිම් අන්තවාදීන් පිටුපස බටහිරයන් කාලයක සිට ඉන්නවා. වහාබ්වාදය කවදා ඇති වුණත් අද එය මෙහෙයවනු ලබන්නේ බටහිරින්. 


මෙරට බුද්ධි අංශ ඒ ව්‍යාපාර ගැන හොයා බලනවා නම් හොඳයි. මුස්ලිම් අන්තවාදී ක්‍රියා ගැන අපට තොරතුරු ලැබෙන්නේ විදේශවලින් වීම තරමක් ගැටළු සහගතයි. මුස්ලිම් අන්තවාදයට අද මළ කඳන් උස්සන එක උස්සන්න බැරි ප්‍රශ්නයක් වී ඇති නමුත් ඔවුන් වෙනත් ක්‍රියා මාර්ගවලට යන්න පුළුවන්. සජිත්ට පාංශුකූලය දීම භාර කරන්න පුළුවන්. ඔහුට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය 2024 ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා ගැනීමයි. 


කොවිඩ් සමග ඇති වූ ප්‍රධාන ම ප්‍රශ්නය ධම්මික වෙදමහතාට කාලි අම්මාගෙන් දැනුම ලැබීමයි. හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජකතුමා කියා ඇත්තේ ධම්මික වෙද මහතාට වරමක් ලැබී ඇති බවයි. පූජකතුමාට අනුව කාලිඅම්මා සම්බන්ධයෙන් ලෝකයේ (දකුණු ආසියාවේ) ඇති ප්‍රධාන කෝවිල් දෙකෙන් එකක් හලාවත කෝවිල. අනෙක කොල්කතාවේ ඇති කෝවිලක්. මේ ඊශ්වර කෝවිල් ගැන අප මීට වඩා හොයන්න ඕන. මේවා අපේ ඉතිහාසයට එක් වුණේ කවදා ද? දැදුරු ඔයේ නෑමට තවමත් ඉන්දියාවෙන් පිරිස් පැමිණෙන්නේ ඇයි? 


අප මේ සියල්ල හින්දු ආගමට බැර කර තිබීම නිසා දෙමළ ජාතිවාදීන්ට ඉතිහාසය විකෘත කිරීමේ අවස්ථාව සැලසිලා තියෙනවා. හින්දු ආගම අටවැනි සියවසේ අධිශන්කරාචාර්යතුමා වෛදික ආගම්වලට දුන් විවරණයකින් පසුව ඇති වූවක්. අද්වෛත බ්‍රහ්මන් එතුමාගේ විවරණවල ප්‍රතිඵලයක්. මහාවංසයට ඌනපූරණයක් කිරීමට ක්‍රමයෙන් අවස්ථාව එළඹෙනවා.  


පසුගිය දා ඉන්දියාව හා ලංකාව යා කරන පාළම ගැන හඬදසුන්පටයක් දකින්න ලැබුණා. මා එය වෙන ම ලිපියක පළ කරන්නම්. ඒ හඬදසුන්පටය  අනුව එකී පාළම හදා තියෙන්නෙ අවුරුදු හත්දාහකට කලින්. ඒ අතර ඇති වැලිතට්ටුව අවුරුදු හාරදාහක් පමණයි පැරණි. මට හිතෙන්නෙ වැලි තට්ටුව පාළම හැදුවාට පසු එකතු වී තිබෙන බවයි. මෙය රාමගේ පාළම කියා කියනවා. ඉංගිරිසින් ඇඩම්ස් බ්‍රිජ් කියනවා. ඉංගිරිසින් එහෙම කියන එක හොඳයි. පාළම හදල තියෙන්නෙ රාමවත් ඇඩම්වත් නොවන බව එයින් කියැවෙනවා. පාළම හැදුවෙ කවුද? එය ස්වාභාවික නිර්මාණයක් නොවන බවයි කියැවෙන්නෙ. 


ඉතිහාසය පැත්තකින් තිබ්බත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම ගැන මට නම් අවිශ්වාසයක් නැහැ. මේ ලිපි කියවන රිච්මන්ඩ් විිදුහලේ ආදි ශිෂ්‍යයන් ඇති. ඒ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් අතර අධ්‍යාපනඥයන් හා අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කළ අය රාශියක් ඉන්නවා. ඒ අතර සී ඩබ් ඩබ් කන්නන්ගර, පී ද එස් කුලරත්න, එල්එච් මෙත්තානන්ද ආදීන් ඉන්නවා. එදිරිවීර සරච්චන්ද්‍රත් ආදි ශිෂ්‍යයෙක්. දේශපාලනඥයන් ද ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ, වාසුදේව නානායක්කාර ප්‍රසිද්ධයි. මහින්ද රාජපක්‍ෂ හා එදිරිවීර සරච්චන්ද්‍ර ඉගෙන නොගත් පාසලක් නැහැ. එතරම් ප්‍රසිද්ධ නැති වුවත් හැමදාමත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ට්‍රොට්ස්කිවාදීන් වන විජේ ඩයස් (විජේගුණසිංහ) හා සිරිතුංග ජයසූරියත් ඉන්නවා. සිරිතුංග මගේ හොඳ මිතුරෙක්. 


රිච්මන්ඩ් විදුහල පටන් ගත්තේ කවදා ද කියා ඇහුවොත් මේ දේශපාලනඥයන් හතරදෙනා මොනවා කියාවි ද කියා මා දන්නේ නැහැ. අගමැති මහින්ද නම් උත්තරයක් හැටියට වර්ෂයක් දෙන එකක් නැහැ. ඔහු කියාවි රාජපක්‍ෂලා එදා ඉඳලා ඉගෙන ගත්තෙ රිච්මන්ඩ් විදුහලෙ කියල. එදා කියන්නෙ කවද ද කියල කවුරුන්වත් අහන්න යන්නෙ නැහැ. එදා කියන දිනය තම තමන්ට ඕන විධියට නියම කර ගන්න පුළුවන්. 


ඒ කොයි හැටි වෙතත් සාමාන්‍ය මතය තමයි විදුහල 1876 ගාල්ල උසස් පාසල ලෙස ඈරඹී බවත් 1882 දි රිච්මන්ඩ් විදුහල ලෙස නම් කරනු ලැබූ බවත්. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් විදුහලේ ආරම්භය 1814 තරම් ඈතට දිව යන බව. 1814 දි ආසියාවේ පළමු මිෂනාරි පාසල ලෙසයි විදුහල ඇරඹී තියෙන්නෙ. 


ගාල්ල හා මිෂනාරීන් අතර තිබූ සම්බන්ධය පියසිරි අමරකෝන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ අතීතය කුමක් වුවත් රිච්මන්ඩ් විදුහල අවුරුදු දෙසීයකට වඩා පැරණියි. රාජකීය විදුහල ඇරඹුණෙ 1835 දි.  අද යාපනය මධ්‍යම මහා විදුහල ලෙස හැඳින්වෙන විදුහල පටන් අරන් තියෙන්නෙ 1816 දි මෙතෝදිස්ත නැත්නම් වෙස්ලියානු පූජකවරුන් විසින්. මා ඊයේ දෙරණෙ අහගෙන හිටියා ඒ විදුහල රාජකීය ශාන්ත තෝමස් තරගයට පමණක් පැරණි වන මහා ක්‍රිකට් තරගයකට සහභාගි වන නමුත් තවමත් තණතිල්ලක් නැති බව. ආණ්ඩුව මැදිහත් වෙලා හරි ඒ විදුහලට තණතිල්ලක් ලබා දෙන්න ඕන. ක්‍රිකට් ජාතික චින්තනයෙ ද කියල පඬි නැට්ටකු අහන්න ඉඩ තියෙනවා. 


රිච්මන්ඩ් විදුහල 1814 දි පටන් ගත් බව දැන ගත්තෙ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් මෑතක දි. මා මේ විස්තරය කියන්න යන්නෙ නැහැ. අවශ්‍ය අයකුට නාලක ජයසේනගෙන් දැන ගන්න පුළුවන්. ඔහු තවමත් කොළඹ විශ්වවිද්‍යාලයෙද කියල මා දන්නෙ නැහැ. මනුෂ්‍ය නොවන ප්‍රාණීන් තමයි ආරම්භය ගැන කියල තියෙන්නෙ. ඒ දැනුම ලබාගත් අය කපු මහත්තුරු නම් නොවෙයි. මට නම් කපු මහත්තුරු වෙද මහත්තුරු මහාචාර්ය මහත්තුරු අතර විශාල වෙනසක් නැහැ. මහාචාර්ය මහත්තුරුන් රටට දීපු අලුත් සංකල්පයක් ගැන නම් මා දන්නෙ නැහැ.