History

Friday, 22 January 2021

ඉන්දියාව වරාය හා චීනය

 ඉන්දියාව වරාය හා චීනය


වරාය නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය වරාය විකිණීමේ, බදු දීමේ, ආයෝජනයේ, දේශීය සම්පත් රැක ගැනීමේ හෝ වෙනත් එවැන්නක හෝ ප්‍රශ්නයක් නො වෙයි. රුසියන් සමාගමකට කොටස් 49%ක් දුන්නේ නම් විරෝධයක් මතුවන්නේ ආණ්ඩු විරෝධීන්ගෙන් හා ආණ්ඩුවෙන් යමක් නොලැබුණු සුළු පිරිසකගෙන් පමණයි. එහෙත් අද ආණාඩුවට පක්‍ෂ අයත් ජනාධිපතිවරණයේදිත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ආණ්ඩුවට ඡන්දය දුන් අයත් ආණ්ඩු විරෝධීන් වෙලා.

මෙයට හේතුව අන් කිසිවක් නොව ඉන්දීය විරුද්ධතාවයි. ඉන්දියාව ඉතා ඈත අතීතයේ ඉන්දියාව යනුවෙන් රටක් නැතිව තිබූ කාලයේ සිට බොහෝ විට අපට දක්වා ඇත්තේ සුහද ආකල්පයක් නො වෙයි. විශේෂයෙන් ම චෝලයන් බලවත් වීමෙන් පසු අපට වැඩියෙන් ඇති වී තිබෙන්නේ ආක්‍රමණ. චේර, පාණ්ඩ්‍ය, පල්ලව ආදී රාජ්‍ය සමග යම් සුහදත්වයක් තිබුණ ද විවාහ ගණුදෙනු පවා කෙරුණ ද චෝලයන් සමග සුහදත්වයක් තිබී නැහැ. නායක්කාර් රජවරුන්ගේ ද ඇත්තේ ආන්ද්‍ර සම්භවයක් මිස චෝල සම්භවයක් නො වෙයි.

නේරුගේ කාලයේත් ඉන්දියාවට ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඉංගිරිසි පෙරදිග වෙළෙඳ සමාගම යටතේත් ඉංගිරිසි ආණ්ඩුව යටතේත් මුහුදුබඩ පෙදෙස් මුලින් පාලනය කෙරුණේ මදුරාසි ප්‍රාන්තයේ (ප්‍රදේශයේ) කොටසක් ලෙසයි. 1805 දි ඉංගිරිසින් අප මදුරාසියෙන් වෙන් නොකරන්න 1947 දී අප ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස ඊනියා නිදහසක් ලබා ගන්න තිබුණා. ඒ ප්‍රශ්නයේ එක් පැත්තක්.

අනෙක් පැත්තේ ඇත්තේ 1650න් පමණ පසු ලන්දේසින් මෙරටට ගෙනා මලබාර් ප්‍රශ්නය. ආර්ය චක්‍රවර්තීන්ගේ පැමිණීමෙන් පසුවත් පෘතුගීසි සමයේදීත් යාපනයේ ජනගහනයෙන් බහුතරය සිංහල. එහි වෙල්ලාලයන් හා වෙනත් දෙමළ, චේර (කේරළ) වැසියන් සුළු පිරිසක් සිටියා. එහෙත් ලන්දේසීන්ගෙන් පසුව තමයි මෙරටට වෙල්ලාලයන් තොග පිටින් ආනනය කෙරුණේ. එසේ පැමිණියවුන් හා ඉන්දියාවේ දෙමළ ජනයා අතර වූ සම්බන්ධය නැති වුණේ නැහැ. මෙයට ප්‍රධාන හේතුව යාපනය චෝර මණ්ඩල වෙරළට ආසන්නයේ පිහිටීම. අද වන විට ඊට පසුව ලංකාවට ගෙනා වතුකරයේ දෙමළ ජනයා හා තමිල්නාඩුව අතර සම්බන්ධය නායකයන් කිහිප දෙනකුට පමණක් සීමා වී තිබුණත් එකී දෙමළ ජනයා ගැන තමිල්නාඩුවේ තැකීමක් නැති වුවත් යාපනයේ වෙල්ලාලයන් හා තමිල්නාඩුව අතර සම්බන්ධය අද දක්වාත් නැති වී නැහැ.

මේ කරුණු දෙක නිසා ඉන්දීය ආණ්ඩුව වෙනත් කිසිම රටක කිසිම ආණ්ඩුවකට වඩා ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගහනවා. සමස්තයක් ලෙස සිංහලයන් ඉන්දියාවට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. ඉන්දියාව මේ කාරණය තේරුම් ගත් බවක් පෙනෙන්න නැහැ. සමහර විට ඉන්දියාවේ පාලක බ්‍රාහ්මණ වාංශිකයන් බුදුදහම රැක ගැනීම පිළිබඳ ව ද යටි හිතින් සිංහලයන්ට සුහදත්වයක් නොදක්වනවා ඇති. භාරතීය ඉතිහාසයේ බ්‍රාහ්මණයන්ට තදින් ම පහර වැදී ඇත්තේ බෞද්ධයන්ගෙන්.

ආණ්ඩුව සිංහලයන්ගේ ඉන්දීය විරුද්ධතාවත් ඉන්දියාවේ සිංහල විරෝධයත් තේරුම් ගත යුතුයි. සිංහලයන්ගේ ඉන්දීය විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් වීමට ඉඩ නොතැබිය යුතුයි.

රජිව් ඝාතනයෙන් පසු ඉන්දියාවට කොටි සංවිධානය පරාජය කිරීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අතර ඔවුන්ට තමිල්නාඩුව කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නය ද තිබුණා. ඒ හේතුවෙන් ඔවුන් 2008 වන විට ලංකාණ්ඩුව කොටි පැරදවීමට කළ හමුදා මෙහෙයුම් නොසළකා සිටීමට තීරණයක් ගෙන තිබුණා. එය ලංකාවට කළ උපකාරයක් නො වෙයි. ඉන්දියාව තමන්ට ම කර ගත් උපකාරයක්. ඉන්දියාවට කොටි පරාජය කර රජිව් ඝාතනයේ පළිය ගැනීමට වුවමනාවක් තිබුණ නමුත් තමිල්නාඩුව නිසා කොටින්ට විරුද්ධ ව ක්‍රියා කිරීමට නො හැකි වුණා. එයට විසඳුම වූයේ අපේ හමුදා මෙහෙයුම් ගැන ඇහැ කණ පියාගෙන සිටීම.

අප ඒ සඳහා ඉන්දියාවට කිසිවක් දිය යුතු නැහැ. ඉන්දීය කෞටිල්‍යයන් එය අපට කරන ලද උපකාරයක් ලෙස ඒත්තු ගන්නන්න ඇති. එහෙත් අප මහෞෂධලා විය යුතුයි. කෞටිල්‍යයන් හා කේවට්ටයන් පරාජය කළ යුතුයි. අප 13+ දීමටවත් වරාය නැගෙනහිර පර්යන්තය දීමටවත් තමිල්නාඩුවේ අවශ්‍යතා වෙනුවෙන් යාපනයේ ඊනියා විරු සමරු ඉදි කරන්නවත් බැඳී නැහැ. අද දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය වී තිබුණත් යම් ආකාරයකට පවතින්නේ ඉන්දියාවේ හා එංගලන්තයේ ආධාරය හා අනුග්‍රහය මත පමණයි.

එහෙත් අප කල්පනාවට ගත යුතු තවත් කරුණු තියෙනවා. නැගෙනහිර පර්යන්තය සඳහා මෙරටින් ආයෝජකයන් සොයා ගැනීම ප්‍රශ්නයක් ද කියා මා දන්නේ නැහැ. ආයෝජනය කිරීමට හැකි පුද්ගලයන් සිටියත් රජයත් සමග එකට ආයෝජනය කිරීමට කැමති අය ඉන්නවා ද යන්න ප්‍රශ්නයක්. එහෙත් වඩා වැදගත් ප්‍රශ්නය එය නො වෙයි. අපේ රටට ඉන්දියාවෙන් හා චීනයෙන් ඇති බලපෑම් තුලනය කිරීමයි. විශේෂයෙන් වරාය සම්බන්ධයෙන් එය වැදගත්. දිවයිනක් වූ අපට වරායවල ඇති වැදගත්කම කියා නිම කරන්න බැහැ.

අද හම්බන්තොට වරාය චීනයට අවුරුදු අනූනවයකට බදු දී ඉවරයි. චීනය නව සේද මර්ගයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉතා විශාලයි. අග්නිදිග ආසියාවේ ආර්ථිකයට චීනය විශාල බලපෑමක් කරනවා. කොළඹ පෝට් සිටිය හෙවත් වරාය නගරය චීන ආයෝජනයක්. එවැනි ආයෝජනයක් කිරීමට ලංකාවේ ආයෝජකයන් ඉනනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් මියන්මාරයේ නම් එවැනි හැකියාවක් තියෙන අය ඉන්නවා.

චීනය ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කරනවාට ඉන්දියාව කැමති නැහැ. අප මේ කාරණය ඉන්දියාවේ ඓතිහාසික ක්‍රියාවලිය සමග පටලවා ගත යුතු නැහැ. අප චීනයටවත් ඉන්දියාවටවත් වෙනත් රටකටවත් ගැති විය යුතු නැහැ. අපට නැගෙනහිර පර්යන්තය ඉන්දියාවෙන් මුදා ගැනීම වගේ ම හම්බන්තොට හා වරාය නගරය චීනයෙන් මුදා ගැනීමත් ප්‍රශ්න ලෙස තියෙනවා. මා හිතන්නේ නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය සමග ම චීනය සමගත් වරාය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් නැවත ආරම්භ කළ යුතුය කියා.

අද තිබෙන ක්‍රමය අනුව අපට ආයෝජකයන් අවශ්‍ය නම් අප කළ යුත්තේ වෙනත් රටවලිනුත් ආයෝජකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කිරීමයි. තව තවත් ණය නොගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගෙන ඇති තීරණය අගය කරන්න ඕන. අප ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා නම් වෙන රටවලිනුත් ආයෝජකයන් ලබා ගැනීමට උත්සාහ කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති කරන්න ඕන. ඉන්දියාව හා චීනය හැරුණු විට වෙනත් රටවල ද ආයෝජකයන් ඉන්න පුළුවන් බව මතක තබා ගත යුතුයි.




.