History

Monday, 4 January 2021

නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්

 නිදහස් දින සමරන මියන්මාරය සමග අපේ සම්බන්ධකම්


යළි යළි ඉපදෙන චම්පක පසුගිය තිස්වැනි දා ඩේලි මිරර් පත්‍රය සමග කළ සාකච්ඡාවක දී කොවිඩ් සමග මියයන අයගේ දේහ වැළලිය යුතු බව ප්‍රකාශ කරලා. ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුණෙ ඊනියා ලාංකික දේශපාලනයක් කිරීම සඳහායි. ඔහුට දැන් සිංහල බෞද්ධ ඡන්ද ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මුස්ලිම් හා දෙමළ ඡන්දවලට අත වනනවා. ඒ අතර ආණ්ඩුව ජෙනිෆර් කමිටුවක් පත් කරල. එක කමිටුවකින් ලැබුණු වාර්තාවක් තියෙන විට යළිත් කමිටුවක් පත් කරන්නේ යම් කිසිවකුට අවශ්‍ය නිර්දේශයක් ලබා ගැනිමට බව පැහැදිලියි. ඒ පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රී ඡන්ද ලබා ගැනීමට. මුස්ලිම් ඡන්ද නැතිව තුනෙන් දෙකේ බුතරය හදා ගන්න බැහැ. දැන් තියෙන විධියට මුස්ලිම් ඡන්ද සමග ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යන්නේ ජාතිකත්වයට මුල් තැන දීමට නො වෙයි. ඒ පිටුපස ජාතිකත්වයක් නොමැති ව ජනාධිපති වීමේ අපේක්‍ෂාවෙන් පෙළෙන්නකු ඉන්නවා. මේ යළි යළිත් යුගයේ යළිත් කමිටුවක් පත් කරමු ද?

මේ සියල්ල ගැන පස්සෙ විස්තර සහිත ව කතා කරමු. අද මියන්මාරයෙ නිදහස් දීනය. ඒ් රටට එංගලන්තයෙන් නිදහස ලැබිල තියෙන්නෙ අදීන් හැත්තෑතුන් වසරකට පෙර. අපට වඩා මාසයකට කලින්. ඒත් නිදහස් සටන් අතර කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා. නිදහසෙන් පසු මියන්මාරය (බුරුමය) පොදු රාජ්‍ය මණ්ඩලයට බැඳුණේ නැහැ. මියන්මාරය ප්‍රදේශ කිහිපයක එකතුවක්. ඒ එකතුව සිදු වී ඇත්තේ 1947 පෙබරවාරි 12 වැනි දා.

මියන්මාරයෙ ප්‍රධාන ජන කොටස බුරුම. බුරුමය අප මෙන් අවුරුදු 450ක් පමණ යටත්විජිත පාලනයකට යට වෙලා නැහැ. 1824-36 කාලයේ පැවති යුද්ධවලින් තමයි එංගලන්තය මියන්මාරයෙ බටහිර කොටසෙ ප්‍රදේශ කිහිපයක් යටත් කර ගෙන තියෙන්නෙ. ඉන් පසු 1852 දී දකුණු මියන්මාරය යටත් කර ගෙන. 1885 දි තමයි මැන්ඩලේ නගරය යටත් කර ගෙන තියෙන්නෙ. යටත් විජිතයක් ලෙස පැවති කාලය සුළු නිසා රටේ අපට වඩා ජාතිකත්වයක් තියෙනවා.

1920 දෙසැම්බරයෙ දී යැන්ගොන් විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නෙ. පහුගිය මාසයෙ ඒ පිළිබඳ උත්සව පැවැත්වුණා. එදා ඒ විශ්වවිද්‍යාලය හඳුන්වල තියෙන්නෙ රැංගුන් විශ්වවිිද්‍යාලය කියල. මියන්මාරයෙ නිිදහස් සටන ඇති වෙලා තියෙන්නෙ මේ විශ්වවිද්‍යාලය වටා. විශ්වවිද්‍යාල සිසුන් තමයි නායකයන් වූයේ. සු චී මහත්මියගේ පියා වූ අවුං සාන් මෙහි දී ප්‍රධානයි. ඒ අතර බුරුමයේ පළමු අගමැති නූ මහතා ද වුණා. අප කියන්නෙ ඌ නූ මහතා කියායි. එහෙත් බුරුම (මියන්මාර) භාෂාවෙන් ඌ කියන්නෙ මහතා කියන එකට. එක්කේ ඌ නූ කියමු. නැත්නම් නූ මහතා කියමු. 1947 බුරුම රාජ්‍යය එක්සත් කළාට පස්සෙ අවුං සාන්ට වෙඩි තියල. ඔහු මිය ගිහින්. අවුං සාන් ජාතියේ පියා ලෙස සැලකෙනවා.

මියන්මාරයෙ නිදහස් සටන යැංගොන් විශ්වවිද්‍යාලය සමග බැඳුනත් අපේ නිදහස් සටන ලංකා විශ්වවිද්‍යාලය සමග බැඳුනෙ නැහැ. මෙරට විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවල තියෙන්නෙ 1921 දී. රැංගුන් විශ්වවිද්‍යාලයට මාස ගණනකට පස්සෙ. 1916 දි රාජකීය විද්‍යාලය වහල විශ්වවිද්‍යාල ආයතනයක් ඇති කිරීමේ අදහස ආණ්ඩුවට ඇවිත් තියෙනවා. එකල රාජකීය විදුහල තිබුණෙ අද කොළඹ විශ්වවිිද්‍යාලය තියෙන භූමියෙ. රාජකීය විදුහලේ ඩෝර්න්හොස්ට් ප්‍රමුඛ ආදි ශිෂ්‍යයන් එයට විරුද්ධ වෙලා. පස්සෙ 1921 දි රාජකීය විදුහලත් වහන්නෙ නැතිව එය අල්ලපු වත්තට ගෙනිහින් විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවල තියෙනවා. විශ්වවිිද්‍යාල ශිෂ්‍යයන්ට නිදහස් සටනක් අවශ්‍ය වෙලා නැහැ. එසේ වූයේ ඇයි ද කියා පස්සෙ දවසක කතා කරමු. ඔවුනට ජාතික කතා නයාට අඳුකොළ වගේ. පැණිය තහනම් වචනයක්. යුක්රේන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගත් ජාසිංහට පැණියට විරුද්ධ වෙන්න පුළුවන්. එසේ විරුද්ධ වීම ගැන මා අදහසක් ප්‍රකාශ කිරීම නොකළ යුත්තක්, ජාසිංහට කරන අපහාසයක්.

මියන්මාරයෙ පටන් ගැනීම, එහෙම නැත්නම් බුරුමය එක්සත් කිරීම ඇරඹිලා තියෙන්නෙ 1044 දි. ඒ අනවරත නැත්නම් අනිරුද්ධ රජු විසින් කරන ලද්දක්. ඔහු පගාන් යනුවෙන් හැඳින්වෙන නගරයෙ රජු. පගාන් නගරය ඇති වෙලා තියෙන්නෙ චීනයෙන් හා ටිබැටයෙන් පැමිණි පිරිසක් අතින් 849 දි. අනවරත රජු 1044 දී බුරුම කියන පිරිස එකතු කරලා රාජ්‍යයක් ගොඩ නගල. ඒ රාජ්‍යයට පෙර තිබිල තියෙන්නෙ පෞර රාජ්‍ය. මේ සිද්ධිය පණ්ඩුකාභය රජුගෙ සිද්ධියට සමාන්තරයි. අනවරත රජු 1057 දි දකුණෙ මොන් රාජ්‍යයද එකතු කරල මියන්මාර රාජ්‍යය හදල. ඒ සිද්ධිය ගැමුණු රජුගෙ සි්ද්ධියට සමාන්තරයි.

මොන් රාජ්‍යයෙ බුද්ධාගම තිබිල තියෙනව. ඒත් පසුව ක්මර් හින්දු බලයට යටවෙලා. අනවරත රජු තමයි ක්මර හින්දුන් පරාජය කරල නැවතත් බෞද්ධ රාජ්‍යයක් ගොඩනගල තියෙන්නෙ. ඔය වකවානුවෙ තමයි අපේ විජයබාු රජු සොළී හින්දුන් පරාජය කරල පොළොන්නරුවෙ රජ වුණෙ. ඒ 1055 දි. අනවරත රජු හා විජයබාහු රජු අතර මිත්‍රත්වයක් තිබිල තියෙනවා. දෙදෙනා එකිනෙකාට උදවු කරල තියෙනවා. ඔය කාලෙ සිංහලේ උපසම්පදාව නැති වෙලා. අනවරත රජුගෙ උපකාරයෙන් තමයි උපසම්පදාව නැවත ඇති කරල තියෙන්නෙ. ඒ රජවරු දෙදෙනා නොහිටින්න මේ කලාපය ම හින්දු වෙන්න තිබුණා.

ඒ අතර තවත් දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි සිංහල බුද්ධාගම හා සිංහල බෞද්ධ රාජ්‍යය මියන්මාරයට හඳුන්වා දීම. මේ සිංහල බුද්ධාගම අනෙකක් නොව පස්වැනි සියවසේ මහාවිහාරය ආශ්‍රීත ව ඇති වුණු බුද්ධාගම. ධාතුසේන රජු ඔය කාලෙ සිංහල බෞද්ධ රාජ්‍යය ශක්තිමත් කළා. ඔහු මෞර්ය වාංශිකයෙක්. ඔහු පළමු මෞර්ය වාංශිකයා. ඔහු මෞර්ය වුණෙ කොහොම ද? ඒ කොහොම වුණත් ඔය කාලෙන් පස්සෙ තිබුණ සිංහල බුද්ධාගම විජයබාහු රජුගෙ කාලෙ අනවරත රජුගෙ මියන්මාරයට ගෙන ගිහින්. අනවරත රජු විජයබාහු රජුගෙ රාජ්‍ය තන්ත්‍රය අනුව තමයි මියන්මාර රාජ්‍ය තන්ත්‍රය ඇති කරල තියෙන්නෙ. මේ රාජ්‍යය පිළිබඳ විස්තරයක් ටේ‍රවෝ ලිංගෙ බුද්ධ කියන පොතේ තියෙනවා. ඒ පොත සිංහලට පරිවර්තනය කෙරිල තියෙනවා.

ලංකාවත් මියන්මාරයත් අතර ඇත්තෙ දැඩි සම්බන්ධයක්. පස්සෙ කාලෙක ධම්මසෙට්ඨි රජුගෙ කාලෙ ලංකාවෙන් උපසම්පදාව ගෙනත් තියෙනවා. ඒ සම්බන්ධ සීමාව බැගෝ නගරයෙ තියෙන්නෙ. එය කල්‍යාණි මහා සීමාව නමින් හැඳින්වෙනවා. ඊටත් පස්සෙ දහනවවැනි සියවසේ මියන්මාරයෙන් අපට උපසම්පදාව ගෙනිච්චා. අමරපුර හා රාමඤ්ඤ නිකායවල උපසම්පදාව මියන්මාරයෙ.

අප උත්සාහ කරනව ලංකාව හා මියන්මාරය අතර සම්බන්ධය නැවත ශක්තිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් පළමු පියවරක් ලෙස ඒ ගැන සම්මන්ත්‍රණයක් පවත්වන්න සැලසුම් කරනවා. තවමත් අපට ලංකාවෙන් සම්පත් දායකයන් හොයා ගන්න බැරි වුණා. වර්තමාන සම්බන්ධය එහෙමයි.