History

Monday, 1 March 2021

චින්තනය හා තුන්සේකරයෝ

 
චින්තනය හා තුන්සේකරයෝ


අසූවේ දශකයේ අගභාගයේ තමයි ජාතික චින්තනය කියන වචන ව්‍යවහාරයට පැමිණියේ.  ඒ 1986 නොවැම්බරයේ හරි දෙසැම්බරයේ හරි ගුණදාස අමරසේකර දිවයිනට ලියූ ලිපියකින් හා රත්නපුරයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකින් පසුව. අමරසේකරෙ ජාතික චින්තනය යන්නෙන් අදහස් කෙළේ කුමක් දැයි පැහැදිලි ව කිවුවේ නැහැ.  එය රුසියන් විප්ලවය ගැන ලියන ලද ලිපියක තිබූ ප්‍රකාශයක (national thought) පරිවර්තනයක්. අදාළ ලේඛකයා තම ලිපියෙහි සඳහන් කර තිබුණේ රුසියන් විප්ලවය මාක්ස්වාදී විප්ලවයක් නොව  රුසියන් ජාතික චින්තනයේ ජයග්‍රහණයක් බව. 


අමරසේකර මුලින් යොදා ගත්තේ ජාතික චින්තනය යන්න නොව ජාතික චින්තනයක් යන්නයි.    ඔහු කියා සිටියේ අපේ දේශපාලනයට යම් ජාතික ස්පර්ශයක් තිබිය යුතු බවයි. බටහිර දේශපාලනයට යම් ජාතික චින්තනයක් මිශ්‍ර කළ යුතු බවයි ඔහුගේ මතය වුණෙ. අර රුසියන් විප්ලවය ගැන ලියූ ලේඛකයා ද ජාතික චින්තනය නැත්නම් නැෂනල් තෝට් යන්න පැහැදිලි ව විස්තර කර තිබුණේ නැහැ. 


අමරසේකරට අවශ්‍ය වූයේ මෙරට දේශපාලනයේ දී යම් ජාතික චින්තනයක් මිශ්‍ර කිරීමයි. ඔහුගෙ අදහස් අනුව එයින් තේරුම් ගියේ බටහිර දේශපාලනයට ජාතික චින්තන අදහසක් ද එකතු විය යුතු බවයි. අමරසේකර බොහෝ වි කෙළේ බටහිර ලේඛකයන්ගේ සංකල්ප සිංහලට පරිවර්තනය කර ලිවීමයි. එරික් ෆ්‍රොම්ගේ සභ්‍යත්ව විඥානය මාටින් යක්ගේ සභ්‍යත්ව රාජ්‍යය එයට තවත් උදාහරණ දෙකක්. 


අමරසේකරට පෙර සූරිය ගුණසේකර හා ජී අයි ඩී ධර්මසේකර අපේ පැරණි දැනුම ගැන කතා කළා.  මේ තුන්සේකරයන්ගෙන් පැරණි දේ ගැන අඩුවෙන් ම කතා කෙළේ අමරසේකරයි. ඉතිහාසය හදාරා තිබූ ධර්මසේකර වත්මන් දේශපාලනය ඉතිහාසය සමග සංසන්දනය කළා. මා නව සමසමාජ පක්‍ෂයේ සාමාජිකයකු ව සිටි අවධියේත් (1980ට පෙර) ඔහු ඉතිහාසයේ පැරණි දේශපාලනය ගැන කතා කළා. එවකට නරුම මාක්ස්වාදීන් වූ අපට  ධර්මසේකර ප්‍රියමනාප වුණේ නැහැ. 


සූරිය ගුණසේකර වැඩි වශයෙන් නොව සම්පූර්ණයෙන් ම මෙන් කතා කෙළේ පැරණි දැනුම ගැනයි.  පැරණි තාක්‍ෂණය, වෙදකම ආදිය ඔහුගේ මාතෘකා වුණා. සූරිය ගුණසේකර විවිධ නම්වලින් දිවයිනට ලිපි සැපයූවා. ඒ ඔහු රජයේ පරිපාලන සේවයේ නිලධාරියකු වීම නිසා දැයි කියන්න බැහැ. ලන්ඩන් ගිය බංඩා ලිපි පෙළ ඉතා ජනප්‍රිය වුණා. එ අතර ඔහු අගමැති අයියා හෙවත් මුදියන්සේ තෙන්නකෝන්, බොරුපන වෙදමහතා හෙවත් රුහුණු වෙද මහතා වැන්නන්ගේ අදහස් තම ලිපිවලින් ප්‍රචාරය කළා. සූරිය ගුණසේකර වත්මන් දැනුම නොව පැරණි දැනුම හිසින් ගත්තකු ලෙසයි පෙනී ගියේ. 


මේ අතරට මා එක් වූයේ වෙන ම පැත්තකින්. මා මුලින් ම ප්‍රශ්න කෙළේ මාක්ස්වාදයයි. මාක්ස්වාදය බටහිර විද්‍යාවක් නොවන බවයි මා කියා සිටියේ. එය කාල් පොපර්ගේ අදහසක් සමග එකඟ වන බවක් පෙනෙන්න ඇති. පොපර් මාක්ස්වාදය අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි නිසා එය විද්‍යාවක් නො වේය කිවුවා. පොපර්ට අනුව ඒ මිනුම් දණ්ඩෙන් ම ගත් කල ජ්‍යොතිෂයත් මනෝ විශ්ලේෂණයත් විද්‍යාවන් නො වෙයි. මා මාක්ස්වාදය විද්‍යාත්මක ද යනුවෙන් තරමක දීර්ඝ ලිපියක් ලියා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වුණෙ 1980 මාර්තුවේ දී පමණ. මා එහි කියා සිටියේ මාක්ස්වාදය අසත්‍යකරණය වී ඇති බවයි. එහි දී තුන්සේකරයන්ගෙන් කිසිවකුගේ අදහස් මට බලපෑවේ නැහැ. මා ධර්මසේකරටත් අමරසේකරටත් විරුද්ධවයි සිටියේ. අමරසේකර අබුද්ස්ස යුගයක් වැනි කෘතිවලින් ප්‍රචාරය කළ අදහස් මගේ විවේචනයට ලක් වුණා. 


මා 1980 දී මාක්ස්වාදය නොපිළිගත්තත් බටහිර විද්‍යාව පිළිගත්තා. එකලත් මා බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන විශ්වාස කළා. මා බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යත්මක ක්‍රමයක් ගැන ප්‍රශ්න කෙළේ ඉන් පසුව. එහි දී මට බටහිර භෞතික විද්‍යාඥයන්ව සිට පසුව බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් වූ තොමස් කූන් හා පෝල් ෆෙයරාබන්ඩ් බලපෑවා. බටහිර විද්‍යාව හා පොදුවේ බටහිර දැනුම අපට ආගන්තුක වන්නේ ඇයි ද යන ප්‍රශ්නය 1969-70 කාලයේ සිට ම මගේ හිතේ හොල්මන් කළා. එයට පැහැදිලි පිළතුරක් මට ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ක්වොන්ටම් යාන්ත්‍රිකය ඉගැන්වීමට පටන් ගැනීමෙන් පසු. 


බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම සංස්කරණය වන්නේ (එකල කී ලෙස නිර්මාණය වන්නේ) අපට නුහුරු වෙනත් චින්තනයක බව මට වැටහී ගියා. චින්තනය යන සංකල්පය මගේ අතින් සංස්කරණය වුණා. ඒ 1983 දි පමණ. එකල මා සිතා ගෙන සිටියේ බටහිර විද්‍යාව යුදෙවු චින්තනය මත පදනම් වන බව. පසු කලෙක මට වෑටහුනා බටහිර විද්‍යාවේ චින්තනයට ග්‍රීක හා ක්‍රිස්තියානි (කතෝලික නොවන) කොටස් ද තිබෙන බව. දැන් මා ඒ චින්තනය හඳුන්වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස. 


මා දැනුම සංස්කරණය කෙරෙන්නේ කෙසේ ද යන්නයි මූලික ව කල්පනා කෙළේ. එහි දී චින්තනය යන්න යෙදා ගැනීමත් අපේ චින්තනයක් ගැන කතා කිරීමත් නිසා එය ජාතික චින්තනය සමගයී සමාජගත වුණෙ. එමෙන් ම අප පැරණි දැනුම ගැන කතා කිරීම නිසා සමහරුන්ට සූරිය ගුණසේකරගේ අදහස් සමග අප අදහස් ද සම්බන්ධ කියා සිතුණා. ධර්මසේකර ද සමග අප කිහිප දෙනකු එකතු වී චින්තන පර්ෂදය ගොඩ නගා ගත්තා. එයට සූරිය ගුණසේකරවත් අමරසේකරවත් සහභාගි වුණේ නැහැ. එහෙත් බොහෝ දෙනා අප අදහස් එක්කෝ සූරිය ගුණසේකරගේ නැත්නම් ගුණදාස අමරසේකරගේ අදහස් සමග ගැට ගසා ගන්නවා. 


බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව මා මුලින් ම කිවුවේ කවදා ද යන්න මට මතක නැහැ. එහෙත් එය පට්ටපල් බොරු යැයි මා කියන්නේ සියල්ල බොරු කියන අරුතින්. අපට බොරු හැර වෙනත් දෙයක් කියන්න බැහැ. ඒ බොරුවලින් කොටසක් තමයි බටහිර විද්‍යාව. එය පට්ටපල් බොරු. අප බොරුවත් පට්ටපල් බොරුවත් ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. එහෙම කරල අපට ජීවත් වෙන්න බැහැ. ජීවත්වීම ම බොරු මත පදනම් වූවක්. මුසා කියන්නේ බොරුවලින් කොටසකට. අප පන්සිල් සමාදන් වීමේ දී කියන්නේ මුසා බස් කීමෙන් වළකින බව මිස බොරු කීමෙන් වළකින බව නො වෙයි. මුසා හා බොරු අතර වෙනස මා කලින් ලිපිවල පැහැදිලි කරල තියෙනවා. බටහිර දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට අප විරුද්ධ නැහැ. මගේ ලෝකයෙහි අවශෝෂණය යන්න විස්තර කර ඇති. බටහිර දැනුම කියන්නෙ දැනුම් පද්ධති රාශියක් අතර එකක් පමණයි. අද එයට ආධිපත්‍යයක් ලැබී තියෙනවා. අප ඒ ආධිපත්‍යයට යට වීම නම් ප්‍රතික්‍ෂෙප කරනවා.