History

Sunday, 14 March 2021

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

 

ධීවරයන්ගෙන් එහා ලෝකයක්

 

මා ඊයේ ලිපියෙන් කියා සිටියේ මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ධීවරයන් සම්බන්ධයෙන් කිසිවක් කර නොමැති බව නො වෙයි. ධීවරයන් තානාපති කාර්යාලය එක්  වරක් පමණක් කතා කර ඇති බව කියා තියෙනවා. එයට හේතුව එක්  වරක් පමණක් කතා කිරීමට අවස්ථාව ලැබීම. එහෙත් අප කිහිප වරක් ම ඔවුන් සමග කතා කිරීමට උත්සාහ ගත්තා. විවිධ දේශපාලන හා පරිපාලන හේතු නිසයි එසේ නොහැකි වී ඇත්තේ. ඒ සියල්ල හෙළිදරවු කිරීම අනිසි ක්‍රියාවක්. අපට තානාපති කාර්යාලය ලෙස කටයුතු කිරීමට සිදුවන්නේ නිල ආකාරයකට.

 

අප අපේ උත්සාහයන් අතහැර නැහැ. ධීවරයන් මියන්මා මුහුදු සීමාවට ඇතුල් වී ඇත්තේ අනවසරයෙන්. ධීවරයන් පිළිගෙන තියෙනවා තමන් වරදක් කළ බව. තානාපති කාර්යාලයට කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ඒ පසුබිමේ. ඇතැමුන් අපට උපදෙස් දී තිබුණා. ඒ සියලු දෙනාට ම අප පින් දෙනවා. එහෙත් අප ඒ බොහෝ දේ කර අවසන්.

 

බිම්ස්ටෙක් විදේශ ඇමතිවරුන්ගේ අතථ්‍ය රැස්වීමට බිම්ස්ටෙක් සභාපති ලෙස, ලංකාවේ විදේශ ඇමතිවරයා ලෙස නොව, මියන්මා විදේශ ඇමතිවරයාට කළ ආරාධනය ගැන බොහෝ දෙනා පසුගිය දා චෝදනා කර තිබුණා. හමුදා ආණ්ඩුව පිළිගත්තේ ය කියාත්  ඇතැමුන් චෝදනා කර තිබුණා.

 

එහෙත් ඒ ආරාධනය එක් රටකින් තවත් රටකට කරන ලද ආරාධනයක් නොවෙයි. එය ද්විපාක්‍ෂික ප්‍රශ්නයක් නො වෙයි. ඒ ආරාධනය කලාපීය ආරාධනයක්. කලාපීය සංවිධානයක් (බිම්ස්ටෙක්) වෙනුවෙන් ඒ සංවිධානයේ සභාපති රටේ විදේශ ඇමති ලෙස කරන ලද ආරාධනයක්. ඒ වෙනස තේරුම් ගැනීමට නොහැකි ව බොහෝ උගතුන් බුද්ධිමතුන් ලංකාණ්ඩුව විවේචනය කළා. නොදන්නාකම ගැන අප අනුකම්පා කළා.

 

එහෙත් දැන් ඇතැමුන් අහනවා ධීවරයන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හමුදා ආණ්ඩුවේ විදේශ ඇමතිතුමාට කතා නොකෙළේ ඇයි කියා. මා මෙවැනි අසංගත කතාවලට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ නැහැ. කෙසේ වෙතත් තානාපති කාර්යාලයට කළ හැකි කාර්යයන් සීමා වෙලා. මෙහි දී තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ශ්‍රී ලාංකිකයන් වෙන රටක නීතිය යටතේ වරදක් කර ඇත්නම් ඒ රටට පුළුවන් තම නීතිය යටතේ චෝදනා කර උසාවියකට ඉදිරිපත් කරන්න. අපට එසේ කරන්න එපා කියන්න බැහැ. එහෙත් කළ හැකි වෙනත් කිසිවක් ඇත්නම් අප එය නොකර ඉන්නේ නැහැ. ධීවර ප්‍රශ්නයේ අවසානයක් දකින තෙක් මා මියන්මාහි රැඳී ඉන්නවා.

 

ශ්‍රී ලංකාව හා මියන්මා අතර සම්බන්ධය තපස්සු භල්ලුක කරා දිව යනවා. තපස්සු භල්ලුක මියන්මා මොන් ගෝත්‍රිකයන්. ඔවුන් තව පැත්තකින් නාගයන් වෙනවා. ඔවුන් තිරියායට පැමිණීම සම්බන්ධයෙන් නාග කතා විස්තර තියෙනවා. අප රටේ පළමු චෛත්‍යය තපස්සු භල්ලුක මැදිහත් වීමෙන් තනන ලද්දක්.  ඉන් පසු නැවතත් ප්‍රධාන සම්බන්ධයක් ඇති වී තිබෙන්නේ විජයබා රජුගේ කාලයේ. එකල මියන්මා රටෙන් අප උපසම්පදාව ලබා ගෙන ඇති අතර මියන්මා භික්‍ෂූන් වහන්සේ අපෙන් පොත පත ලබා ගෙන තියෙනවා. එකල මියන්මා රජු අනවරත.

 

අපේ සම්බන්ධකම් ඉන් පසු දිගින් දිගට ම වර්ධනය වෙලා තියෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණීමට සුළු කලකට පෙර නැවතත් ලංකාවෙන් මියන්මා දේශයට උපසම්පදාව ලැබී තියෙනවා. එය සිදු වී ඇත්තේ ධම්මසෙට්ඨි රජු කල කල්‍යාණි සීමාවේ. එය මියන්මාරයේ වත්මන් බැගෝ ප්‍රදේශයේ පිහිටා ඇත්තේ. තිරියාය මෙන් ම මේ සීමාවත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන විධියේ බටහිර ආකාරයේ සංරක්‍ෂණයක් නො වෙයි අප බලාපොරොත්තු වන්නේ. ලංකාවේ පුරාවිද්‍යා අණ පනත් පමණක් නොව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංශෝධනය කරන්න ඕන. අපට ඇත්තේ අඛණ්ඩ පාරම්පරික සංස්කෘතික ඉතිහාසයක් මිස ඊජිප්තුවේ (මිසරයේ) වැනි අසන්තතික ඉතිහාසයක් නො වෙයි. මිසරයේ පිරමීඩ් ගොඩ නැගූ සංස්කෘතිය අද එහි නැහැ. එහෙත් තිරියායේ සංස්කෘතියෙ විකාශයක් තමයි තවමත් කැලණියේත් තියෙන්නෙ. සිංහල බුද්ධාගම මියන්මාහි පමණක් නොව අග්නිදිග ආසියාවේ ම දකින්න පුළුවන්.

 

අපේ රජවරු මේ පූජනීය ස්ථාන සංරක්‍ෂණය කෙළේ නැහැ. ඔවුන් ඒවා ප්‍රතිසංස්කරණය කළා. බටහිර පුරාවිද්‍යා සංරක්‍ෂණය හා අපේ සංස්කෘතියේ ප්‍රතිසංස්කරණය දෙකක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එය තේරෙන්නෙ නැත්නම් ඒ දෙපාර්තමේන්තුව කටගෙයි (කෞතුකාගාරයෙ) කාමරයකට දමා ජනතාවට බලන්න සලස්වන්න ඕන. පුරාවිද්‍යා පොර්තමේන්තුවත් බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙලා.

 

අප ඉංගිරිසින්ට යටත් වෙන සමයේ අපේ ඇතැම් භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය වෙලා තියෙනවා තායිලන්තයෙන් හරි මියන්මා රටෙන් හරි කුමාරයකු ගෙනැවිත් රජ කරවන්න. අපේ රජ පරපුර වඳ වී ගොස් තිබුණ නිසයි එසේ කල්පනා කර ඇත්තේ. එය කරගන්න බැරි වෙලා. නරෙන්ද්‍රසිංහ රජුට මියන්මා කුමරියක් ගෙනාවා නම් කුමක් වෙන්න තිබුණ ද කියන එක පඬි නැට්ටන් කියන විධියට සෝපාධීය නැත්නම් උපන්‍යාසීය (hypothetical) ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් තානාපති මැදුරේ ඉඳන් පණුවන් කන සාම පරෙවියන් නරඹන අතර මට මේ දේවල් කල්පනා වෙනවා.

 

එහෙම කුමරියක් නොගෙනාවත් අපේ ශිෂ්‍ය කාලෙ ලංකාවෙ බුරුම තානාපති බූන් වොත්ගෙ භාර්යාව ෂර්ලි බූන් වොත් මෙරට පටලැවිල්ලක් ඇති කරගෙන බූන් වොත් අතින් කොල්ලුපිටියෙ ගෙදර දි මැරූම් කෑව. ඒ ගෙදර අද කැප්රි ක්ලබ්. ඒ කාලෙ බුරුමෙ ජනාධිපති නේ වින්. පළමු හමුදා ජනාධිපති. ඔහු ජනාධිපති වුණෙ 1959 දි. ඔහු ජනාධිපති ලෙස 1966 දි ලංකාවට ඇවිත් තියෙනවා. ඒ ආසන්න කාලෙක (1962-64) බුරුමයෙ ලංකා තානාපති ජී එල් පීරිස්ගෙ තාත්තා. ජී එල්ගෙ තාත්තා විදේශ සේවයේ ඉහළ  නිලධාරියෙක්. ජී එල්ගෙ සීයා කෙනෙකු වූ සුසන්ත ද ෆොන්සේකා තමයි බුරුමයේ ප්‍රථම ලංකා තානාපති.

 

ඒ මොකක් වුණත් අපි අනාගතය හැඩ ගස්ස ගමු. තිරියාය ගැන කතා කළ නිසා මට හිතෙනවා එයින් ම අවසන් කරන්න. තිරියාය ඇතුළු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපරයක් ඒ සිද්ධස්ථානවලට අහිමි වී ඇති ඉඩකඩම් නැවත ලබා ගැනීමේ අරමුණත් ඇති ව මියන්මා රටත් සමග සංවිධානය කරමු.