History

Friday, 16 April 2021

වරාය නගරය හා සම්බන්ධයි

 

වරාය නගරය හා සම්බන්ධයි

 

කොළඹ වරාය නගරය නැත්නම් වඳ සිංහලෙන් කියනව නම් පෝට් සිටිය ගැන විජයදාස රාජපක්‍ෂ කියන සියල්ල විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔහුට යම් දුක් ගැනවිල්ලක් තියෙන බව පැහැදිලියි. ඔහු කරන කියන දෙයින් දුක් ගැනවිල්ල නිසා කෙරෙන එකතු කිරීම් අඩු කිරීමට අප දැන ගත යුතුයි. ඔහු ගෝඨාභය හා බැසිල් යන රාජපක්‍ෂ සහෝදරයන් ගැන කියන දේ කුමක් වුවත් අද පොදුජන පෙරමුණු සංධානයට ඡන්දය දුන් බොහෝ දෙනාගේ ඉල්ලීම ජනාධිපති තම බලතල පාවිච්චි කළ යුතු බවයි. දිලුම් අමුණුගමගේ හිට්ලර් කතාවට මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජර්මන් තානාපති කුමක් කීවත්, ඔවුන් වල්ගය පාගා ගත්තත්, ඒ කතාවෙන් අදහස් කෙළේ කුමක් ද යන්න ඊනියා ප්‍රබුද්ධයන් නොවන අයට තේරුම් ගන්න අපහසුවක් නැහැ.  එවැනි කතා මහා සඟ රුවන ද ප්‍රකාශ කරන බව ජර්මන් තානාපති නොදන්නවා වෙන්න පුළුවන්.

 

ඒ කොහොම වෙතත් බටහිර රටවල තානාපතිවරුන්ට මෙරට දේශපාලනයට ඇඟිලි ගහන්න තියෙන අයිතිය මොකක් ද කියා දැන ගන්න ඕන. විජයදාස රාජපක්‍ෂ ඇහුව නම් මෙරට ජනාධිපති මණ්ඩලයක් තියෙනවා ද එහි සාමාජිකයන් බටහිර රටවල තානාපතිවරු ද කියා අපට එයට සවන් දෙන්න වඩාත් ඉඩක් තියෙනවා. මියන්මාහි බටහිර තානාපතිවරයෙක් එරට අභ්‍යන්තර කටයුත්තකට ඇඟිලි ගැහුව. හමුදා රජය බල බලා හිටියේ නැහැ. වහාම වහෙන් ඔරෝ නොකියා කෙලින් ම කියන්න ඕන දේ ලියවිල්ලකින් ම ප්‍රකාශ කළා. ප්‍රශ්නය එතැනින් ඉවරයි. ජර්මන් තානාපති එරට රටවැසි භාවය පිළිබඳ ඇති නීති රීති නොදන්නවා වෙන්න බැහැ. අපේ රටේ නීති රීති එක්ක බැලුව ම ජර්මන් නීති රීති තවමත් හිට්ලර්ට වඩා කිට්ටුයි.

 

ඒත් විජයදාස රාජපක්‍ෂ කියන දේට අර දුක් ගැනවිල්ල අඩු කරල සවන් දෙන්න ඕන. වරාය නගරය කියල එකක් අවුරුදු කිහිපයකට පෙර තිබුණෙ නැහැ. එය ලංකාවෙ ගොඩබිමක් නො වෙයි. කිසිම දිස්ත්‍රික්කයකට අයිති වෙලා තිබුණෙත් නැහැ. පළාතකට අයිතිත් නැහැ. ඒත් ඒ හරිය ලංකාවෙ මුහුදු සීමාවෙ. ඒ නිසා තමයි අපට එතැන නගරයක් හදන්න පුළුවන් වුණෙ. අපට බෙංගාල බොක්කෙ ඕන තැනක නගර හදන්න බැහැ.

 

වරාය නගරය කිසිම දිස්ත්‍රික්කයකට ඇතුල් කරන්න අවශ්‍ය නැහැ. එය අහවල් පළාතෙ කියල කියන්න ඕනත් නැහැ. රටක තියෙන්න පුළුවන් දිස්ත්‍රික්ක හා පළාත් පමණක් නො වෙයි. යම් ආකාරයක පාලනයකට යටත් වෙන වෙනත් ප්‍රදේශත් රටකට අයිති වෙන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තියෙන් (ව්‍යවස්ථාවෙන්) ලංකාවට අයත් භූමිය නිර්වචනය කර තියෙනවා. ඒ දිස්ත්‍රික්ක විසිපහකින් සමන්විතයි. ඒ දිස්ත්‍රික්ක විසිපහ ව්‍යවස්ථාවේ පළමුවැනි උපලේඛනයේ දැක්වෙනවා.

 

පළමුවෙන් ම කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වැනි වගන්තිය සංශෝධනය කර ලංකාවේ භූමිය දිස්ත්‍රිය්ක විසිපහෙන් හා වරාය නගරයෙන් සමන්විත වන බව ප්‍රකාශ කිරීමයි. වරාය නගරය පාලනය සඳහා යම් කොමිසමක් පත් කළ හැකි වන අයුරින් මෙන් ම එහි ස්ථිර පදිංචිකරුවන් වන රටවැසියන්ට ඡන්ද බලය හිමිවන අයුරින් හා ඔවුන් යම් ඡන්ද කොට්ඨාශයක ඡන්දදදායකයන් වන අයුරින් නීති සම්පාදනය විය යුතුයි. මෙහි තරමක ගැටළුවක් තියෙන්න පුළුවන්. එහෙත් විසඳුමක් හොයා ගන්නත් පුළුවන්.

 

වරාය නගරය පාලනය කරන කොමිසම ලංකාවේ රටවැසියන්ගෙන් පමණක් සමන්විය යුතුයි. එමෙන් ම එහි ස්ථිර පදිංචි කරුවන් වන රටවැසියන්ට ප්‍රාදේශීය සභාවක් පවත්වා ගැනීමටත් හැකි විය යුතුයි. වරාය නගරයේ තාවකාලික ව පදිංචි විය හැකි රටවැසියන්  නොවන්නන් සංඛ්‍යාව යම් උපරිමයකට යටත් විය යුතුයි. එමෙන් ම වරාය නගරය පාර්ලිමේන්තුවේ අධිකාරියට යටත් විය යුතුයි. එහි එක් පියවරක් වන්නේ වරාය නගරයේ ස්ථිර පදිංචි රටවැසියන්ට තම නියෝජිතයකු පාර්ලිමේන්තුවට පත් කර එවීමට හැකි වන අයුරින් නීති සම්පාදනය කිරීමයි.

 

මා වරාය නගර පනත කියවා නැහැ. මා එහි අඩංගු දේ දන්නේ නැහැ ඉහත සඳහන් යෝජනා සමහරව විට එහි අඩංගු වනවාත් ඇති. ඒ යෝජනා සමහර විට අසම්පූර්ණ වෙන්නත් පුළුවන්.  ඒ යෝජනා හරි වෙනත් යෝජනා හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙන්න ඕන වරාය නගරය ලංකාවේ භූමියේ කොටසක් වන අයුරින් හා පාර්ලිමේන්තුවේ අධිකාරියට යටත් වන අයුරින්.   

 

ලංකාව දුප්පත් රටක්. ඒ ඩොලර් සංචිතය අනුව. එහෙත් අප සම්පත් අතින් පොහොසත්. ඒ ඊනියා උගතුන් අතින් නම් නොවෙයි. අප 1948 දී ආසියාවෙන් දෙවැනි වුණේ ජපානයට පමණක් බව කියනවා. අද බංග්ලාදේශය කියන්නේ ලංකාවෙන් පාඩම් ඉගෙන චීන ණය උගුලට හසු නොවී ඉන්නවා කියා. අපට චීන ආයෝජන පමණක් නොව ඉන්දීය ආයෝජනත් මියන්මා ආයෝජනත් අවශ්‍ය වෙනවා. වරාය නගරය ඒ සඳහා යම් ප්‍රමාණයකට යොදා ගන්න පුළුවන් වේවි. ඒත් වරාය නගරය කප් රුකක් හරි සුරබි දෙනක් හරි නො වෙයි.

 

අපට වෙච්ච ලොකු වැරැද්දක් තියෙනවා. එය ඉංගිරිසින් අපට ලබා දුන් ආකල්පයක්. අප ලොකුවට හිතන්න ඕන. ඒත් හැම දෙයක් ම ලොකුවට කරන්න ඕන නැහැ. අපේ තේ වගාව ලොකුවට කෙරෙන්නක්. එහි වියදම වැඩියි. අද අපට කෙන්යාව හා වෙනත් රටවල් සමග තරග කරන්න බැහැ. මා ව්‍යාපාරිකයෙක් නො වෙයි. මට ව්‍යාපාර ගැන අබමල් රේණුවක දැනුමක් නැහැ. ඒත් අපේ වැරැද්දක් තියෙන බව වැටහෙනවා. අපේ වියදම් වැඩියි. අප අඩු වියදමෙන් කරන්න පුළුවන් ගෘහ කර්මාන්ත ගැන එතරම් උනන්දුවක් දක්වා නැහැ. දැන් කොවිඩ් නිසා ගෙදර ඉඳන් වැඩ කිරීම ගැන කතා කරනවා.  ගෘහ කර්මාන්ත ගෙදර ඉඳන් කරන්න පුළුවන්.

 

වරාය නගරයත් ලොකු වැඩක්. එහි වියදම වැඩි වුණොත් අපේ බලාපොරොත්තු ඉටුවෙන එකක් නැහැ. අපි බෞද්ධකම ගැන කියවනවා. ඒත් අල්පේච්ඡත්වය දන්නේ නැහැ. අප දන්නේ ලොකුවට වැඩ කරන්න. හාමුදුරුැවන්ට දානයක් දුන්නත් ඒක ලොකුවට කරන්න ඕන. ඒ අත්හරින්න නම් නො වෙයි. අල්ලපු ගෙදර දානෙට වඩා ලොකුවට කරන්න. ගෙයක් හදන්න ඕන අඩු තරමෙන් තට්ටු දෙකක් තියෙන විධියට. කාරය ඉහළ ම වර්ගයේ වෙන්න ඕන. හාමුදුරුවන් ගිහියන්ට ආදර්ශයක් වෙනව නම් හොඳයි කියා හිතනවා.

 

අපි පුද්ගලයන් හැටියටත් රට හැටියටත් ආදායමට වඩා වියදම් කරනවා. ඒ සඳහා දහඅතේ ණය වෙනවා. ණය ගෙවන්නත් ණය වෙනවා. කොටින් ම අපි ජීවත් වෙන්න දන්නෙ නැහැ. අප අඩු වියදමකින් කරන්න පුළුවන් දේශීය වෙදකම නොසළකා හරිනවා. අඩු වියදමෙන් කරන්න පුළුවන් වෙදකමට වඩා වැඩි වියදමෙන් කරන වෙදකම් අපට හොඳයි. අපි ලොකුවට හිතන්න ඕන. අපේ දේ ගැන ලොකුවට හිතන්න ඕන. ඒත් ලොකුවට වැඩ කරන්න ඕනෙ නැහැ.