History

Wednesday, 19 May 2021

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක්

 

නන්දිකඩාල් එංගලන්තයේ පරාජයක්

 

අද මැයි 19 වැනි දා. අදින් අවුරුදු දොළහකට ඉහත නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් ඝාතනය කෙරුණා. කලින් දවසෙ අපේ වීරෝදාර හමුදාව අනභිබවනීය යැයි කී කොටි ත්‍රස්තවාදය පරාජය කරල තිබුණ. නන්දිකඩාල් ජයග්‍රහණය ඉතිහාසයේ ගැමුණු වලගම්බා විජයබා ආදී ජයග්‍රහණ සමග ලියැවෙන්නක්. ඉන්පසු සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය, හයවැනි පරාක්‍රමබාහු ආදීන් ගැන අප කියනවා. සිංහලයන් යුද්ධයෙහි දක්‍ෂයන්. අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ භාරතීය ආක්‍රමණ හමුවේ නිදහස රැක ගැනීම ම සුලුපටු කාර්යයක් නො වෙයි. අවුරුදු කිහිපයක් සොළීන්ට යටත් ව තිබුණ ද එය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වුණා. සිංහලේ හතුරන්ට යුදවාදීන් වූ අප නම් කීවේ ප්‍රභාකරන් පරාජය කළ හැකි හා යුතු බව. 

 

1506 දී පෘතුගීසීන් පැමිණීමෙන් පසුවත් 1815 දක්වා ම ලංකාව ම යටත් කර ගැනීමට කිසිවකුටවත් නොහැකි වුණා. (1815 දී සිදු වූයේ සිංහල නායකයන් ගිවිසුමකින් රටේ පාලනය ඉංගිරිසින්ට පවරා දීමක් පමණයි. එහෙත් අපට වඩා ගිවිසුම් ප්‍රයෝජනයට ගැනීමට දන්නා ඉංගිරිසින් එමගින් අප යටත් කර ගත්තා). ඒ අවුරුදු තුන්සීය දහය ලංකාවේ දිර්ඝතම යුද්ධය කළ කාලය හැටියට නම් කරන්න පුළුවන්. එහෙත් හයවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු ලංකාව එක්සේසත් කිරීමට ශ්‍රී වික්‍රම රාජසිංහ  රජු දක්වා සිටි කිසිම සිංහල රජකුට නො හැකි වුණා. දැන් පඬි නැට්ටකු (මැකෝලි නැට්ටකු) අහන්න බැරි නැහැ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහල ද කියා.

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සම්භවය ආන්ද්‍ර ප්‍රදේශයේ. ඔහු කතා කෙළේ තෙළිඟු. එය අපේ මිනිසුන් දැක්කේ ආන්ද්‍ර දෙමළ හැටියට, එහෙමත් නැත්නම් අන්ඩර දෙමළ හැටියට. නායක්කාර වාංශිකයන් මෙරටට පැමිණ නායක්කාර රාජ්‍යයක් ඇති කෙළේ නැහැ. ඔවුන් සොළී, පාන්ඩ්‍ය, මෞර්ය හරි රාජ වංශයක රාජ්‍යයක් ඇති කෙළේ නැහැ. භාරතයේ තිබුණේ වාංශික රාජ්‍යය. දෙමළවත් තෙළිඟුවත් මලයාලම්වත් හින්දිවත් හින්දුවත් රාජ්‍යයක් එහි තිබුණේ නැහැ. එහෙත් ලංකාවේ තිබුණේ සිංහල රාජ්‍යයක්. සිංහල බෞද්ධ රාජ්‍යයක්. එහි විවිධ වාංශිකයන් රජ කළා. ලම්බකර්ණයන් මෞර්යයන් ආදී වශයෙන්. කිනම් වංශයක් රජ කළත් මෙහි තිබුණේ සිංහල රාජ්‍යයක්. නායක්කාර  තමයි සිංහලේ රජ කළ අවසන් වංශය.

 

1815 පෙබරවාරි නවවැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් පුවත සැලවුණු බ්‍රවුන්රිග් සතුටු කඳුළු හෙළමින්   අවුරුදු දෙදහස් තුන්සිය පනස්හතක් පැවති සිංහල නිදහස අවසන් වූ බවක් කියා ඇතැයි පැවසෙනවා. “After a forty day campaign, two thousand three hundred and fifty seven years Sinhala independence was at an end” (The Kandyan Wars: The British army in Ceylon, 1803-1818 : Geoffrey Powell)”. මේ පාඨය උපුටා ගෙන ඇත්තේ කලක් ජර්මනියේ ලංකා තානාපති වූ අටුගොඩ මහතා ලියූ පොතකින්. බ්‍රවුන්රිග් ඒ කතාව කිවුවත් නැතත් ඉංගිරිසින් ද  මෙරට අඛණ්ඩ සිංහල රාජ්‍යයක් තිබී ඇති බව පිළිගෙන.  ඉන් පසු 1815 අත්සන් කළ සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් ද බ්‍රවුන්රිග් පොරොන්දු වී ඇත්තේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රකින බවටත් සිංහල නීතිය අනුව රට කරවීමටත්. ඉංගිරිසින් වෙනත් ආගමක් රැකීමට හරි වෙනත් නීතියක් ක්‍රියාත්මක කිරීමට හරි කිසිවකුටවත් පොරොන්දු වී නැහැ. ඔය කියන සිංහල නීතිය තමයි පසු කලෙක ඊනියා උඩරට නීතිය බවට ඉංගිරිසි විනිසුරුවන් අතින් නම් කෙරී තියෙන්නෙ.

 

ඉන්පසු කලෙක 1892 දී ද ඉංගිරිසින් බුද්ධාගමට විශේෂ තැනක් දී ඇති බව 1892 අංක 4 දරණ ආඥාපනතෙන් ද ඔප්පු වෙනවා. "As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations". මේ අනුව ආණ්ඩුකාරයාගේ බලපත්‍රයක් නැතිව සාදා ඇති වෙනත් ආගමික සිද්ධස්ථාන රැකීමට ඉංගිරිසි ආණ්ඩුව බැඳී නැහැ. මේ ආඥාපනත අදටත් වලංගු වන්නේ 1898 නිරෝධායන ආඥාපනත වලංගු වන ආකාරයටම බව ආණ්ඩුවටත් පොලීසියටත් මතක් කරන්න ඕන.

 

බ්‍රවන්රිග්ලාට සිංහල රාජ්‍ය කතාව වෙනත් අයට වඩා තේරෙන්න ඕන. ඒ ඔවුන්ගෙ ඉංගිරිසි රාජ්‍යයෙත් 1051 සිට විවිධ වංශ රජ කර ඇති නිසා. 1066 හේස්ටින්ග්ස් සටනින් පසු නෝමන් ජයග්‍රහණයක් ලබන්න ඇති. එහෙත් ඉංගිරිසි රාජ්‍යය පැවතුණා. 1810 දී ලංකාවට පැමිණි බ්‍රවුන්රිග් කෘර පුද්ගලයෙක්. ඩොයිලි ක්‍රියාත්මක වූයේ බ්‍රවන්රිග් යටතේ.   

 

උඩින් මොනවා පොරොන්දු වුණත් ඉංගිරිසින් දිගට ම ක්‍රියා කර ඇත්තේ සිංහල බෞද්ධයන් නොවන්නන්ට රටේ වැදගත් තැනක් හිමි කර දීමට. සිංහල බෞද්ධයනට තමයි අඩු ම සැලකිලි ලැබී ඇත්තේ. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ පොදුවේ ක්‍රිස්තියානින්ටත් විශේෂයෙන් වෙල්ලාලයන්ටත් ඔවුන්ගෙනුත් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලටත් තැනක් ලබා දීම. ඒ පවුල ලංකාවේ ප්‍රධාන පවුල ලෙස සැලකී තියෙනවා.

 

ලංකාවේ දෙමළ ජාතිවාදය ඇති කිරීමට මූලික පදනම දමනු ලැබුයේ ලන්දේසීන් විසින්. ඔවුන් දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙනාවා. එයට ප්‍රධාන හේතුව වූයේ යාපනයේ පදිංචි  සිංහල බහුතරය කුලී වැඩ කිරීමට අකමැති වීම. ඉනුත් පැහැදිලි වන්නේ ලන්දේසීන් එන විටත් යාපනයේ බහුතරය සිංහලයන් බව. ඒ බව පෘතුගීසි ලේඛනවලිනුත් ඔප්පු වෙනවා. සිංහලයන් කුලී වැඩට අකමැති වීම නිසයි පසු කලෙක ඉංගිරිසින් ද තම කෝපි හා තේ වගාවන් සඳහා වත්මන් තමිල්නාඩුවෙන් දෙමළ කම්කරුවන් ගෙනාවෙ. අද අප සියල්ලන් ම පාහේ කුලියට වැඩ කරන පිරිසක් බවට ඉංගිරිසින් විසින් පත් කෙරිල. කුලිය දිනය හරි මාසය හරි අවසානයෙ ලැබෙනවා.

 

යාපනයට ගෙන ආ වෙල්ලාලයන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු ආපසු ඉන්දියාවට යෑම වැළැක්වීමට ලන්දේසින් තේසවළාමේ නීතිය පැනවූවා. එමෙන් ම යාපනයේ සිටි සිංහලයන් අඩු කුල ලෙස දෙමළ ජනකොටසට අවශෝෂණය කෙරුණා. තේසවලාමේ මුස්ලිම් නීතියක් වුවත් එහි කුල භේදයක් ඇත්තේ ඒ ඊනියා අඩුකුලවලට ගැලපෙන අයුරින්. වෙල්ලාලයන් මෙරටට ආගන්තුකයන් බව ඔවුන් ආපසු ඉන්දියාවට යෑමට සූදානම් වීමෙන් ම පෙන්නුම් කරනවා. ඉංගිරිසින් වෙල්ලාලයන්ට තව තවත් වරප්‍රසාද දුන්නා. විවිධ හේතු නිසා වෙල්ලාලයන්ට හොඳ අධ්‍යාපනයක් ද ඉංගිරිසි මාධ්‍යයෙන් ලැබුණා. එසේ වුවත් වෙල්ලායන්ට අවශ්‍ය වුණෙ තම නිජබිම වූ මලබාරයට යන්න. ඉංගිරිසින්ට වෙල්ලාලයන් නවතා ගැනීමට දෙවැනි වරටත් තේසවළාමේ නීතිය පනවන්න සිදු වුණා. කෙසේ නමුත් වෙල්ලාලයන් ඉංගිරිසින්ගේ සුරතලුන් බවට පත් වුණා. ඉංගිරිසින් තම බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය අනුව සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව දෙමළ වෙල්ලාලයන්ට රටේ වැදගත් යැයි සැලකුණු නිලතල ලබා දුන්නා. වෙල්ලාලයන් රටේ නායකයන් බවට පත් කෙරුණා. කුමාරස්වාමි පොන්නම්බලම් පවුල ඉනුත් ප්‍රධාන වුණා. පොන්නම්බලම් රාමනාදන් මෙරට නිල නොලත් නායකයා බවට පත් කෙරුණා.

 

1931න් පසු සර්වජන ඡන්දය නිසා වෙල්ලාලයන්ට මේ නායකත්වය රැකගන්න බැරි වුණා. ඔවුන් වෙන ම රාජ්‍යයක් කරා ගියා. ඉංගිරිසින් එයට මුල සිට ම කටයුතු කර තිබුණා. 1947 දි නාගනාදන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිිදහස් විය යුතු බව කිවුවා. 1949 දී චෙල්වනායගම් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටෙවුවා. ඉංගිරිසින් ලකුණු කළ පළාත් ඔවුන්ගේ ඊනියා නිජභූමි වුණා. හැත්තෑව දශකයේ ආයුධ සන්නද්ධ දෙමළ තරුණ සංවිධාන ඇති වුණා. එයට ජ වි පෙ පූර්වාදර්ශයක් වුණා. වැඩි කලක් යන්න පෙර ප්‍රභාකරන් අනෙක් කණ්ඩායම් පරදවා දෙමළ ත්‍රස්තවාදී නායකයා වුණා.  ප්‍රභාකරන් සිංහලයන්ට මෙන් ම වෙල්ලාලයන්ට ද විරුද්ධ ව සටන් කළා. ඔහු පළමුවෙන් ඝාතනය කෙළේ වෙල්ලාල නායකයන්.

                                              

ප්‍රභාකරන් කියන්නෙ ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදයෙහි එක් සන්ධිස්ධානයක් පමණයි. ඉන්දියාව ද සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ආයුධ සන්නද්ධ කල්ලිවලට ආධාර කළා. ඉන්දියාවට නේරුගේ කාලයේ සිට ම ලංකාව තම ප්‍රාන්තයක් කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. මෙරට සමහරුන්ට ද එකල ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එහෙත් ප්‍රභාකරන්ට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට පසුබව වූයේ නැහැ. ඊට කලින් දෙමළ ත්‍රස්තවාදය වෙනුවෙන් අපට පරිප්පු හෙළා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ඉන්දියාව ඒ ඝාතනයෙන් පසු ප්‍රභාකරන්ට විරුද්ධ වුණා. එහෙත් දෙමළ ජාතිවාදයටවත් දෙමළ ත්‍රස්තවාදයටවත් විරුද්ධ වුණේ නැහැ. අද නම් කොවිඩ් හමුවේ තමිල්නාඩු නායකයන්ටත් මෙරට දෙමළ ජනයා අමතක වෙලා. ඊයේ පෙරේදා පැවැත් වූ මැතිවරණයෙන් හෙළිවන්නේ එයයි.

 

එහෙත් ඉන්දියාව පසුව දෙමළ ජාතිවාදය ඇවිළවීමට කටයුතු කරන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් එංගලන්තය නම් දෙමළ ජාතිවාදය අත්හැර නැහැ. ඔවුන්ට කිසි දිනෙක නන්දිකඩාල් අමතක වන්නේ නැහැ. ලොව හැම තැන ම ජය කෙහෙළි නැංවූ එංගලන්තයෙ ආධාර ලැබු දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ඉංගිරිසින් කිසි දා සිංහලයන්ට රණවිරුවන්ට සමාව දෙන එකක් නැහැ. ඔවුන් ලැබූ පරාජය ඔවුන්ට විඳ දරා ගන්න බැහැ. අද ඊනියා ඩයස්පෝරාව හෙවත් විසුරුණු දෙමළ ජනයා පවත්වාගෙන යනු ලබන්නේ එංගලන්තය විසින්. ජෙනීවාහි අපට විරුද්ධ ව ගෙනෙන සියලු යෝජනා පිටුපස ඇත්තේ එංගලන්තයයි. එදා මෙන් ම අදත් එංගලන්තය දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනවා. ඉංගිරිසින් නැතිව මෙරට හරි ලෝකයේ වෙනත් තැනක හරි දෙමළ ජාතිවාදයට පැවැත්මක් නැහැ.

 

අප ඒ බව තේරුම් ගෙන කටයුතු කරන්න ඕන. නන්දිකඩාල් 1815න් අවුරුදු දෙසීයකට පසු එංගලන්තය ලංකාවේ දී ලැබූ පරාජයක්. බ්‍රවුන්රිග්ගේ මුණුබුරන් එය  අමතක කරන එකක් නැහැ. දැනට වසර කිහිපයකට පෙර මෙහි පැමිණි එංගලන්ත අගමැති කැමරන් වියරුවෙන් මෙන් නැටූ නාටකය මතක ඇති.  සැලැස්මක් ඇති ව එංගලන්තයට මුහුණ දීමට සැරසෙමු. පළමුවෙන් ම බ්‍රවුන්රිග් හා අනෙක් අය කළ අපරාධ සාක්‍ෂි සහිත ව ලැයිස්තුගත කර ඒ වෙනුවෙන් වන්දි ඉල්ලමු.