History

Friday, 21 May 2021

වරාය නගරය කුමක් සඳහා ද?

 

වරාය නගරය කුමක් සඳහා ද?

 

වරාය නගර පනත තුනෙන් දෙකකට ආසන්න ඡන්දයකින් සම්මත වෙලා. ඒ විජයදාස රාජපක්‍ෂ විධුර වික්‍රමනායක නැතිව. ඒ කියන්නෙ විරුද්ධ පක්‍ෂ මන්ත්‍රීවරුන්, විශේෂයෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පනතට පක්‍ෂව ඡන්දය දීලා.  මට පේන විධියට ආණ්ඩුවට අවශ්‍ය නම් අවශ්‍ය අවස්ථාවක තුනෙන් දෙක ලබා ගැනීමට පුළුවන්. ඒ කියන්නෙ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හරි අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න හරි පුළුවන්.  ඒ ගැන පසුව කතා කරමු.

 

වරාය නගරය හා කොවිඩ් වසංගතය එක ම සංවර්ධන කාසියේ දෙපැත්ත බව ඊයේ සඳහන් කෙරුණා. මා එයින් අදහස් කෙළේ සංවර්ධනය නොවී සිටිය යුතු බව නො වෙයි. එහෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපට අවශ්‍ය සංවර්ධනය කුමක් ද යන්න යි. අර කොළඹ විශ්වවිද්‍යාලෙ හිටපු සුවාදීන ත්‍රස්තවාදීන් (ධර්මසිරි ඔවුන්ගේ නායකයා වුණා) හා ජ වි පෙ ත්‍රස්තවාදීන් හිතන් හිටියෙ අපට අවශ්‍ය බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යන්න කියා. ඔවුන්ට ඒ නිගමනයට පැමිණීමේ දී සූරිය ගුණසේකරගේ ලිපි බලපාන්න ඇති. එකල අමරසේකර, ගුණසේකර, ධර්මසේකර යන ත්‍රිත්ව ශිඛර ජාතික චින්තනය ලෙස තේරුම් ගැනීමේ ප්‍රවණතාවක් තිබුණා. අප වෑයම් කරන්නේ අපේ සාරධර්ම නැති කර ගන්නෙ නැතිව බටහිර දියුණුවේ හා පොදුවේ දැනුමේ යම් යම් අංග අවශෝෂණය කර ගැනීමට.

 

වරාය නගරය බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කර ගැනීම සඳහායි. කොවිඩ් 19 බටහිර ක්‍රමයේ සංවර්ධනයක ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් කියන එකෙන් අදහස් කරන්නේ බටහිර සංවර්ධනය කොවිඩ් 19 කරා අප ගෙන ගියා කියන එක නොවෙයි. බටහිර සංවර්ධනයට කොවිඩ් 19ට මුහුණ දෙන්න බැහැ. කොවිඩ් 19 ඉදිරියේ බටහිර වෙදකම අසරණ වෙලා. සමහර බටහිර විශේෂඥ වෙද මහතුන් හා වෙද හාමිනේලා කියන දේ අහගෙන ඉන්න කොට හිතෙන්නෙ බටහිරයන් අපේ විශේෂඥයන්ගෙන් උපදෙස් ගන්නවා කියා. අර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ නෝන සමහර විට බටහිර ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ට උගන්වනවා වෙන්න පුළුවන්. මේ අය දෙන එක ම උපදෙස රට වහන්න කියන එක. ඒත් ආර්ථික විද්‍යා ලොක්කා ලක්‍ෂමන් කියන්නෙ වෙනත් දෙයක්. මේ ඔක්කොම විශේෂඥයො.  එන්නත් ගත් අම්මලා මව්කිරි දිම ගැන ලිපියක් මා අද (මැයි 22 නිව් සයන්ටිස්ට් සඟරාව)  කියෙවුවා. මා දන්නෙ නැහැ මෙරට විශේෂඥ වෙද මහත්තුරු ඒ ලිපිය කියවල තියෙනවා ද කියා. මා මෙය ලියන්නේ මව්කිරි දීම ප්‍රශ්නයක් කරන්න නො වෙයි. මව්කිරි අගුණයක් නො වෙයි. ඒත් කෝ අර සායනික නැහැසුම්? ධම්මික වෙද මහතාට පනවපු නීති කෝ?

 

මා හිතන්නේ මෙරට විරුද්ධ පක්‍ෂ වරාය පනත වැරදි කොණෙන් අල්ලා ගෙන කියා. අද බොහෝ දෙනා කතා කරන්නේ වරාය නගරය චීන කොලනියක් වෙයි ද කියා. එහෙත් මට තේරෙන විධියට ආණ්ඩුව වරාය නගර පනත ගෙනාවේ වරාය නගරයට ආයෝජකයන් කැඳවා ගැනීමට මිස වෙනත් කාරණයකට නො වෙයි. ආණ්ඩුව පනතින් කිරීමට උත්සාහ කෙළේ ආයෝජකයන්ට වාසි වෙන විධියට දැඩි කම්කරු හා වෙනත් නීති ලිහිල් කිරීමටයි.

 

මෙරට බෙහෝ දෙනාට බටහිර ක්‍රමයේ සංවර්ධනයක් අවශ්‍යයයි. එය ඊනියා ලිබරල් දෙවැනි ඉනිමට විරුද්ධ අයටත් අවශ්‍යයයි. මා හිතන්නේ දෙරණේ දෙවැනි ඉනිමටත් අවශ්‍යයයි කියා. එහෙත් බටහිර ක්‍රමයේ සංවර්ධනයක් ඇති කිරීමට ආයෝජකයන් අවශ්‍යයි. නාථ දෙවියන් හරි වෙනත් සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් හරි එහි දී  පිහිට වන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාව මෙරටට ආයෝජකයන් කැඳවා ගැනීමයි. දෙවියන් කැඳවා ගැනීමට නො වෙයි. පන්සල ළඟ ඇලේ මාළු බාන්න එපා කී විට හාමුදුරුවන්ට පහර දී අපවත් කරවන, දෙමව්පියන්ට පහර දෙන, තම වයසක අම්මට අතවර කරන, දෙමව්පියන්ට නොසලකන, දරුවන් වැසිකිළි වළේ දමන, කාමාශාව දරු සෙනෙහසට වඩා වැදගත් ගැහැණුන් මිනිසුන් ඉන්න රටකට දෙවියන් ඒවි ද? අප වෙනුවෙන් මෙතරම්  කුකුළන්, හරකුන්, ඌරන් මරණ රටකට දෙවියන් ඒවි ද?  

 

අඩු තරමින් ආයෝජකයන් ගෙන්වා ගැනීමේ ආණ්ඩුවේ අරමුණ කියා හිතනවා. 1978 සිට ආයෝජන මණ්ඩලය ආයෝජකයන් කැඳවා ගැනීමේ දී එතරම් සාර්ථකභාවයක් පෙන්නුම් කර නැහැ. ආයෝජකයන් ආයෝජනය කිරීමට කැමති රටවල් ලැයිස්තුවේ ලංකාව තියෙන්නෙ ඉතා පහළින්. ලංකාව එහි උඩට ගන්නෙ කොහොම ද? බටහිර ක්‍රමයේ දියුණුවක් අපේක්‍ෂා කරනවා නම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන. මට තේරෙන හැටියට මේ රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු නීති, වෘත්තීය සමිති, අධිකරණය ආදිය ගැන  හිතන විට ලංකාව ලැයිස්තුවේ උඩට ගන්න එක කරන්න බැරි දෙයක්. වරදකට හරි සේවකයකු අස් කළහොත්   වෘත්තීය සමිති සටනට එළඹෙනවා.

 

එහෙත් වරදක් නැතිව ජාතික චින්තනය ඉගැන්වීමේ ඊනියා වරදට ගාමිණී ලක්‍ෂමන්ලා හා ඩව් ඩී ලක්‍ෂමන්ලා එකතු වී  ඊළම්වාදියකු ලවා බොරු චෝදනා ගොනු කර තමන්ගේ ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණයකින් පසු මා සේවයෙන් නෙරපූ විට විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති නම් කිසිම සටනක් කෙළේ නැහැ. තම සමිතියේ නොව සමිති සම්මේලනයේ සභාපති අස්කළ විට කිසිම සටනක් නොකළ පිරිසක් ලෝකයේ ම වේ නම් ඒ ලංකාවේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු වෙන්න ඕන. එහෙත් ඔවුන් එකී සභාපතිගේ නායකත්වයෙන් දිනාගත් වැටුප් වරධන නම් ප්‍රතික්‍ෂෙප කෙළේ නැහැ. ඔවුන් ලෝක විශේෂඥයන්. අර ලෝකය හා ලෝකයෝ වැඩ සටහනට හොඳයි.

 

අවුරුදු තිහකට පෙර ඒ වැටුප් අරගලය සඳහා නායකත්වය දුන් කමිටුවවත් සමස්තයක් ලෙස තම සභාපති වෙනුවෙන් කිසිවක් කළ යුතු යැයි සිතුවේ නැහැ. ඒ කමිටුවේ සිටි බොහෝ දෙනකු අද එක්කෝ විශ්‍රාම ගිහින් නැත්නම් මිය ගිහින්. සමහරුන්ගේ විශ්‍රාම යෑම හා මිය යෑම අතර එතරම් වෙනසක් නැහැ. මා දන්නා තරමින් ඒ කමිටු සාමාජිකයන්ගෙන් අද සේවයේ සිටින එක ම තැනැත්තා මහාචාර්ය ජනක ද සිල්වා වෙන්න ඕන. මට මතක හැටියට එකල ඔහු කණිෂ්ඨ ආචාර්යවරයකු ලෙස වෛද්‍ය පීඨ ආචාර්ය සංගමයක් නියෝජනය කළා. ජනක මට විරුද්ධ වී යැයි මා කියන්නේ නැහැ. ඒත් වෙනත් අය ගැන, විශේෂයෙන් ප්‍රධානීන් ගැන  මට එහෙම කියන්න බැහැ. 

 

ඒ කෙසේ වෙතත් ලංකාවේ අනෙක් වෘත්තීය සමිති විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය වගේ ක්‍රියා කරන්නේ නැහැ. ආයෝජකයන් ලංකාවට නොඑන්නට ප්‍රධාන හේතු මා කලින් සඳහන් කළා. ආණ්ඩුව තැත් කෙළේ මුළු ලංකාව ම අර ලැයිස්තුවේ උඩට ගන්න බැරි නම් අඩුම තරමින් එක් කොටසක් උඩට ගන්න. ඒ කොටස අලුතෙන් ඇති කළ වරාය නගරය. ඒ සඳහා තමයි වරාය නගර පනත ගෙනාවේ. ඒත් වරාය නගරය  ලංකාවේ කොටසක් ද කියන ප්‍රශ්නය නම් මා තවමත් නඟනවා. (මතු සම්බන්ධයි)