History

Saturday, 12 June 2021

අපි පොරවල් ද?

 

අපි පොරවල් ද?

 

බොහෝ කලකට පෙර පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී බොහෝ දෙනාට අනුව මා දක්‍ෂ ශිෂ්‍යයෙක් වුණා. අද යොදා ගන්න චචන අනුව නම් පොරක් වුණා. මාත් එහෙම සිතුවේ නැහැ කියන්න බැහැ. මටත් අවශ්‍ය වුණේ විද්‍යාඥයෙක් වෙන්න. ඒ මා පොරක් කියා සිතූ නිසාත් වෙන්න පුළුවන්. මට යම් යම් දේ ගැන හැකියාවකුත් තිබුණා. ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවට මගේ කැමැත්තකුත් තිබුණා. 

 

එහෙත් එංගලන්තයට ගොස් නොබෝ කලකින් මා පොරක් නොවන බවත් මට විද්‍යාඥයකු වීමට නොහැකි බවත් වැටහුණා. පොර කියන සංකල්පයත් සාපේක්‍ෂයි. එක් ක්‍ෂෙත්‍රයක එහෙමත් නැත්නම් චින්තනයකට සාපේක්‍ෂ ව පොරක් වන අයකු වෙනත් චින්තනයක වෙනත් ක්‍ෂෙත්‍රයක අදක්‍ෂයකු වන්න පුළුවන්. අප බොහෝ දෙනකු කැලෑවක අතරමං වුණොත් අපට සිදුවන්නේ මං අතර කැරකෙන්නයි. මා බටහිර විද්‍යා ක්‍ෂෙත්‍රයෙහි නම් පොරකු නොවන බව පැහැදිලියි.

 

පොරක් අනෙක් අය විසින් පිළිගැනෙන්න ඕන. බොහෝ ශාස්ත්‍රීය සංගම්වල සාමාජිකයකු අධිසාමාජිකයකු විය හැක්කේ එකී සංගමයෙහි දෙදෙනකු නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කමිටුවක් විසින් අනුමත කරනු ලැබීමෙන්. ඒ කියන්නේ ඒ සංගමයේ ඉන්න පොරවල් යම් තැනැත්තකු අදාළ ක්‍ෂෙත්‍රයෙහි පොරක් බව පිළිගැනීමෙන්. ගමක නගරයක චණ්ඩියකු ලෙස පිළිගැනෙන්නේත් නාම යෝජනා ඉදිරිපත් නොකෙරුණත් මෙයට සමීප ක්‍රමයකින්. මෙහි වැදගත් වන්නේ පිළිගැනීම. මෙරට උගත් පොරවලුත් මා පොරක් ලෙස පිළිගන්නේ නැහැ.

 

අපි බොහෝ වෙලාවට උදම් අනන කරුණු දෙකක් තියෙනවා. ඒකක් අපේ අතීතය ගැන. අප ථෙරවාදය රැකගත් ජාතිය. සීගිරිය ඉතා විශිෂ්ට නිර්මාණයක්. වැව් ශිල්පය අපට ම ආවෙණික වූවක්. පැරණි ලෝකය ඒ කෙසේ පිළිගත්තා ද යන්න කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අද අප අපේ අතීතය ගැන උදම් ඇනීමෙන් පමණක් අපට  ඒ ගැන පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ.

 

ථෙරවාද රටවල අපට අදත් පිළිගැනීමක් ලැබෙනවා. මියන්මාහි දී මට එය අත්දැක ගන්න පුළුවන්. මියන්මා බෞද්ධයන් ලංකාවට ගරු කරනවා. ධීවරයන් නිදහස් කර ගැනීමේ දී ඒ පිළිගැනීම හා ගෞරවය උපකාරයක් වුණා. ඇතැම් ජනමාධ්‍යයට අනුව තානාපති නිදා සිටිය දී ධීවරයන් නිදහස් වෙලා. ඒ කුමක් වුණත් මියන්මා වැසියන් මහනුවර හා සීගිරිය ගැනත් දන්නවා. අදටත් වඩා පැරණි ලෝකයෙහි ථෙරවාදී රටවල ලංකාවට හා සිංහලයන්ට පිළිගැනීමක් ලැබී තියෙන බව පැහැදිලියි. ලංකාවෙන් වැඩම වූ බුදු පිළිම වහන්සේ මියන්මා හා වෙනත් ථෙරවාදී රටවල දකින්න පුළුවන්. මියන්මාහි එක් පන්සලක මහාවංසය චිත්‍රයට නගා ඇතැයි කියනවා. මා තවම එය දුටුවේ නැහැ.

 

පුරාණයේ ආසියාවේ වෙනත් රටවලින් ලංකාවට පිරිස් පැමිණ පදිංචි වී ඇති බව පැහැදිලියි. මා කියන්නේ විජය රජුගේ සිට මෙරටට පැමිණ රජ කල අය හා පරම්පරා ගැන නො වෙයි. විජයට කලින් ද සාමාන්‍ය මිනිසුන් ලංකාවට පැමිණ පදිංචි වෙන්න ඇතැයි හිතන්න පුළුවන්. අඩුම තරමින් මිනිසුන් වෙළඳාමට මෙරටට පැමිණ තියෙනවා. විජය මෙරටට පැමිණෙන්න ඇත්තේ අප රට ගැන ඔහුට යම් අවබෝධයක් තිබූ නිසා වෙන්න ඕන. මට හිතෙන හැටියට භාරතයෙන් මෙරටට මිනිසුන් පැමිණීම වැළැක්වීම සඳහා බමුණන් අර අමනුෂ්‍ය කතා ගොතා තියෙනවා. මෙරට අමනුෂ්‍යයන් වාසය කළ රටක් ලෙස මහාවංසය පවා කියන්නේ ඒ කතා ඇසුරෙන් වෙන්න ඕන. මහාවංසය අනුව වුවත් විජය අමනුෂ්‍ය අඟනකට දරුවන් දෙදෙනකු ලබා දී තිබෙනවා. අමනුෂ්‍යයන් අතර දෙවියන් අතර දරු උපත් සිදු වෙනවා ද? පුරාණයේ මිනිසුන් පැමිණ ඇත්තේ මෙරට පතිරූප දේශයක් නිසා වෙන්න ඕන. පැරණි ලෝකයට සාපේක්‍ෂව මෙරට පතිරූප දේශයක් වී තියෙන්නේ වත්මන් ලෝකයට අනුව බටහිර රටවල් පතිරූප දේශ බවට පත් වී ඇති ආකාරයට කියා හිතන්න පුළුවන්.

 

එහෙත් වත්මන් ලෝකයේ අපි පොරවල් ද? අප සාක්‍ෂරතාව ගැන කියනවා. අපේ අධ්‍යාපනය ගැන සෞඛ්‍යය ගැන කියනවා. අපි පොරවල් කියල කියා ගන්නවා. අප වත්මන් සංදර්භයේ පොරවල් බව අප හැරෙන්න පිළිගන්නේ කවුද?  ථෙරවාද රටවල් අපට ගරු කරන්නේ පැරණි සංදර්භයක මිස වත්මන් සංදර්භයේ නො වෙයි. අප පොරවල් කිවුවට කොවිඩ් දත්ත තබා ගන්න දන්නෙ නැහැ. රට වහනව කියන එක දන්නෙ නැහැ. කඩන්න පුළුවන් හැම අයකු ම සංචරණ නීති කඩනවා. සංචරණ නීති කියන්නෙ හොඳින් චරණය කරන්න තියෙන නීති ද කියල හිතෙනවා. හමුදාපති හරි රජයේ වෛද්‍ය නිලධාරීනේගේ සංගමයේ සභාපති පාදෙණිය හරි කවුරු හරි කියනව ද සංචරණ නීති නැත්නම් සීමා ඉවත් කර ගන්න සපුරාලිය යුතු කොන්දේසි මොනවා ද කියා. පීසීආර් + වීම පරීක්‍ෂා කරන්නන්ගෙන් සියයට කීයකට අඩු වෙන්න ඕන ද? මා නැවතත් අහන්නෙ නැහැ පීසීආර්+ වීම රෝගී වීමක් ද කියා. පාදෙණිය කාබනික පොහොර ගැන කතා කරනවා. එන්නත ගැන කොවිඩ් ගැන කතා කිරීම වෙන අයට භාර දීල ද? ජනමාධ්‍ය පාදෙණියගෙන් කොවිඩ් ගැන අහන්නෙ නැත්තෙ ඇයි? දොරක් අරින්නෙ වහන්නෙත් යම් යම් කොන්දේසිවලට යටත් ව. රටක් අරින වහන එක දොරක් අරින වහන එකට වඩා බරපතළ වැඩක්. රටක් අරින්නෙ වහන්නෙ මොන කොන්දේසිවලට යටත් ව ද? මා ඒ ප්‍රශ්නය අහන්නෙ දේශපාලනඥයන්ගෙන් නො වෙයි. ඊනියා පොරවලින්.

 

රට අවුල් වෙන්නෙ දේශපාලනඥයන් නිසා ම නො වෙයි. ඊනියා උගතුන් අතර ඉන්න ඊනියා පොරවල් ද නිසා. දේශපාලනඥයන් තීරණ ගැනීමේ දී මීළඟ මැතිවරණය ගැන බලනවා. ඊනියා පොරවල් බලන්නෙ කුමක් ගැන ද?  පහුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක බටහිරයන් පිළිගත් මෙරට පොරවල් කවු ද? මා අහන්නෙ බටහිරයන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට යොදා ගන්නා නිවටයන් ගැන නො වෙයි.