History

Saturday, 19 June 2021

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

 

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

 

කොවිඩ් 19 වසංගතය හමුවේත් විපක්‍ෂය කරන දේශපාලනය වසංගතයක් වෙලා. සජිත් නායකයා වුණත් රනිල් නායකයා වුණත් වෙනසක් නැහැ. අනුර ධනදාසලා යටත්විජිතලා සම්ම ජාතියේ විපක්‍ෂ නායකයන් නොවන නිසා ඔවුන් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ.  විපක්‍ෂ නායකයන් නොවන බව කීමෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් ජනාධිපති අගමැති වන බවක් නො වෙයි. ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ ඒ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පමණයි. ඒ රැස්වීම් බලන්න. 

 

විපක්‍ෂ දේශපාලනඥයන්ගේ දේශපාලනය වසංගතයක් වීම  පුදුමයක් නොවෙයි. ඔවුන්ට වෙනත් දෙයක් කරන්න බැහැ. මට නිතර ම කල්පනා වෙන දෙයක් තමයි බැරිවෙලාවත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණා නම් අද රටේ තත්ත්වය කෙබඳු වෙන්න තිබුණ ද කියන එක. මේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියා අර සුවපතිලා හා අනෙක් අය සමග එකතු වී මෙරට විසාලා මහනුවරක් කරලා බොහෝ කල්.

 

අපට ප්‍රශ්නයක් වී ඇත්තේ නිලධාරීන්ගේ  වසංගත දේශපාලනය. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කඹ ඇදිල්ලක් තියෙන බව පැහැදිලියි. ඇතැම් නිලධාරීන් වසංගතය දේශපාලනයක් කර ගෙන. ඔවුන් ඊනියා අපක්‍ෂපාත නිලධාරීන් නො වෙයි. මේ ඇතැමුන් සුවපතිලා වෙනුවෙන් වැඩ කරන අය. ඔවුන්ට දේශපාලනයක් තියෙනවා. මා කතා කරන්නේ බටහිර වෙද මහතුන් ගැන පමණක් නො වෙයි.

 

අද ඇතැම් රජයේ සේවකයන් කොවිඩ් අස්සේ වැටුප් වැඩි කරන්න ඉල්ලනවා. මේ ඇතැමුන් මහත් කැපවීමකින් තම රාජකාරිය කරන බව පේනවා. එහෙත් කැපවීමක් සඳහා ඊනියා දිරි දීමනාවක් හරි වැටුප් වැඩි කිරීමක් හරි ඉල්ලුවොත් එය තවදුරටත් කැපවීමක් වන්නේ නැහැ. මේ අතර බටහිර වෙද මහත්තුරු තම වැටුප වැඩි කරගෙන. එය ක්‍රියාත්මක ද නැද්ද යන්න මා දන්නේ නැහැ. එහෙත් අඩුම තරමින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියෙනවා.

 

ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් මොන පම්පෝරි ගැහුවත් අද ආණ්ඩුවට මුදල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. එය මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා ඇති වූවක් නො වෙයි. එය 1977 ජේ ආර් ජයවර්ධනගේ විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක්. 1970 බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට ලෝක පරිමාණයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ ආණ්ඩුව දේශීය නිෂ්පාදනයට අත දීම සඳහා යම් යම් පියවර ගත්තා. ඒ සමහර පියවර ප්‍රායෝගික ව ජනතාවට ප්‍රශ්න ඇති කළා. පාන් පෝලිම් හාල් පොලු එකල දැක ගන්න පුළුවන් වුණා. මට මතකයි මහනුවර වටපුළුවේ පාන් පෝලිමේ සිටි ආකාරය.

 

කෙසේ නමුත් සමහරු වගා කරන්න පටන් ගත්තා. එහෙත් ජනතාවට ප්‍රශ්න ඇති වූ නිසා ඔවුන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට කැමති වුණේ නැහැ. සුබසාදන ආර්ථිකයකට පුරුදු වී සිටි ජනතාව දුර නොබලා ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්තා. ජේ ආර් කපටි හිවළුකු මෙන් ඒ බලා සිටියා. ඔහු ජනතාවට ඇට අටක් දෙන්න පොරොන්දු වුණා. 1977 දී ජේ ආර් සහ සමාගම බලයට පත් වුණා. එහි ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රොනී ද මැල් මෙන් ම ආර් ප්‍රේමාදාස ද හිටියා. ඔවුන් ඊනියා විවෘත ආර්ථිකයකට රට විවෘත කළා. නිෂ්පාදනය නැති කළා. ආනයනය මත යැපුණා. අලුත් ව්‍යවස්ථාවක් ඇති කළා. මැතිවරණයක් පැවැත්තුවේ නැහැ. 1994 වන තුරු රට වන කෙරුවා. රට ඉන්දියාවට පාවා දුන්නා. එකල ඉන්දීය මහා කොමසාරිස් ඩික්සිත් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි වුණා. බටහිර රටවල හා ඉන්දීය තානාපතිවරු රටේ දේශපාලනයට සෘජු ව මැදිහත් වුණා.  අද රට පත් වී ඇති අර්බුදයට මූලික ව ම වග කියන්න ඕනෙ ජේ ආර් වගේ ම ජේ ආර්ට රැවටී මැතිණිය පැරද වූ ජනතාව. මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්ති හා විදේශ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට හැකි වුණා නම් මේ රටට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ.

 

මා මේ කරුණු කියන්නේ මේ ආණ්ඩුවට පාඩමක් ලෙසත්. මෙරට ජනතාව පොදුවේ තමන්ට වඩා රට ගැන ජාතිය ගැන හිතන පිරිසක් නො වෙයි. ආණ්ඩුව මොන හොඳ ප්‍රතිපත්තියක් වුණත් ජනතාවට ප්‍රශ්න වන ආකාරයෙන් ක්‍රියාත්මක කළොත් ඉන් ප්‍රයෝජන ගන්න හිවළුන් බලන් ඉන්න බව අමතක කරන්න එපා. අද පවතින මුදල් අර්බුදයට හෝතුව ජේ ආර් වුණත් ජනතාව එහෙම කල්පනා කරන්නේ නැහැ. ආණ්ඩුව තෙල්වලට බද්දක් අය කරනවා. එය ලාබයක් නො වෙයි. ආණ්ඩුව මුදල් හොයන්නේ එවැනි බදු පැනවීමෙන්. බදු නැතිව ආණ්ඩුව වියදම් කරන්නේ යහපාලනය ඉතිරි කර ගිය මුදලක් ද? අද කොවිඩ් නිසා අපනයන අඩු වෙලා. අපට ඩොලර් නැහැ. ආණ්ඩුවට ඩොලර් වෙනුවට සමහර රටවල් සමග රුපියල් හුවමාරු කරන්න සිදු වෙලා. ඒ සියල්ල අතර අප කළ යුත්තේ ඊනියා දිරි දීමනා ඉල්ලීම නො වෙයි.

 

රට වහන්න කියන්නේ බොහෝ විට මාසික වැටුපක් ලබන්නවුන්. දෛනික ව කීයක් හරි හම්බ කරන අයට දෙන දිරි දීමනාව මොකක් ද? මා යෝජනා කරන්නේ නැහැ මාසික වැටුපෙන් කීයක් හරි කපන්න කියා. දෛනික ව හම්බ කරන අයගේ නම් වැටුප සියයට සියකින් ම කපලා. මියන්මාහි ලංකා තානාපති කාර්යාලයේ වැඩ කරන ලාංකිකයන් පොදුවේ තම මැයි හා ජූනි වැටුප්වල එකතුවෙන් 5%ක් පමණ ලබා දුන්නා. එය එතරම් මුදලක් නොවන බව මා දන්නවා. ඒත් ලූණු බිකත් බඩටයි කිවුවලු.

 

රට වහන්නත් ඕන. නිෂ්පාදනය කරන්නත් ඕන. විශාල ඩොලර් සංචිතයක් නැති රටකට එය තරමක ප්‍රශ්නයක්. අනවශ්‍ය වියදම් පෞද්ගලික ව මෙන් ම රටක් හැටියටත් කපා දාන්න ඕන. අපේ තරමට අපි වියදම් කරමු. මේ අතර දත්ත පිළිබඳ ප්‍රශ්නයක් ඇවිත්. බටහිර වෙද මහතුන්ට ගණිතය තරමක් අමාරු බව අප දන්නවා. ඒත් දත්ත අවුල් කරන්නේ ගණිතය අමාරු නිසා ද ආණ්ඩුව අමාරුවේ දැමීමට ද යන ප්‍රශ්නය අහන්න ඕන. දේශපාලනය වසංගතයක් බව ඇත්ත. ඒත් වසංගතය දේශපාලනයක් බවට පත් කළ යුතු ද?