History

Wednesday, 2 June 2021

බටහිරයන් නොවන අපි

 

බටහිරයන් නොවන අපි

 

මා විද්‍යාඥයකුවත් විශේෂඥයකුවත් නො වෙයි. මා හිතන්නේ ලංකාවේ විද්‍යාඥයන්වත් විශේෂඥයන්වත් නැති බවයි. බොහෝ දෙනා දෙවැනි කරුණ සමග එකඟ වන්නේ නැති බවත් පළමු කරුණ සමග එකඟ වන බවත් මා දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව පැමිණි අයකු බව සඳහන් කළ විට එක්තරා අයකු මුහුණු පොතේ කියා සිටියේ මා විද්‍යාව නොදන්නා බවයි. මෙරට ඉන්න දන්ත වෛද්‍යවරයකු වූ අශෝක අමරතුංග, කැනඩාවේ චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන්ට අනුව මා බොරුකාරයන්ට උපකාර කරන මිථ්‍යා මත වපුරවන තැනැත්තෙක්. කැනඩාවේ ම ඉන්න බෝධි ධනපාල නමැත්තකුට අනුව සසෙක්ස් විශ්වවිද්‍යාලය මුග්ධයකු වූ මා ඉක්මණින් විශ්වවිද්‍යාලයෙන් පිටත් කිරීම සඳහා අඩු කාලයකින් ආචාර්ය උපාධියක් දී එවනු ලැබූවෙක්. විදුසර පුවත්පත ඒ සියල්ල පිළිගෙන මගේ ලිපි පළකිරීම නවතා දැමුවා.

 

එහෙත් ඉන්පසුවත් මෙරට විද්‍යාඥයන් බිහිවන පාටක් නැහැ. ජනමාධ්‍යවල පෙනී සිටින විශේෂඥයන් කොවිඩ් 19 ගැන කියන්නේ සාමාන්‍ය දැනුමෙන් මිස ඊනියා විශේෂඥ දැනුමකින් නො වෙයි. මා ඔවුන් ගැන කතා කිරීමට වෙනුවට අද මා ගැන ටිකක් කියනවා. මට විද්‍යාඥයකු, නිශ්චිත ව ම කිවුවොත් බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වීමට අවශ්‍ය වුණේ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ. ඒ අවුරුදු හැටකට එහා. මා සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයට පෙනී සිටියේ 1960 දෙසැම්බරයේ.

 

මට බටහිර වෙද මහතකු තබා ඉංජිනේරුවකුවත් වීමේ අවශ්‍යතාව තිබුණේ නැහැ. එකල තිබූ ක්‍රමය අනුව මා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටියේ භෞතීය විද්‍යා අංශයෙන්. එකල සමහරුන් තම හැකියාව කැමැත්ත ආදිය අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර ම ඉංජිනේරු හරි භෞතීය විද්‍යා පාඨමාලා හරි තෝරා ගත්තා. ඉංජිනේරු පීඨය තෝරා ගත් අයගෙනුත් සමහරු භෞතීය විද්‍යා පාඨමාලා සඳහා නම් කෙරුණා. එකල විශ්වවිද්‍යාලයේ ප්‍රවාදාත්මක හරි ගණිතමය හරි භෞතික විද්‍යා පාඨමාලාවක් තිබුණේ නැහැ. එබැවින් මා ගණිතය පාඨමාලාව තෝරා ගත්තා. එහි සියයට පනහක් පමණ තිබුණේ ව්‍යවහාරික ගණිතය අවශ්‍ය නම් ගණිතමය භෞතික විද්‍යාව කියා කියන්න පුළුවන්.

 

මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියේ විශ්වවේදය (Cosmology) හැදෑරීමට. එහි අලුතෙන් තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් (Astronomy Centre) පටන් ගෙන තිබුණා. විශ්වවේදය ගැන උසස් ගණයේ පර්යේෂණ කළ මහාචාර්ය විලියම් මැක්රේ ද එහි සිටියා. ඔහු ඉතා විශිෂ්ඨ විද්‍යාඥයෙක්. මා ඔහුගේ උපදේශකත්වය යටතේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ පටන් ගත්තා. ඔහු මට පළමු දවසේ ම මා කළ යුතු අධ්‍යයනය කුමක් දැයි කිවුවා. ඒ ගුරුත්වජ කාච හා ක්වේසාර පිළිබඳවයි. එයට සාධාරණ සාපේක්‍ෂතාවාදය අවශ්‍යයයි. මහාචාර්ය මැක්රේ මගෙන් සාධාරණ සාපේක්‍ෂතාවාදය ගැන ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ලංකා විශ්වවිද්‍යාලයේ එකල සාධාරණ සාපේක්‍ෂතාවාදය ඉගැන්නුවේ නැතත් මා තනිව ඒ හදාරා තිබුණා. මේ 1969 ජනවාරියේ.

 

මා පරයේෂණ කටයුතු හොඳින් කරගෙන ගියා. මහාචාර්ය  මැක්රේ දුන් ගැටළුවට අමතර ව මා තවත් ගැටළුවක්  ද විසඳන්න පටන් ගත්තා. ඒ භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම සම්බන්ධ ව. එහෙත් කලක් යන විට මට වැටහුණා මට විද්‍යාඥයකු වීමට නොහැකි බව. ඒ 1970 මුල. මට ආපහු ලංකාවට යෑමට අවශ්‍ය වුණා. මහාචාර්ය මැක්රේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සනාතන සභාවේ විශේෂ අවසරයක් ගෙන අවුරුදු එකහමාරකින් ආචාර්ය උපාධි නිබන්ධය ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නා. 1970 සැප්තැම්බරයේ මා ආපසු ලංකාවට ආවා. මගේ ආචාර්ය උපාධි නිබන්ධනයේ මාතෘකාව තාරකා භෞතිකයේ සාපේක්‍ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics ) යන්නයි. මා ගුරුත්වාකර්ෂණ බලය පට්ටපල් බොරුවක් කී විට සාමාන්‍ය පෙළ විද්‍යාව සමත් අයත් මට හිනහවෙනවා.  

 

අවුරුදු පනගකට පසුවත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ අඩුම කාලයකින් ආචාර්ය උපාධිය ලබා ගැනීම පිළිබඳ වාර්තාව මා සතුයි. මා ලංකාවට පැමිණි පසුත් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ඇරයුම් කෙරුණා මහාචාර්ය මැක්රේ විශ්‍රාම යෑමෙන් පසු ඒ පුරප්පාඩුව පිර වූ මහාචාර්ය මාටින් රීස්ගේ පර්යේෂක සගයකු (Research Fellow) ලෙස කටයුතු කරන්න එන්න කියා. විද්‍යාඥයකු වීමට නොහැකි මා ඇරයුම ප්‍රතික්‍ෂෙප කළා. මහාචාර්ය රීස් සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් පසු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තනතුරු කිහිපයක් දැරුවා. ඔහු 1995 දී රාජකීය තාරකා විද්‍යාඥයා (Astronomer Royal) ලෙස පත් කෙරුණා. 2005 සිට 2010 දක්වා ලන්ඩනයේ රාජකීය සංගමයේ (Royal Society) සභාපති ධුරය ද දැරුවා.

 

මා නේචර් සඟරාවේ ද ඇතුළුව පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පළ කර තියෙනවා. මගේ නිල විෂය වනුයේ තාරකා විද්‍යාවේ විශ්වවේදය, සාපේක්‍ෂතාවාදය, ක්වොන්ටම් භෞතිකය, න්‍යාය (Logic) , විද්‍යාවේ දර්ශනය, ඥානවිභාගය යි. සාහිත්‍යය, ඉතිහාසය, දේශපාලනය ආදිය නිල නොවන විෂය. මා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනකුගේ පශ්චාත් උපාධි නිබන්ධන උපදේශකවරයකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ දී තමයි මට වැටහුණේ (කතාවක් ගොතා ගැනීමට හැකි වූයේ) මට විද්‍යාඥයකු වීමට නොහැකි ඇයි කියා. එය සංස්කෘතික වෙනසක්. සිංහල බෞද්ධ සංස්කෘතියේ බටහිර විද්‍යාඥයන් විශේෂඥයන් බිහි වන්නේ නැහැ. අපේ චින්තනයේ ඒ සඳහා අවශ්‍ය ගුණාංග නැහැ. එයින් කියන්නේ අපේ චින්තනයේ අඩුවක් නො වෙයි.  අපට බටහිර විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. පරිධියේ පර්යේෂණත් කරන්න පුළුවන්. එහෙත් මධ්‍යයේ හරඹ කරන්න බැහැ. මෙරට බටහිර විද්‍යාඥයන් විශේෂඥයන් කියන අයට මා මේ කියන කතාව සම්මජාතියේ තොරෙන්නේ නැහැ. දැනුම් පද්ධති අතර වෙනස, එක් දැනුම් පද්ධතියක දැනුමක් වෙනත් දැනුම් පද්ධතියකට අවශෝෂණය කිරීම, අනුකරණය කිරීම ආදී දේට ඔවුන් සවන් දීමටවත් කැමති නැහැ. කොවිඩ් ගැන ඔවුන් කියන්නේ අතනින් මෙතනින් අහුලා ගන්නා දැනුම් කෑලි. අපටත් ඒ දැනුම් කෑලි අහුල ගන්න පුළුවන්. මෙහි කෑලි යන්න යෙදා ගැනෙන්නේ තරුණයන් යෙදා ගන්නා අරුතින් නො වෙයි.

 

මා අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකයෙක්. කලක් ලන්ඩනයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ අධි සාමාජිකයකු ව සිටියා (Fellow of the Royal Astronomical Society) . එකල අවශ්‍ය නම් නමේ අගට FRAS කියා යොදන්න පුළුවන් කම තිබුණා. පසු කලෙක විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙ වැටුප් ඉතා අඩු මට්ටමක තිබූ බැවින් මට සාමාජික ගාස්තු ගෙවීමට නොහැකි වීම නිසා ඒ අධිසාමාජිකත්වය අත්හැරියා. එහෙත් මා තවමත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයෙක් (International Astronomical  Union - IAU).

 

මා තවමත් බටහිර විද්‍යාව ගැන උනන්දුයි. මා විරුද්ධ වන්නේ එහි ආධිපත්‍යයටයි.  තවමත් මා ඉඳහිට පර්යේෂණ කරනවා. ඒත් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද තම උපාධි නිබන්ධන සඳහා පර්යේෂණ කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් ව. ඒ නිබන්ධ ගැන ඇතැම් පරීක්‍ෂකවරුන් සතුටු වූයේ නැතත් උපාධිය ලබා දීමට අකමැති වුණේ නැහැ. අප කළ පර්යේෂණ අතර ගණිතයේ සත්‍යය කියා එකක් නැති බව, විශ්වය මහා පිපුරුමක් නිසා ඇති වූවක් නොව අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන පරිදිි හැකිළෙන දිග හැරෙන එකක් බව, ක්වොන්ටම් භෞතිකයේ අංශු කිහිප තැනක පැවතිය හැකි බව, ඊනියා විශ්වවේදී නියතය නියතයක් නොවන බව, ශක්ති සංස්ථිතියට අවකාශය ද ඇතුළත් විය යුතු බව, ඇරිස්ටෝටලීය න්‍යායේ අඩුව ආදිය වෙනවා. මේ දිනවල මා කළු කුහර අධ්‍යයනය කරනවා. මා හිතන්නේ කළු කුහරවලට පෘෂ්ඨ ඇති බව පමණක් නොව ඒ පෘෂ්ඨවල අධි පීඩනය නිසා ද්‍රව්‍ය පිට කළ හැකි බව. එහෙත් බටහිරයන්ගේ සංස්කෘතියේ ඒ අදහස්වලට එතරම් පිළිගැනීමක් නැහැ. අමරතුංගලා ඊනියා බෞද්ධයන් වුවත් ඔවුන්ටත් ඒ අදහස් දිරව ගන්න බැහැ.

 

මා දන්නවා මා දන්නා ඉටිගෙඩියක් නැති බව (ඒ වාක්‍යය ඇරිස්ටෝටල්ට අනුව විශ්ලේෂණය කරන්න පුළුවන් ද). මා විද්‍යාඥයකුවත් විශේෂඥයකුවත් තබා මෙරට මට්ටම් අනුව දක්‍ෂයකුවත් නො වෙයි. මෙරට විශ්වවිද්‍යාලත් ජනමාධ්‍යත් ඒ බව දන්නවා. අවුරුදු විසි පහේදී ආචාර්ය උපාධියක් පිටරට විශ්වවිද්‍යාලයකින් ලබා ගත් නමුත් මෙරට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු වීමට හැකි වූයේ අවුරුදු හැටේ දී. අවුරුදු තිහෙන් තිස්පහෙන් මෙරට මහාචාර්යවරුන් වූ අය ඉන්නවා. මා සම්මානිත මහාචාර්යවරයකු (Professor Emeritus) නො වෙයි. මෙරට සම්මානිත මහාචාර්යවරු රාශියක් ඉන්නවා. ඒ අතර සහාය මහාචාර්යවරුන් ව සිටි අයත් ඉන්නවා. විශ්වවිද්‍යාල දන්නවා මා ඒ ගෞරවයට නුසුදුසු බව. මෙරට ජනමාධ්‍යවේදීන් කිසි දිනෙක මගෙන් තාරකා විද්‍යාව ගැන කිසිවක් අසා නැහැ. ඔවුන් දන්නවා එවැනි ප්‍රශ්න අසන්න මට වඩා සුදුස්සන් මෙරට ඉන්න බව.

 

මා මගේ නුසුදුසු බව දන්නවා. මා විද්‍යාඥයකු විශේෂඥයකු නොවන බව ජනමාධ්‍ය දන්නවා. ඒ ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් වී ඇත්තේ ජනමාධ්‍යවේදීන් විද්‍යාඥයන් විශේෂඥයන් ලෙස හඳුන්වන අය දැනුම් කෑලි අහුලන්නන් පමණක් වීමයි. මා ඒ බව කියන්නේ ඊර්ෂ්‍යාවකින් නො වෙයි. ඔවුන් බටහිර විද්‍යාවේ මධ්‍යයේ දක්වා ඇති දස්කම් මොනවා ද?