History

Tuesday, 29 June 2021

රංජිත් බැසිල් හා වෙද හාමිනේලාගේ මුහුණ දීම

 

රංජිත් බැසිල් හා වෙද හාමිනේලාගේ මුහුණ දීම

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මා මෙන් නොව උගතෙක් වියතෙක් හා බුද්ධිමතෙක්. ඔහු දැනටමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. මා යම්තම් මහාචාර්යවරයකු වුණේ අවුරුදු හැටේ දී. මා ජ්‍යෙෂ්ඨවත් සම්මානිතවත් මහාචාර්යවරයකු නො වෙයි. මහාචාර්ය රංජිත් බණ්ඩාර කීීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. මා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. කතාවක් තියෙනවා මහාචාර්ය රංජිත් බණ්ඩාර තම පාර්ලිමේන්තු අසුන බැසිල් රාජපක්‍ෂට පූජා කර මහා බැංකුවේ අධිපති වෙන්න යනවා කියා. ඒ කුමක් වුවත් අපි මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන දේට සවන් දෙන්න ඕන.

 

මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන්නේ මෙරට ආර්ථික ප්‍රශ්න විසඳන්න බැසිල් රාජපක්‍ෂට ඇමතිකමක් දෙන්න ඕන කියා. ජ වි පෙ එක් බටහිර වෙද මහතකු කියා තිබුණා ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු එසේ කීම ගැන පුදුමයට පත්වෙන බව. මා හිතන්නේ රංජිත් බණ්ඩාරට අර බටහිර වෙද මහතාට නැති නිහතමානි කමක් තියෙනවා කියල. ඔය බටහිර වෙද මහතුන්ට කොවිඩ් 19ට ප්‍රතිකාරයක් දැනට නැහැ. මා අද තමයි දැනගත්තෙ එක්සත් ජනපදවල බටහිර වෙද මහත්තුරු ඒ සඳහා ප්‍රතිකාරයක් නිර්මාණය කරල කියා. ඒත් එය ඇලොපති ක්‍රමයෙ එකක් ද කියා දන්නෙ නැහැ. කියැවුණේ ඒ ප්‍රතිකාරයෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන බව. ප්‍රතිශක්තිකරණය කියන සංකල්පය කෙසේ වෙතත් අපේ ක්‍රමයෙ කරන්නෙ වා පිත් සෙම් සමතුලනය කිරීම.

 

බටහිර වෙද මහත්තුරු කිසි දා කියන්නෙ නැහැ අද තියෙන කොවිඩ් අර්බුදයට බටහිර වෙද මහතකු නොවන අයකුගෙන් උපදෙසක් ගන්න කියලවත්. අඩු තරමෙන් පරෙස්සම්වීම හරි එන්නත දීම හරි කළමනාකරණයවත් වෙනත් අයකුට පවරන්න තියා උපදෙසක් ගන්නවත් ඔවුන් කැමති නැහැ. එහෙත් ඔවුන් දන්නව තමන්ගෙ පවුල්වල අයට එන්නත දීම, ගෙවල්වල සාද පැවැත්වීම ආදිය. කොවිඩ් 19 රෝගියකු හඳුනගන්න විධිය ඔවුන් දන්නෙ නැහැ. පීසීආර් + කියන එකෙන් රෝගියකු ද නැද්ද කියන්න බැහැ.

 

ඔන්න ඒ ගමන සිංගප්පූරුව කියල කොවිඩ් කියන්නෙ හෙම්බිරිිස්සාවෙ අයියා වගේ ලෙඩක් කියල. ඒක කලින් කිවුව ම කවුරුන්වත් ගණන් ගත්තෙ නැහැ. දැන් ගණන් ගනීවි. ඒත් අපට සිංගප්පූරුව වගේ වැඩ කරන්න බැහැ. සිංගප්පූරුව අපට එතරම් කැමති නැහැ. ඔවුන් අපට ලණු දෙන්නත් බැරි නැහැ. ඔවුන් වරාය නගරයට නම් කොහොමටවත් කැමති වෙන එකක් නැහැ. ඒ වෙළෙඳ තරගය නිසා. කොවිඩ්වල ප්‍රශ්නය එහි විකෘතීන් (ප්‍රභේද) දිනෙන් දින ශක්තිමත් වෙමින් බිහිවීම. ඩෙල්ටා +++ ගැන අප බලාපොරොත්තු වෙලා එයට සූදානම් වෙන්න ඕන.

 

ඒත් දැන් බැසිල් ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. ඩෙල්ටා ++++…….. ….. ..++ බිහි වුණත් බැසිල් ඉන් මිදෙන්න ක්‍රමයක් කියාවි. බැසිල් අති දක්‍ෂයෙක්. ඔහුට ජනතාව පිහිටුවා ගත් පක්‍ෂයකට නමක් දෙන්න වුණත් පුළුවන්. සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් දෙන්නත් පුළුවන්.  පැරදුනා ම රටෙත් නැතිව යන එක නෙ තියෙන්නෙ.  ආර්ථික විද්‍යා මහාචාර්යවරු වගේ නොවෙයි එන්නත් මහාචාර්යවරු බැසිල්ගෙ දක්‍ෂකම පිළිගන්න එකක් නැහැ. ඔවුන් කමිටුවලින් අස්වන ප්‍රවණතාව වැඩි වේවි. මා දන්නා විධියට මහාචාර්ය රංජිත් බණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයට බඳවා ගෙන තියෙන්නෙ මහාචාරය ලක්‍ෂමන්ගෙ කාලෙ. මහාචාර්ය ලක්‍ෂමන් වෙනුවට මහාචාර්ය රංජිත් බණ්ඩාර මහා බැංකුවට යනව නම් ඒකත් දෛවොපගත සිද්ධියක් වේවි. ලක්‍ෂමන්ලා එකතුවෙලා මා අස් කළ බව රංජිත් බණ්ඩාර දන්නවා ද දන්නෙ නැහැ. ඒ කාලෙ රංජිත් බණ්ඩාර කොහෙ හිටිය ද කියලවත් මා දන්නෙ නැහැ. 

 

මහාචාර්ය ලක්‍ෂමන් අද (ජූනි 29)  දි අයිලන්ඩ් පුවත්පතේ ව්‍යාපාර කොටසේ මෙරට ඔය කියන තරම් ආර්ථික අර්බුදයක් නැති බව කියන්න උත්සාහ කරල තිබුණ. එහෙම නම් බැසිල්ට විසඳන්න තරම් ප්‍රශ්නයක් නැහැ. දැන් ලක්‍ෂමන් කියන විධියට අපේ ඩොලර් සංචිතය බිලියන හතරක් පමණ. ඒත් අපට ණය ගෙවා ගන්න පුළුවන් කියනවා. මින් පසු අප ණය ගන්නෙ නැති බවයි පේන්නෙ. ඒ වෙනුවට රුපියල් හුවමාරුවෙන් විවිධ රටවලින් ඩොලර් ගන්නයි බලාපොරොත්තුව. බංග්ලා දේශය, ඉන්දියාව චීනය වගේ රටවල් සමග අප හුවමාරු කරාවි. ඒත් ඒ හුවමාරුවත් කෙළවර දී අපි ඩොලර් දීල රුපියල් ආපසු ගන්න ඕන.

 

අපට පේන්නෙ ආර්ථික විද්‍යා මහාචාර්යවරු වුණාට ඊට වඩා බලවත් ආර්ථික පුද්ගලයෙක් ඉන්නවා. ඔහු එක්සත් ජනපදවල බොස්ටන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ලැබූ පුංචි බණ්ඩා ජයසුන්දර. බොස්ටන් විශ්වවිද්‍යාලයට මගෙත් දැන ඇඳුනුම් කමක් තියෙනවා. ඒ බොස්ටන් ටී පාටිය ගැන පාසලේ දී ඉගෙන ගත් නිසා නො වෙයි. ටී පාටි දාන්න ඒ කාලෙ කොවිඩ් තියෙන්නෙ නැතිව ඇති. ජයසුන්දර අද ජනාධිපති ලේකම්. ඔහු වරක් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් වරද කරුවකු කර ගෙදර යැවුවෙක්. ඒත් පසුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් මත ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ම  නිදහස් කරනු ලැබූවෙක්. බැසිල් ජයසුන්දර එකතුව කොහොම වෙයි ද?

 

බටහිර දැනුමේ උඩින් ම තියෙන්නෙ ගණිතය හා ගණිතමය භෞතික විද්‍යාව. ගණිතය හුදෙක් ගණිතඥයන්ගෙ නිර්මාණයක් සංස්කරණයක් පමණයි. ඒකෙ ඊනියා යථාර්ථයක් දකින්නෙ ප්‍රදර්ශනය කරන්නන්. ගණිතය හුදෙක් ගණිතය ලෙස ගත්තොත් කාටවත් එදනෙදා ජීවිතයෙ සත පහක වැඩක් නැති විෂයක්. ගණිතමය භෞතික විද්‍යාව හා ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව (ඊනියා ෙසෙද්ධාන්තික භෞතික වි්‍යාව) කිට්ටුවෙන් යනවා. නිවුටන් ගණිතඥයෙක්, ගණිතමය භෞතික විද්‍යාඥයෙක් මෙන් ම ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයෙක්. ඒ කුමක් වුණත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව ඊනියා ලෝකයක් සමග ගණුදෙනු කරනවා. ඉන් ලෝකයක් සංස්කරණය කෙරෙනවා. ඒත් ඒ ලෝකය සිත් පිත් නැති අංශු තරංග ඒ දෙකෙට ම නැති ක්වොන්ටා ආදිය සඳහායි. පොදුවේ ගත්ත ම භෞතික විද්‍යාව පහසුයි. ඒ ගණිතය යොදා ගන්න පුළුවන් නිසා. ඒත් සිත් පිත් ඇති සතුන් ගැන කියන ලෝක හදන එක ලෙහෙසි නැහැ. එහි ගණිතය එතරම් යොදා ගන්න බැහැ.

 

මිනිසුන් ගැන කියන ලෝක සංස්කරණය කරන එක හරිම අමාරු වැඩක්. ආර්ථික විද්‍යාවෙ ගණිතය යොදා ගන්න යාම්තමින් පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් නැහැ. ඉතිහාසය දර්ශනය සාහිත්‍ය වගේ විෂයවල ගණිතයට තැනක් ඇත්තෙ ම නැහැ. ඒ නිසා ම ආර්ථිකයෙ ප්‍රශ්න විසඳන එක භෞතික විද්‍යාවෙ වගේ පහසු නැහැ. ආර්ථික විද්‍යාඥයන් හැම විට ම එක් අතකින් මෙහෙමයි අනෙක් අතින් එහෙමයි කියන විසඳුම් දෙන්නෙ. දර්ශනයෙ, ඉතිහාසයෙ එහෙමවත් නැහැ. අත් දොළහක් ඇති කඳ කුමරු මතක් වෙනවා. කවුද කිවුව වගේ දර්ශනය කියන්නෙ එක් එක් අය තම මත ප්‍රදර්ශනය කිරීම.

 

අපි ඕනවට වඩා සංචාරකයන් ගැන රඳා පැවතුණ ද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. අද අපට ඩොලර් උපයා ගන්න (හුවමාරු කරන්න නොවෙයි)  තියෙන ක්‍රම මොනවා ද? ඩෙල්ට + වැඩි වෙනවා. ජී එස් පී+ අඩු වෙනවා. ඒ යුරෝපා සංගමයෙ සිංහලයන්ගෙන පලිගන්න විධිය. පිටරට ඉන්න ශ්‍රම බලකායත් අඩු වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා වැහුවොත් බටහිර වෙද හාමිනේලාට පිටරටින් ඇඳුම් විලවුන් ආදිය ගෙන්න ගන්න ඩොලර් නැති වේවි. රංජිත් බණ්ඩාර දන්නවා අද ආර්ථික අර්බුදයට ලෙහෙසි පිළිතුරු ආර්ථික විද්‍යාවෙ නැති බ


ව. ආනයනය සීමා කිරීම අපනයන වැඩි කිරීම කොහොමද කරන්නෙ. ඒත් බටහිර වෙද මහත්තුරු හා හාමිනේලා ඩෙල්ටා +++ වලට මුහුණ දෙන්නෙ කොහොමද කියන එකට බටහිර වෙද කමේ පිළිතුරු නැති බව දන්නෙ නැහැ. ඔවුන් අර්බුදයට මුහුණ දෙන්නෙ මුව ආවරණ පළඳලා මුහුණ වහලා! ඒකත් මුහුණ දීමක් තමයි.