History

Tuesday, 8 June 2021

බලවත් බවලත්තු

 

බලවත් බවලත්තු

 

ඉංගිරිසියෙන් උගන්වනවා ද ඉංගිරිසි උගන්වනවා ද කියන දෙකේ වෙනස හඳුනාගන්න බැරි පිරිසකුත් මෙරට අධ්‍යාපනයෙන් බිහි වෙලා තියෙනවා. ඔවුන් එතරම් පිරිසක් නැතැයි කියමු.  ඒත් ආසාදිතයා හා රෝගියා අතර වෙනස දන්නේ නැති කොපමණ පිරිසක් මෙරට ඉන්නවා ද? කොවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් රෝහල්ගත කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගෙන් වෙනත් අයට රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් වෙන් කරන්න ඕන. ඒක වෙන ම කාරණයක්. ඒත් අප බටහිර වෙදමහතුන්ගේ ද වෙද හාමිනේලාගේ ද අනුමැතිය ඇතුව මුල සිට ම කෙළේ ඕනෑම ආසාදිතයකු රෝහල්ගත කිරීමයි. ඔවුන් බොහෝ දෙනා කිසිම ප්‍රතිකාරයක් නැතිව ටික දවසක් රෝහලේ සිට ආපසු ගෙදර ගියා ම ඔවුන් සුව වී ගිය බව ප්‍රචාරය කළා. ඔවුන්ට සුව වෙන්න ලෙඩක් තිබුණේ නැහැ. ඒ තමයි අපේ අධ්‍යාපනයේ රඟ.

 

ඒ අතර ඊයේ ගාල්ලේ පිරිසක් අර නැතැයි කියන එන්නතේ දෙවැනි මාත්‍රාව ද ලබා ගෙන. ආරංචියේ හැටියට ඒ එන්නත ගාල්ලෙ හරි වෙන කොහෙ හරි තිබිලා. ඒ එන්නත රටේ ඕනෑම කෙනකු වෙනුවෙන් නිසා ගාල්ලන් පිට අයත් පැමිණ එන්නත විදගෙන. ඒ අයගෙන් වැඩි පිරිසක් බටහිර වෙද මහතුනට හා වෙද හාමිනේලාට සම්බන්ධ අය කියා තමයි කියැවෙන්නෙ. මීට කලින් වාර්තා වෙලා තිබුණා එක් එන්නත්කරණ වැඩපොළක දී බටහිර වෙද හාමිනේලාගේ ස්වාමිපුරුෂයන් දෙතුන් දෙනා එන්නත විදලා කියලා. අනේ වාසනාවන්.

 

ඒ අතර බටහිර වෙද මහත්තුරුන්ට හා හාමිනේලාට දීමනාවක් දෙන්න යනව කියල ආරංචියක් තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්වෙන්න යන කාලයක එහෙම දීමනාවක් ලැබෙන එක මොන තරම් වටිනවා ද? සමහර බටහිර වෙද මහත්වරු හා හාමිනේලා ප්‍රතිකාරයක් නැතත් ඉතා කැපවීමෙන් කොවිඩ් වසංගතයේ දී ක්‍රියා කරන බව පේනවා. ඒත් ඒ වගේම සමරවිට එයටත් වඩා කැපවීමෙන් බටහිර සෞඛ්‍ය අංශයේ වෙනත් අය ද ක්‍රියා කරනවා. මා කියන්නේ නැහැ ආණ්ඩුව අපහසුවට පත් කරමින් ඒ අයත් දීමනාවක් ඉල්ලන්න ඕන කියා.

 

කවුරු හරි කියන්න බැරි නැහැ මා ආණ්ඩුවට කඩේ යනවා කියල, එහෙම නැත්නම් පොහොට්ටු දේශපාලනය කරනව කියල. මා පොහොට්ටු පක්‍ෂයේ නම් නො වෙයි. ඒත් විපක්‍ෂය වගේ ආණ්ඩුවට තලන්න මා සූදානම් නැහැ. අද ආණ්ඩුව මුහුණ පාල තියෙන කොවිඩ් අර්බුදය හමුවේ ආණ්ඩුව අපහසුතාවට ලක් කිරීම වැරදියි. කොවිඩ් අර්බුදයට වඩාත් ම වග කියන්න ඕනෙ මේ අධ්‍යාපනය විසින් බිහි කෙරිලා තියෙන නිලධාරීන්. කිසිම නිර්මාණශීලීත්වයක් නැති පිරිසක් තමයි මේ අධ්‍යාපනයෙන් බිහි කෙරෙන්නෙ. මා ඊයේ සඳහන් කළ අඹ ප්‍රශ්නයට උත්තර ලැබුණා ද? ඒ ගැන අඩු තරමෙන් කල්පනා කෙරුව ද?

 

අවුරුදු තිහකටත් එහා පැත්තෙ මිහිඳු මහරහතන් වහන්සේගේ අඹ ප්‍රශ්නය ගැන මා පිළිතුරක් දුන්න. ඒත් කිසිම හාමුදුරුනමක් මගේ පිළිතුර සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. අපේ භික්‍ෂු අධ්‍යාපනයත් දුර්වලයි.  දැන් කවුරු හරි පඬි නැට්ටකු අහන්න පුළුවන් හාමුදුරුවරුන් මගේ පිළිතුර පිළිගන්න ඕන ද කියල. අපොයි නැහැ. මා කිවුවෙ සත පහකටවත් ගණන් ගත්තෙ නැති එක විතරයි. ඒ පිළිතුරේ වරද පෙන්නුව නම් ඒකත් එකක්. ඒක නිකම් ම පැත්තකට විසි කරල දැම්ම.     

 

නිර්මාණය (සංස්කරණය) පැත්තකින් තියමු. ඊනියා අවබෝධයත් දුර්වලයි. නැත්නම් ඉංගිරිසියෙන් උගන්වනවා ද ඉංගිරිසි උගන්වනවා ද යන්න පටලවා ගනීවියැ. ආසාදිතයා රෝගියා වෙන් කරන්න බැරි වේවියැ. මේ අනවබෝධයට හේතුව ඉංගිරිසියෙන් නූගැන්වීම කියල කෙනකුට කියන්න පුළුවන්. ඒත් ඉතින් ඔය බටහිර වෙද මහත්තුරු වෙද හාමිනේලා උසස් පෙළෙන් පස්සෙ ඉංගිරිසියෙන් නොවැ ඉගෙන ගන්න ඇත්තෙ. කනින්ග්හම්ගෙ පොත සිංහලට පරිවර්තනය කරල නැහැ කියලයි මා හිතන්නෙ. මේ කනින්ග්හම් කියන්නෙ අර ප්‍රසිද්ධ පුරා විද්‍යාඥයන් නම් නොවෙයි. මේ අර ව්‍යච්ඡෙද (Anatomy) පොත ලිවුව හාදයා. ඒ කවුරු වුනත් කනින්ග්හම් කියන එකේ තේරුම මොකක් ද? කනින් යන්නෙන් ඉංගිරිසියෙන් ප්‍රයෝගකාරි කපටි කියන අදහස් දෙනවා. හම් කියන්නෙ ගම කියන තේරුම දෙන පරණ සැක්සන් වචනයක්. නොටින්හම්, බර්මින්හම්, බකින්හම්  ආදිය සලකා බලන්න. ඒත් හම් කියන එක හේම් යන්නත් එක්ක කියනවා. හේම් කියන එක ගෙය හෙවත්ත හා සමග සම්බන්ධයි. කනින් කියන චචනෙ සමභවය ස්කොට්ලන්තයෙ. ස්කොටිෂ් භාෂාවෙන් කනින් කියන්නෙ හාවටළු. එතකොට කනින්ග්හම් කියන්නෙ හාවාගෙ ගෙදර. එහෙම නැත්නම් හාගම, හාවාඑළිය කිවුවත් කමක් නැහැ. බකින්හම් කියන්නෙ මුවෝ හිටිය කැලෑවක ගෙවත්තක්. මුවන්පැලැස්ස කියමු ද? හැරී මුවන්පැලැස්ස හැර ගිහින්. ඉංගිරිසි ඉතිහාසයට පාසල් වියේ සිට ම මගේ සිත් ගත් විෂයයක්. ඉංගිරිසි රාජ්‍යය නැත්නම් රජවරු හා අපේ රජවරු අතර යම් සමානත්වයක් තියෙනවා. පස්සෙ කියන්නම්.

 

ඊයේ අපි ඉංගිරිසින් මෙරට ඇති කළ අධ්‍යාපනය ගැන ටිකක් කිවුව. ඉංගිරිසි මිෂනාරින් මුලින් පාසල් පිහිටෙව්වෙ ආගම ප්‍රචාරය කරන්න. ඉන් පස්සෙ ආණ්ඩුවේ සුළු තනතුරු සඳහා ඉංගිරිසි දත් අය ලබා ගන්න. පසුව ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් ඇති කරන්න. ඉංගිරිසින් ඉංගිරිසි පාසල් කියා පාසල් වර්ගයක් මුල ඉඳන් ම ඇති කළා. ඒ වගේ ම ඉංගිරිසි ස්වභාෂා කියා පාසල් වර්ගයක් ඇති කළා. ඔවුන් ඒවට කිවුවෙ ඇංග්ලො වර්නක්‍යුලර් පාසල් කියල. වර්නක්‍යුලර් යන්නෙහි තේරුම නම් ස්වදේශික කියන එක. ඒත් ඉංගිරිසින් එය යොදාගෙන තියෙන්නෙ පහත් කියන අර්ථය දෙන විධියට. තුන්වැනි පාසල් වර්ගයක් වුණෙ ස්වභාෂා පාසල්.

 

ඉංගිරිසි පාසල්වල මාධ්‍යය වුණෙ ඉංගිරිසි. පසු කලෙක ඉංගිරිසින් ඉහළ තනතුරු සඳහාත් ස්වදේශිකයන් පත්කළා. එහි දී ඔවුන් වඩාත් සැලකිල්ලක් දැක්වූයෙ මලබාර් නමින් හැඳින්වුණු වෙල්ලාලයන්ට. ඉනුත් කුමාරස්වාමි පොන්නම්බලම් පවුලට. අපි කියන්න පුරුදු වෙලා ඉන්නෙ පළමුවැනි ලාංකික නීිතිපති , පළමුවැනි ලාංකික නයිට්වරයා,  පළමුවැනි ලාංකික විනිසුරුවා පමණක් නොව පළමුවැනි ලාංකික විදුහල්පතිවරයා කියාත්. ඉහළ තනතුරු ලැබුණෙ  ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්නපු ඉහළ යැයි කියන පාසල්වල ආදි සිසුන්ට.

 

ඉංගිරිසින් තමන් මෙන් හිතන පිරිසක් ද ඇති කරන්න අදහස් කළත් එය යම්තමින් හරි සාර්ථක වුණෙ ඉන්දියාවෙ පමණයි. ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදාය නිසා.  ආසියාවෙ හා අප්‍රිකාවෙ අනෙක් රටවල එය අසාර්ථක වුණා. අපි උදම් ඇණුවට ලංකාවෙත් එය අසාර්ථක වුණා. ඉංගිරිසින්ගෙ කිසිම දෙයක් අපේ රටවල හරියන්නෙ නැහැ. පැළවෙන්නෙ නැහැ. පරිපාලනයත් දේශපාලනයත් එහෙමයි. අපට තියෙන්නෙ ඉංගිරිසිකාරයා මෙන් ලොක්කකු ඊනියා වැදගතකු වීමේ වුවමනාවයි. ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටවල ඵලදායි නැහැ. අපට ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ලොක්කන්. බටහිර වෙද මහත්තුරු තම තනතුරු ලොකු තනතුරු ලෙස සලකනවා. නිලධාරීන්ටත් අවශ්‍ය ලොකුකම පෙන්වන්න. විශ්වවිද්‍යාලවලත් එය තියෙනවා. ඊනියා නවක වධය එහි කොටසක් පමණයි. බලපුළුවන්කාරකම ලබා ගන්න පුළුවන් මන්ත්‍රී කෙනකු වීමෙන් හරි ඊනියා උගතකු වීමෙන් හරි. බටහිර වෙද හාමිනේලා බහුස්වාමික වන්නේ බවලතුන් නොව බලවතුන් වීම නිසා.