History

Friday, 2 July 2021

කාබනික ආහාරවලට ඇති ඉල්ලුම

 

කාබනික ආහාරවලට ඇති ඉල්ලුම

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ හොඳ කතාවක් කිවුවා. මෙරට කාබනික පොහොර වගාවට විරුද්ධ අය වැඩි මුදලක් දී කාබනික ආහාර (Organic food)  අනුභව කරන බව. රසායනික පොහොර යොදා ගන්නා ආහාර අනුභවයෙන් විවිධ රෝගවලට ගොදුරු විය හැකි බව බටහිර ඇතැමුන් දන්නවා. ඒ රටවල කාබනික ආහාර වැඩි මිළක් දී ගන්න පුළුවන්. ලංකාවෙත් කාබනික ආහාරවලට ඉල්ලුමක් තියෙනවා. බටහිර විද්‍යාව හා තාක්‍ෂණය කලින් කියා ඇති පරිිිදි ධනවාදය සමග බැඳී තියෙනවා.

 

බටහිර විද්‍යාවෙන් හා විශේෂයෙන් තාක්‍ෂණයෙන් කෙරෙන්නේ මූලික වශයෙන් ම  ස්වභාවයට පිටු පෑමක්. මිනිසා ස්වභාවයෙන් ඈත් කිරීම බටහිර තාක්‍ෂණයේ මූලික ලක්‍ෂණයක්. වැඩි අස්වැන්නක් ලබා ගැනීම හුදෙක් ජනතාවට ආහාර සැපයීම සඳහා කෙරෙන්නක් නො වෙයි. එය තව තවත් ලාභ ඉපයීමේ මාර්ගයක්. අස්වැන්න වැඩි කළා ය කියා ලෝකයේ දුප්පත් රටවල බඩගින්න නැති වෙලා නැහැ.

 

කලකට පෙර රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිිද්‍යාලයේ විද්‍යා පීඨය මුලික ව අධ්‍යයනය කරන විට අප දුටු එක් කාරණයක් වූයේ දේශීය ව නිපදවන හාල්වල ආසනික් තියෙන බව. ඒ පිළිබඳ ලිපියක් විදුසර පුවත්පතේ පළ වූවා. එය ලිවුවේ මා නොවන බවත් ඒ ලිපිය පළ කිරීම ගැන මගේ විරුද්ධත්වය පළ කළ බවත් කියන්න ඕන. එහෙත් නාථ දේව මණ්ඩලය කියා සිටියේ ඒ ලිපිය පළ කළ යුතු බවයි.

 

කෙසේ හෝ ලිපිය පළ කෙරුණා. කෘෂිරසායනික කෘෂිකර්මයේ යෙදෙන රසායනික ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව අපේ නිරීක්‍ෂණය වුණා. හාල්වලට නාථ දේව මණ්ඩලයෙන් ආසනික් කලවම් කළා කියා හිතන්න බැහැ. අපට ආසනික් පර්යේෂණය සම්පූර්ණ කරන්න බැරි වුණා. ඒ කෙසේ වෙතත් කෘෂි රසායනවල ආසනික් තිබෙන බව අප පෙන්නුම් කළා. ඒ බව ඒ රසායනික ද්‍රව්‍ය ආනයනය කරන සමාගම් හතරක නියෝජිතයන් ඉදිරියේ පෙන්නන්න අප සමත් වුණා.

 

හාල්වල ආසනික් තිබෙන බව කී විට එයටත් වරදකරුවා වූයේ මා. එය මගේ දෛවයයි. මා  වැරදි කරුවා වීමට පෙරුම්පුරා ගෙන ආ තැනැත්තෙක්. සමහරු පින් කරල තියෙනවා කිසිවක් නොකර ගෞරවය ලබන්න.  ආසනික් ලිපිය පළ වූවාට පසු විවිධ මත පළවෙන්න පටන් ගත්තා. පසු කාලයක වියත්මගට සම්බන්ධ වූ ඊනියා විද්‍යාඥයන් අපට කොහේවත් නැති විද්‍යාත්මක ක්‍රමයක් කියා දෙන්න උනන්දු වුණා. අද ඒ සමහරුන් කාබනික පොහොර වෙනුවෙන් කතා කරනවා. ඒකට මොකක් ද කියන්න පුළුවන්.

 

එකල ආණ්ඩුවේ බලවතකු වූ ද අදත් බලවතකු වූ ද  අයකු කියා සිටියේ අප ප්‍රීමා සමාගමෙන් මුදල් ලබා ගෙන ජනතාව බතින් ඈත් කර පාන්වලට යොමු කිරීමට කටයුතු කරන බවයි. මහින්ද රාජපක්‍ෂ මා කැඳවා කියා සිටියේ ආසනික් කතාව නිසා එක් රටක් අපේ තේ මිළ දී ගැනීම නවතා ඇති බව. ඒ තේවලත් ආසනික් ඇත යන උපකල්පනයෙන්. ජනාධිපති කී පමණින් තබා නාථ දේව මණ්ඩලය කී පමණනින්වත් මා කිසි දෙයක් පිළිගන්නේ නැහැ. ඒ මා දන්නා කාළාම සූත්‍රය අනුව. එකී රට අදත් අපෙන් තේ මිළ දී ගන්නවා.

 

ඒත් ජනතාව අතර යම් බියක් ඇති කිරීමට වෙනත් අය කටයුතු කිරීමට ඉඩ ඇති බැවින් මා අපි බත් කමු යන මැයෙන් ලිපියක් ලිවුවා. ඒ ලිපිය ලිවීම නිසා ප්‍රීමා සමාගම මගෙන් ආපසු මුදල් ඉල්ලුවේ නැහැ. ඒ කුමක් වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සිසුන් දේශීය පොහොර පමණක් යොදා ගෙන කන්න තුනක් කුඹුරක් වැඩ කළා. එහි සතුටුදායක අස්වැන්නක් තිබුණා. මේ විසිඑක්වැනි සියවසේ මුල් දශකයේ සිදු වූ දේ.

 

එදා සිට අද දක්වා වැඩි කලක් ගත වී නැහැ. අවුරුදු දහයකට ටිකක් වැඩියි. ඒත් සමාජය වෙනස් වෙලා. අද වන විට දේශීය නැත්නම් සමහරු කියන විධියට කාබනික පොහොර වෙනුවෙන් කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. එහෙත් ඔවුන් තාමත් මට විරුද්ධයි. ඒ බටහිර විද්‍යාව පට්ටපල් බොරු (කිනම් අර්ථයකින් ද කියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ) යැයි කීම නිසාත්  බටහිර විද්‍යාව හා තාක්‍ෂණය ධනවාදය සමග බැඳී ඇති බව කීම නිසාත්. ඔවුන් "විද්‍යාඥයන්" හා විශ්වවිිිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්.   

 

මේ කන්නයට සෑහෙන්න පොහොර ගෙන්නල තිබුණත් පොහොර බෙදා හැරීමක් නිසියාකාරයෙන් සිද්ධ වෙන්නෙ නැහැ. පොහොර හංගල. අපි තමයි ලෝකයේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී රට. ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසා හංගපු පොහොර එළියට ගන්න බැහැ. මේ කන්නයේ දේශීය පොහොරවලින් පමණක් ගොවිතැන් කිරීමට කිසිවකු බලාපොරොත්තු වුණා කියා මා හිතන්නේ නැහැ. දේශීය පොහොර යොදා ගොවිතැන් කරනවා නම් දේශීය වී වර්ග වපුරන්න ඕන. අර ඊරි ආයතනයෙන් හරි ඊරි අනුව යමින් ඊනියා පර්යේෂණ කරන මෙරට කෘෂිවිද්‍යාඥයන් හරි නිෂ්පාදනය කර ඇති බීජ වර්ගවලට දේශීය පොහොර හරි යන්නෙ නැහැ. එමෙන් ම එවැනි ගොයමකට යම් රෝගයක් ඇති වුණොත් බොහෝ විට පිටරට කෘෂිරසායන යොදන්න වෙනවා.

 

අප ලබන කන්නයේ සිට ඉතා විශාල ප්‍රමාණයක දේශීය වී වර්ග වපුරන්න ඉටා ගන්න ඕන. ඒ සඳහා අවශ්‍ය දේශීය බීජ වර්ග මෙන් ම දේශීය පොගොර ද දැන් සිට නිෂ්පාදනය කරන්න ඕන. ඒ ගොවීන්ට ලබා දීමට ද සැලසුම් කරන්න ඕන. බටහිර කෘෂි කර්මයේ ශේෂ පත්‍රය එතරම් හොඳ නැහැ. අස්වැන්න වැඩි වීම විතරයි ධන පැත්තෙ තියෙන්නෙ. මිනිසුන් රෝගී වීම පස නිසරූ වීම, සත්වයන් වඳ වීම, ස්වභාව ධර්මයට තව තවත් වද හිංසා  කිරීම, කෘෂි රසායන භාවිතය අවුරුදු පතා වැඩි කිරීම ආදිය එහි සෘණ පැත්තෙ.

 

දේශීය පොහොර මගින් නිසරු පස සරු කරනු ලැබීමට ටික කාලයක් ගත වේවි. එතෙක් සැලැස්මක් සහිත ව වැඩ කරන්න ඕන. ඒ කියන්නෙ කෘෂිරසායන එතකන් ගෙන්නන්න කියන එක නොවන බව අවධාරණය කරන්න ඕන.