History

Wednesday, 25 August 2021

ඇත් රාජයා ඉතිහාසය හා සංස්කෘතිය

 

ඇත් රාජයා ඉතිහාසය හා සංස්කෘතිය

 

අර ඇත් රාජයා දළදා හාමුදුරුවන් සඳහා ඇඹරී තිබූ පාවඩය සකස් කරන විට මට මතක් වූයේ අපේ සංස්කෘතියයි. ඉතිහාසයයි. කිසිම සංස්කෘතියක් නිර්මල සංස්කෘතියක් ලෙස හඳුන්වන්න බැහැ. ඕනෑම සංස්කෘතියක් වෙනස් වෙනවා. විවිධ හේතූන් නිසා වෙනස් වෙනවා. ඒවා අභ්‍යන්තර හේතු වෙන්න පුළුවන් එහෙම නැත්නම් බාහිර හේතු වෙන්න පුළුවන්. සිංහල සංස්කෘතිය වෙනස්වීමට වඩා බලපා තියෙන්නෙ බාහිර හේතූන් කියා කියන්න පුළුවන්.

 

සිංහල සංස්කෘතියෙ ආරම්භය ගැන මා කියන්න යන්නේ නැහැ. මහාවංසය මොන කතා කිව්වත් විජය එන්නට පෙර මේ රටේ හිටියේ අමනුෂ්‍යයන් කියන එක පිළිගන්න බැහැ. එසේ අමනුෂ්‍යයන් කියා ඔවුන්ට කීම සාහසික ප්‍රකාශයක්. මහාවංසයේ මේ කතාව සම්බන්ධයෙන් පරස්පර තියෙනවා. විජයට පෙර මෙරට සිටියේ අමනුෂ්‍ය යක්‍ෂයන් කියන මහාවංසය විජය පැමිණ එවැනි යක්‍ෂණියක් වූ කුවේණි සමග ජීවත් වූ බවත් දරු දෙදනකු ලොවට දායාද කළ බවත් කියනවා. විජයට අමනුෂ්‍ය  යක්‍ෂණියකගෙන් දරුවන් ලැබුණේ කෙසේ ද යන්න මහාවංස කතෘ හිමියන් විස්තර කර නැහැ.

 

මහාවංසයෙහි සඳහන් වෙනවා මහාකාරුණිකයන් වහන්සේ මහියංගණයට වැඩම කර යක්‍ෂයන් ගිරි දිවයිනට යෑවූ බවක්. මහාකාරුණිකයන් වහන්සේ කිසිම සත්ව කොටසකට එසේ කරාවි කියා හිතන්න බැහැ. අනෙක් අතට සාර්ථක ව එසේ යක්‍ෂයන් පිටමං කිරීමට උන්වහන්සේට නොහැකි වූ බවකුත් මහාවංසය කියනවා. එය බුදුහාමුදුරුවන්ට කරන නිග්‍රහයක් ද කියා මා දන්නේ නැහැ.

 

බුදුහාමුදුරුවන් සියළු යක්‍ෂයන් ගිරි දිවයිනට (එය කොහේ තිබුණත්) පිටමං කළා නම් කුවේණි හා ඇගේ ඥාතීන් ඔය මන්නාරම අසළ ඉතුරු වන්න විධියක් නැහැ. බුදුහාමුදුරුවන්ට කුවේණි හා ඥාතීන් පිටමං කිරීමට නොහැකි වුණා ද? මහාවංස කතෘ හිමියන් මේ අසංගත කතා ලිවීමෙන් බලාපොරොත්තු වූයේ අප රට භාරතීය විජිතයක් කිරීම ද? එහෙත් අනුරාධපුර යුගයේ එවැන්නක් සිදු කිරීමෙට යෑමේ දී ප්‍රශ්න ඇති වී තිබෙන බව පැහැදිලියි.

 

අනුරාධපුර සංස්කෘතිය විස්තර කිරීමට මාර්ටින් වික්‍රමසිංහ කළාක් මෙන් රූත් බෙනඩික්ට්ගේ හෝ ඇය සමග වැඩ කළ මාග්‍රට් මිඩ්ගේ හෝ සංකල්ප යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒ දෙදෙනා ම සංස්කෘතික මානවවිද්‍යාඥයන්. රූත් බෙනඩික්ට් තම සංස්කෘතික රටා (Patterns of Culture) කෘතියෙහි   සංස්කෘතීන් ඇපලෝනියන් හා ඩයනෝසියන් යනුවෙන් වර්ග දෙකකට බෙදනවා. ඒ ග්‍රීක දෙවිවරුන් දෙදෙනකුගේ නමින්.  ඇපලෝනියන් සංස්කෘතියෙහි අය තම උත්සවවලදී සන්සුන් ව පිළිවෙළක් අනුගමනය කළා. ඩයනෝසියන් එයට විරුද්ධ මගක් ගත්තා. මේ වර්ගීකරණ එතරම් සංගත නැහැ. සංස්කෘතීන් එහෙම බෙදන්න වර්ගීකරණයකට ලක් කරන්න බැහැ.

 

මට අනුරාධපුර සංස්කෘතිය පෙනෙන්නේ සරල ප්‍රෞඪ සංස්කෘතියක් ලෙස. අප බුරුමය (මියන්මා) හා ලංකාව ථෙරවාද රටවල් ලෙස සංසන්දනය කළත් එහි වෙනස්කම් තියෙනවා. අනුරාධපුර සංස්කෘතිය වැන්නක් බුරුමයේ දැකගන්න බැහැ. මා කියන්නේ වෙහෙර විහාර ගොඩනගා තිබෙන ආකාරය අනුව. රුවන්වැලි සෑය හා ශ්වෙදගොන් චෛත්‍යය සංසන්දනය කිරීමේ දී මේ  වෙනස පැහැදිලි වෙනවා. මේ ගැන පසුව විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

රුවන්වැලි  සෑය විශාල වෙන්න පුළුවන්. එහෙත් එය සරලයි. එමෙන් ම එහි ප්‍රෞඪත්වයක් තියෙනවා. ඒ සරල ප්‍රෞඪත්වය මට ලෝකයේ වෙනත් තැනක දැකගන්න ලැබී නැහැ. රුවන්වැලි සෑයේ ඇත්තේ සලපතල මළුවක් මිස කිරිගරුඬ අතුරණු ලැබූ බිමක් නො වෙයි.  කෙසේ වෙතත් මේ සරල ප්‍රෞඪ සංස්කෘතිය අපට භාරතයෙන් ලැබුණු එකක් වෙන්න බැහැ. හින්දු කෝවිල්වල හා භාරතයේ වෙනත් තැන්වල ඇත්තේ සරල බවක් නො වෙයි. සංකීර්ණ කැටයම් හා විච්චූරණ තමයි තියෙන්නේ.

 

මේ සම්බන්ධයෙන් මගේ මිත්‍රයකු මා සමග පැවසූ දෙයක් මට මතක් වෙනවා. වෙස්සගිරියේ හා රිටිගල කැටයම් තියෙන්නේ කැසිකිළිවල. ඉන් යමක් කියැවෙනවා ද? අනුරාධපුරයේ තවත් එවැනි තැන් තියෙනවා ද? රුවන්වැලි සෑයේ විසිතුරු කැටයම් දකින්න නැහැ. අද කවුරුන් හරි කැටයම් එකතු කරනවා නම් ඒ අර සරල  ප්‍රෞඪ බව මැකීමටයි. අපට අනුරාධපුර කතාව තේරුම් ගැනීමට තරමක කාලයක් ගතවේවි. එහි වැවයි දාගැබයි සංස්කෘතිය සරලයි ප්‍රෞඪයි. ඒ මෙරටට ආවේණික දේ කියා මා හිතනවා.

 

සංස්කෘතිය සරල හා ප්‍රෞඪ වුණත් අපට යමක් බැරී වී තියෙනවා. අප ශාස්ත්‍රීය වශයෙන් භාරතයට යට වී තියෙනවා. එසේ වූයේ ඇයි? මේ යටවීම නොවන්න අපේ ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්න තිබුණා. මෙරට වාසය කළ යක්‍ෂයන් මුල සිට ම ශිල්ප ගැන මිස ශාස්ත්‍ර ගැන උනන්දුවක් දැක්වූයේ නැද්ද? අපේ පරිහාණියට මුල එය ද? අදත් අපට ශාස්ත්‍ර බැරි බව බොහෝ දෙනා හිතන්නේ නැහැ. යක්‍ෂයන් ද පැරදුණේ  එතරම් ශාස්ත්‍ර නොදත් කමින් ද? අදත් අප පරදින්නේ ගිවිසුම්වලින් මිස ශිල්පයෙන් නො වෙයි.

 

ඇත් රාජයා සකස් කෙළේ සුදු පාවඩයක් මිස රතු පළසක් (red carpet) නොවෙයි. බුදුහාමුදුරුවන්ටත්, දළදා හාමුදුරුවන්ටත් අප ඇතුරුවේ සරල සුදු පාවඩ. නුවර යුගයේ ඇතාට අන්දන්න ඇති. අද අප සියල්ලන් ඇඳගෙන. මේ ඇඳ ගැනීම පොළොන්නරුවෙන් ආරම්භ වූ බවයි මට හැඟෙන්නේ. පොළොන්නරුවේ සරල බවක්වත් ප්‍රෞඪ බවක්වත් නැහැ.  එසේ වුණත් අවුරුදු දහස් ගණනක් තිස්සේ විවිධ දේ ඇඳ ගත්තත් අප තාමත් යන්නේ රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වඳින්න මිස පොළොන්නරුවට නො වෙයි.

 

අන්දපු නැති ඇතාට ඇත්තේ සරල හා ප්‍රෞඪ බවක්. ඇත් පවුරෙන් නිරූපණය කෙරෙන්නේ ඒ සරල ප්‍රෞඪ බව ද? ඇත් පවුරට සිංහල සංස්කෘතියේ වැදගත් තැනක් හිමි වී තිබෙන්නේ ඇයි?

 

අනුරාධපුර සංස්කෘතිය සරල හා ප්‍රෞඪ වුණත් අප ශාස්ත්‍රීය පදනමක් නැති කමින් භාරතීය බමුණන්ට යටවෙලා. බමුණන් යට කිරීමට අපට නොහැකි වී තියෙනවා. කුරුණෑගල යුගයේ උම්මග්ග ජාතකය ලියා ඇත්තේ බමුණන් යට කිරීමේ අභිප්‍රායෙන්. අපට ශාස්ත්‍රිය පදනමක් අවශ්‍යයයි. ඒ නැතිකම නිසා අවුරුදු දහස් ගණනක් අප බැට කාලා. දැනුත් බැට කනවා. කිලි මහාරාජා මංගල සමරවීර වැනි අයට බාහිරයන්ට අවශ්‍ය අන්දමට අනුකාරක ව වුවත් දැනුවත්ව සිංහල සංස්කෘතිය වෙනස් කිරීමට  යම් යම් පියවර ගැනීමට හැකි වූයේ ඒ ශාස්ත්‍රිය පදනම අපට නොමැති වීම නිසයි.