History

Wednesday, 1 September 2021

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

 

පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ ආණ්ඩුව වෙනස් විය යුතු බව අප කියා සිටියේ 2017 තරම් කාලයක ය. ඒ කරන ආකාරයත් අපි කියා හිටියා. රනිල් අගමැති කමෙන් පහකර මහින්ද අගමැති කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු යැයි අපි කිවුව. අපත් සමග සිටි බොහෝ දෙනා අප අත්හැර ගිය අතර සමහරු මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමට මයිලෝ අරන් දෙන්න යැයි කිවුවා. ඒ සියලු සමච්චල් මැද දින පනහේ ආණ්ඩුව පිහිටෙවුවා. දින පනහේ ආණ්ඩුව රැක ගත්තෙ නැති වුණත් අද තිබෙන ආණ්ඩුව බලයට පත් කිරීමට ඒ උත්තේජනයක් සැපයුවා.

 

අද තියෙන ආණ්ඩුව අසමත්  නැහැ. ආණ්ඩුවක් ඇත්තේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වැඩක්. අද ඇත්තේ අසමත් අකාර්යක්‍ෂම නිලධාරි තන්ත්‍රයක්. ඔවුන් බොහෝ දෙනකුට කළමනාකරණය බැහැ. ඒ අතර ඊනියා වෘත්තීය සමිති අතර තරගයක් තියෙනවා. මෙරට වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ පක්‍ෂවල අතකොළු ලෙස. ඒ ඒ වෘත්තීය සමිතිය පිටුපස සෑම විට ම පාහේ දේශපාලන පක්‍ෂයක් හරි කණ්ඩායමක් හරි ඉන්නවා. අද ආණ්ඩුවට විරුද්ධ ව වැඩ කරන සමිති පිටුපස එ ජා ප, ස ජ බ, ජ වි පෙ, පෙරටුගාමී ආදී පක්‍ෂ හා කණ්ඩායම් ඉන්නවා. ඔවුන් බටහිරට අවශ්‍ය අන්දමට මේ ආණ්ඩුව වෙනස් කරන්න උත්සාහ ගන්නවා.

 

වෘත්තීය සමිති දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් මගින් මෙහෙයවනු ලැබීම නොකර බැරි දෙයක් වෙන්නත් පුළුවන්. ඊනියා කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙනි යන්න එපාය. මෙහි ආරම්භය සමසමාජ පක්‍ෂය එකල තිබූ ඒ ඊ ගුණසිංහගේ වෘත්තීය සමිතිවලට විරුද්ධ ව සමසමාජ වෘත්තීය සමිති ඇති කිරීම දක්වා දිව යනවා. මා නව සමසමාජ පක්‍ෂයේ සිටින විට එය අනුබද්ධ වී සිටි එංගලන්තයේ ටෙඩ් ග්‍රාන්ට්ගේ නායකත්වයෙන් වූ කණ්ඩායම නිතර කී කතාවක් වුණෙ ඒ තත්වය වෙනස් කළ යුතු බව. එක් වෘත්තියකට තිබිය යුත්තේ එක් වෘත්තීය සමිතියක් බව ඔවුන් කියා සිටියා. අසූවේ දශකයේ මුල විසා ප්‍රශ්නයක් උඩ ටෙඩ් ග්‍රාන්ට් ජේ ආර්ගේ ආණ්ඩුවට වසන් වී අපේ මහරගම ගෙදර සැඟ වී සිටි අවධියේත් ඔහු එය අවධාරණය කළ බව මට මතකයි. මා එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කෙළේ. ඒ අවුරුදු හතළිහකට පමණ පෙර.

 

මේ සියල්ල මට මතක් වන්නේ ගුරුබොරුවන්ගේ ඊනියා වෘත්තීය සමිති විදුහල්පති වැඩ වර්ජනය දිගට ම ගෙන යෑමට තීරණය කිරීමත් සමග. එතැන ඇත්තේ ආණ්ඩුව වෙනස් කිරීමට ඊනියා වෘත්තීය සමිති අතර වඩා රැඩිකල් වීමේ තරගයක්. වඩාත් ම රැඩිකල් උලපනේ හාමුදුරුවන් ද, ජෝසෆ් ස්ටැලින් ද, මහින්ද ජයසිංහ ද වෙනත් කවුරුන්වත් ද? විවිධ ඉසවුවල ලෝකයේ වඩාත්ම රැඩිකල් වෘත්තීය සමිති නායකයන් තෝරා ගැනීමට අපි ටියුලිම්පික් (ට්රේඩ් යුනියන් ඔලිම්පික්) තරග සංවිධානය කරමු ද? කොවිඩ් අස්සේ එය කර ගන්න බැරි වෙන එකක් නැහැ.

 

අවුරුදු විසි හතරක් පැරණි ප්‍රශ්නයක් විසඳා ගැනීමට ඊනියා වෘත්තීය සමිති කොවිඩ් එනකම් බලා ඉඳලා. යහපාලන කාලෙ ඔය ප්‍රශ්නය විසඳ ගන්න බැරි වුණා ද? මේ ආණ්ඩුව ප්‍රශ්නය විසඳීම සඳහා ඇමති අනුකාරක සභාවක් පත් කරල එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. ඒ යෝජනා අවධි කිහියකින් අයවැයෙන් පසුව ක්‍රියාත්මක කිරීමටත් රුපියල් 5000 දීමනාවක් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කරලා. ස්ටැලින්ලා ඒ තීරණය එක් සිත් ව එක් හඬින් ප්‍රතික්‍ෂෙප කරලා. ට්‍රොට්ස්කිලා නැද්ද?

 

ආණ්ඩුව එවැනි විසඳුමක් දීම ගැන මා නම් පුදුම වුණා. අද ආණ්ඩුව ගෙන යන්නේ ඉතා අමාරුවෙන්. ඒ බව නොදන්නා අය ඉන්නවා නම් ඒ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ හා අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ. අධ්‍යාපනයත් සෞඛ්‍යයත් යන දෙක ම නොමිළයේ ලබා ගන්න පුළුවන් රටවල් අතළොස්ස අතරට ලංකාවත් එකතු වෙනවා. එහි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒත් එය පවත්වාගෙන යෑම පිළිබඳ ව මෙතෙක් පැවති සියලු ආණ්ඩුවලට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ කිසිවකින් කියන්නේ නැහැ ඒ ක්‍ෂෙත්‍රවල පෞද්ගලික අංශය නොතිබිය යුතු ය කියා.

 

පෞද්ගලික අංශයේ උදේ හවස රෝගීන් බලන ඇතැම් බටහිර වෙද මහතුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන්නේ ඇයි ද යන්න පාදෙණියගෙන් ම ඇසිය යුතු ප්‍රශ්නයක්. අප එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වූයේ එහි උපාධිධාරීන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය පිරිනැමීමට තීරණය කළ නිසා මිස වෙනත් කරුණක් නිසා නොවෙයි. අවසානයේ ඒ විද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කර එහි වෛද්‍ය පීඨය බවට පත් කෙරුණේත් අපේ යෝජනාවක් අනුව බව බොහෝ දෙනා අමතක කරණ කරුණක්.

 

කොවිඩ් නිසා  ආණ්ඩුව අර්බුදයට ගිහින්. අර යහපාලන ආණ්ඩුව බිලියන කිහිපයක ඩොලර් සංචිතයක් ඉතිරි කර ගියා නම් ආණ්ඩුව අර්බුදයට යන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව පත් වී ඇති තත්වයට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕන ජේ ආර් හා ලලිත් ඇතුළත්මුදලි. ඒ ඔවුන් හඳුන්වා දුන් ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තීය නිසා. 1977 වන තුරු අප හැකි විධියට අපේ නිෂ්පාදන වැඩි කර ගන්න කටයුතු කළා. හැත්තෑවේ දශකයේ ලෝක ආර්ථික අර්බුදය හමුවේ  මැතිණියගේ ආණ්ඩුව වගා සංග්‍රාමයක් පටන් ගත්තා. එයින් ජනතාවට වූ සෙත ජනතාව තේරුම් ගත්තේ නැහැ.

 

අපේ රටේ ජනතාවත් ආණ්ඩුවෙන් තමන්ට නිකම් හරි සහන මිලකට හරි සෑම දෙයක් ම ලබා දිය යුතු ය කියා සිතනවා. තමන්ගෙන් රටට දිය යුත්තේ කුමක් ද කියා කල්පනා කරන්නේ නැහැ. අපට එකල වම පුරුදු කෙළේ අයිතිවාසිකම් සඳහා සටන් කිරීමට මිස යුතුකම් ඉටු කිරීමට නො වෙයි.

 

ජේ ආර් හැත්තැහතේ දී බලයට පත් වූයේ ඇට අටක් දීමට පොරොන්දු වීමෙන්. ඒත් ලැබුණු ඇටයක් නැහැ. එදා සිට පැවති හැම ආණ්ඩුවක් ම, නොමිලේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පවත්වාගෙන ගියත් අද තියෙන තත්වයට වග කියන්න ඕන. අපට නිෂ්පාදන ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අද ආර්ථික අර්බුදය ගැන කතා කරන හිටපු මහා බැංකු නිලධාරීන් එදා දුන් උපදෙස් මොනවා ද? ඇතැම් හිටපු මහා බැංකු නිලධාරීන් එ ජා ප හිතවතුන්. ඔවුන් අවුරුදු දහහතක් ජේ ආර්ට හා ප්‍රේමදාසට දුන් උපදෙස් මොනවා ද?  රනිල් අගමැතිට අවස්ථා කිහිපයක දී දුන් උපදෙස් මොනවා ද? අද ඔවුන් පඬි කතා කියවනවා.

 

කොවිඩ් නිසා ආණ්ඩුවේ වියදම ඉහළ ගොස් ඇති බවත් ආදායම අඩු වී ඇති බවත් දැනගැනීමට ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියකු වෙන්නවත් විදුහල්පති කෙනකු වීමටවත් බටහිර වෙද මහතකු වීමටවත් අවශ්‍ය නැහැ. නිලධාරීන්ගේ කළමනාකරණයේ ඇති අඩුපාඩු නිසාත් රට තව තවත් අර්බුදයකට යන අවස්ථාවක පාදෙණියගේ වෘත්තීය සමිතිය වෘත්තීය ක්‍රියා මාර්ගවලින් දීමනා වැඩි කර ගත්තේ කොවිඩ් හා වෙනත් රෝගීන් උගසට තබමින්. එහෙත් කොවිඩ් සම්බන්ධයෙන් බටහිර වෙද මහතුන් හා වෙද හාමිනේලා දෙන උපදෙස් මොනවා ද? රවි කුමුදේශ්ට හා ජනමාධ්‍යවේදීන්ටත් ඒ උපදෙස් දෙන්න පුළුවන්.

 

බටහිර වෙද මහතුන් අනුගමනය කරමින් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ තවත් අයත් කොවිඩ් අස්සෙන් සොකරි නටමින් තම දීමනා වැඩි කර ගත්තා. අද විහල්පතිවරු සොකරි පමණක් නොවෙයි කැරොලුත් නටන්න හදනවා. මොවුන් වෙද මහතුන් ද ගුරුවරුන් ද කියා අහන්න වෙනවා. අද සිසුන් මේ කසිකබල් අධ්‍යාපනයවත් නැතිව විවිධ මාර්ගවල යනවා. බටහිර වෙද මහතුන් රෝගීන් උගසට තියන අතර විදුහල්පතිවරු සිසුන් උගසට තියනවා.  යුතුකම් ඉටුකිරීම කියන එක ගෑවිලාවත් නැහැ. එක අතකට මොවුන් නූගන්නන එකත් හොඳයි කියල  කාට හරි හිතෙනවා  නම් මා පුදුම වෙන්නෙත් නැහැ.